ද්විතීය කතාව 4:1-49

  • කීකරු වෙන එකේ වැදගත්කම (1-14)

    • දෙවියන් කරපු දේවල් අමතක කරන්න එපා (9)

  • ඔහුට විතරක් නමස්කාර කරයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා (15-31)

  • යෙහෝවා හැර වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ (32-40)

  • යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ තිබුණ ආරක්ෂාව ලබා දෙන නගර (41-43)

  • නීතිය පැහැදිලි කරලා දෙයි (44-49)

4  “ඊශ්‍රායෙල්වරුනි, මම ඔයාලට කියලා දෙන නීති සහ තීන්දු හොඳට හිතට ගන්න. ඒවා පිළිපැද්දොත් ඔයාලාගේ ජීවිත රැකගන්න ඔයාලට පුළුවන් වෙයි.+ ඒ වගේම ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශය අයිති කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි.  මම දැන් කියන්න යන මේ දේවලට කිසිම දෙයක් එකතු කරන්නවත් ඒකෙන් කිසිම දෙයක් අයින් කරන්නවත් ඔයාලට අවසර නැහැ.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා දුන්න ඒ හැම නීතියක්ම ඔයාලා පිළිපදින්න ඕනේ.  “පෙයෝර්වල බාල්+ දෙවියාට වන්දනාමාන කරපු ඊශ්‍රායෙල්වරුන්ව යෙහෝවා විනාශ කරපු විදිහ ඔයාලා ඇස් දෙකෙන්ම දැක්කා. ඔයාලාගේ දෙවි වන යෙහෝවා එයාලාගෙන් එක් කෙනෙක්වත් ඉතුරු කළේ නැහැ.  ඒත් අද ඔයාලා ජීවතුන් අතරේ ඉන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාව ඔයාලා අත්හැරියේ නැති නිසයි.  මගේ දෙවි වන යෙහෝවා මට අණ කරපු විදිහටම ඔහුගේ නීති සහ තීන්දු මම ඔයාලට කියලා දුන්නා.+ ඔයාලට උරුම වෙන දේශයට ගිහින් එහේ පදිංචි වුණාට පස්සෙත් ඒවා පිළිපදින්න ඔයාලට පුළුවන්.  ඔයාලා ඒ අණපනත් ඒ විදිහටම පිළිපදින්න ඕනේ.+ ඔයාලා පිළිපදින ඒ නීති ගැන අහන්න ලැබෙන අවට ජාතීන් ඔයාලා ප්‍රඥාවන්තව,+ අවබෝධයෙන් වැඩ කරන අය+ කියලා දකියි. එතකොට එයාලා මෙහෙම කියයි. ‘මේ මහත් ජාතිය කොච්චර දැනුම් තේරුම් ඇති, බුද්ධිමත් සෙනඟක්ද!’+  ඇත්තටම අපේ ජාතියට සමාන කරන්න පුළුවන් තවත් ජාතියක් ඉන්නවාද? ඒ ජාතීන්ගේ දෙවිවරු එයාලාගේ උදව්වට එනවාද? ඒත් අපේ දෙවි යෙහෝවා අපි ළඟින්ම ඉන්නවා. අපි යාච්ඤා කරන ඕනෙම වෙලාවක අපිට සවන් දෙනවා.+  මම ඔයාලට කියලා දෙන මේ නීති මාලාව තරම් ධර්මිෂ්ඨ නීති සහ තීන්දු තියෙන්නේ වෙන කොයි ජාතියටද?+  “ඒත් ඔයාලා කල්පනාවෙන් ඉන්න.* ඔයාලා දැක්ක කිසිම දෙයක් අමතක කරන්නේ නැතුව ඔයාලාගේ මුළු ජීවිත කාලේ පුරාම ඒවා හිතේ තියාගන්න වගබලා ගන්න. ඔයාලාගේ පුතාලටයි, මුනුපුරන්ටයි ඒ හැම දෙයක්ම ඔයාලා කියලා දෙන්න ඕනේ.+ 10  ඔයාලා හොරෙබ්වල ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා රැස් වෙලා හිටපු වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මං කියන දේවල්වලට සවන් දෙන්න සෙනඟව රැස් කරන්න.+ එතකොට මට සවන් දීලා දේශයේ ජීවත් වෙන කාලේ පුරාම මට ගරුබිය දක්වන්න ඉගෙනගන්න එයාලට පුළුවන්.+ ඒ වගේම එයාලාගේ පුතාලටත් ඒවා ගැන උගන්නන්න එයාලට පුළුවන් වෙයි.’+ 11  “ඉතින් ඔයාලා කන්ද පාමුල රැස් වුණා. ඒ වෙලාවේ කන්ද ගිනි අරගෙන ඒ ගින්න අහස උසටම ගියා. ඒ වටේ මුළු ප්‍රදේශයම තද අන්ධකාරයෙන් සහ ගන වලාකුළකින් වැහිලා ගියා.+ 12  යෙහෝවා ඔයාලට ඒ ගින්න අතරින් කතා කළා.+ ඔයාලට ඇහුණා කවුරු හරි කතා කරනවා. ඒත් ඔයාලා ඔහුව දැක්කේ නැහැ.+ ඔයාලට ඇහුණේ කටහඬක් විතරයි.+ 13  ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ඒ කියන්නේ ඔයාලට පිළිපදින්න කියලා කියපු ආඥා දහය*+ ගැන ඒ වෙලාවේ ඔහු කිව්වා. ඊටපස්සේ ඔහු ඒවා ගල් පුවරු දෙකක ලියලා දුන්නා.+ 14  ඒ වෙලාවේ යෙහෝවා ඔහුගේ නීති සහ තීන්දු ගැන ඔයාලට කියලා දෙන්න කියලා මට අණ කළා. ඔයාලට උරුම වෙන දේශයට ගියාට පස්සෙත් ඔයාලා ඒවාට එකඟව ජීවත් වෙන්න ඕනේ. 15  “ඔයාලා මේ දේ ගැන සෝදිසියෙන් ඉන්න.* හෙරෙබ්වලදී යෙහෝවා ගින්න අතරින් ඔයාලට කතා කරද්දී ඔයාලා ඔහුව දැක්කේ නැහැ. 16  ඒ නිසා ඔයාලා මොනම හැඩයකටවත් සමානව රූප හදාගන්න එපා. එහෙම කරන එක හරිම දුෂ්ට දෙයක්. පුරුෂයෙක්ගෙවත් ස්ත්‍රියකගෙවත්+ 17  පොළොවේ ඉන්න සතෙක්ගෙවත් අහසේ පියාසර කරන කුරුල්ලෙක්ගෙවත්+ 18  පොළොවේ බඩ ගාගෙන යන සතෙක්ගෙවත් වතුරේ ඉන්න මාළුවෙක්ගෙවත් හැඩයකට සමානව කිසිම රූපයක් හදාගන්න එපා.+ 19  ඉර, හඳ, තරු සහ වෙනත් ආකාශ වස්තූන් දිහා බලලා ඒවා ඉස්සරහා වැඳ වැටෙන උගුලට අහු වෙන්න එපා.+ අහස යට ජීවත් වෙන හැම මනුස්සයෙක්ගෙම ප්‍රයෝජනය වෙනුවෙන් ඒ හැම දෙයක්ම හැදුවේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා කියලා මතක තියාගන්න. 20  යෙහෝවා ඔයාලව තෝරගෙන යකඩ උණු කරන උදුනකට සමාන වුණ ඊජිප්තු දේශයෙන් ඔයාලව නිදහස් කළා. එහෙම කළේ ඔයාලව ඔහුට විතරක් අයිති විශේෂ සෙනඟක්* විදිහට වෙන් කරගන්නයි.+ ඒක අද ඔයාලා අද්දකිනවා. 21  “ඔයාලා නිසා මගේ අතින් වුණ වරදට යෙහෝවා මාත් එක්ක කේන්ති අරගෙන+ යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න මට ඉඩ දෙන්නේ නැහැ කියලා දිවුරලා කිව්වා. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුමයක් හැටියට දෙන ඒ සරුසාර දේශයට යන්න මට ඉඩ දෙන්නේ නැහැ කියලත් කිව්වා.+ 22  මම මේ දේශයේදී මිය යනවා. මට යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න ලැබෙන්නේ නැති වුණත්+ ඔයාලා හැමෝම ගඟෙන් එගොඩ වෙලා ඒ සරුසාර දේශය අයිති කරගන්නවා. 23  යෙහෝවා ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම අමතක නොකර ඉන්න වගබලා ගන්න.+ ඔයාලාගේ දෙවි යෙහෝවා තහනම් කරපු කිසිම විදිහේ රූපයක් හදාගන්න එපා.+ 24  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඇවිළෙන ගින්නකට සමානයි.+ ඔහුට මුළු හදවතින්ම ආදරේ කරලා ඔහුට විතරක් නමස්කාර කරයි කියලා ඔහු ඔයාලාගෙන් බලාපොරොත්තු වෙනවා.*+ 25  “ඔයාලා දරු මුනුපුරන් එක්ක ඒ දේශයේ ගොඩක් කල් ජීවත් වුණාට පස්සේ මොන විදිහක හරි රූපයක් හදාගත්තොත්+ ඔයාලා කරන්නේ හරිම දුෂ්ට දෙයක්. ඒකෙන් වෙන්නේ ලොකු විනාශයක්. ඔයාලා කරන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගස්සන එකයි.+ 26  ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝම මම දැන් කියන්න යන මේ දේට සාක්ෂිකරුවන්. දෙවියන්ව ඒ විදිහට කේන්ති ගැස්සුවොත් යොර්දාන් ගඟෙන් එගොඩ තියෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න ඔයාලට ලැබෙන්නේ නැහැ. ඔයාලා උරුම කරගන්න ඒ දේශයෙන් ඔයාලා ඉක්මනින්ම විනාශ වෙලා යයි.+ 27  යෙහෝවා ඔයාලව ඒ දේශයෙන් පන්නලා විවිධ ජාතීන් අතරේ විසුරුවලා දායි.+ ඒ විදිහට යෙහෝවා ඔයාලව ජාතීන් අතරේ විසුරුවලා දැම්මාම ඉතුරු වෙන්නේ ටිකදෙනෙක් විතරයි.+ 28  එතකොට ඔයාලට වෙන්නේ අහන්න දකින්න බැරි, කන්න බොන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති ලීවලින් සහ ගල්වලින් හදාගත්ත දෙවිවරුන්ට සේවය කරන්නයි.+ 29  “ඒත් ඔයාලා එහෙම ඉද්දී ඔයාලාගේ මුළු හදවතින්ම යෙහෝවාගේ මඟ පෙන්වීම් පැතුවොත් අනිවාර්යයෙන්ම ඔහුට ළං වෙන්න ඔයාලට පුළුවන්.+ ඔහුගේ මඟ පෙන්වීම් ලබාගන්න ඔයාලට පුළුවන් හැම දේම කළොත්* ඔහු ආයෙත් ඔයාලව පිළිගනියි.+ 30  මේ හැම දෙයක්ම ඉටු වෙලා ඔයාලා ගොඩක් දුක් විඳිද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ළඟට ආපහු එන්නත් ඔහුට සවන් දෙන්නත් ඔයාලා පෙලඹෙයි.+ 31  ඔයාලාගේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. ඔයාලට විනාශ වෙලා යන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඔයාලාගේ මුතුන්මිත්තන් එක්ක ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ 32  “දැන් ටිකකට අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරලා බලන්න. දෙවි මිනිස්සුන්ව හදලා පොළොවේ පදිංචි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් අහස යට කිසිම තැනක මෙච්චර පුදුම දේවල් සිද්ධ වෙලා තියෙනවාද? මේ වගේ දේවල් ගැන ඔයාලා මීට කලින් අහලා තියෙනවාද?+ 33  ගින්න අතරින් ඔයාලට දෙවියන්ගේ හඬ ඇහුණත් ඔයාලා මැරුණේ නැහැ. වෙනත් කිසිම ජාතියකට දෙවියන්ගේ හඬ ඒ විදිහට ඇහිලා තියෙනවාද?+ 34  ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඊජිප්තුවේදී ඔයාලාගේ ඇස් පනාපිටම කරපු දේවල් මතකද? ඔහුගේ මහත් බලය පාවිච්චි කරලා+ ඔහු පුදුමසහගත ක්‍රියා සහ ආශ්චර්යයන් කළා.+ ඔහු පීඩා ගෙනාවා.* හරිම භයානක දේවල් කරලා+ ඔයාලා වෙනුවෙන් සටන් කළා.+ වෙන ජාතියක් අතරින් තමන් වෙනුවෙන් සෙනඟක්ව තෝරගන්න දෙවියන් කවදා හරි ඒ වගේ දේවල් කරලා තියෙනවාද? 35  ඒ දේවල් ඔයාලට පෙන්නුවේ යෙහෝවා සැබෑ දෙවියන් කියන එක තේරුම්ගන්න+ ඔයාලට පුළුවන් වෙන්නයි. ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ 36  දෙවියන් ඔහුගේ හඬ ස්වර්ගයේ ඉඳන් ඔයාලට ඇහෙන්න සලස්වලා ඔයාලව නිවැරදි කළා. ඔයාලට පොළොවේ මහත් ගින්නක් දකින්නත් සැලැස්සුවා. ඒ ගින්න මැදින් ඔහුගේ හඬ ඔයාලට ඇහුණා.+ 37  “දෙවියන් ඔයාලාගේ මුතුන්මිත්තන්ට ගොඩක් ආදරේ කළා. එයාලාගෙන් පැවතෙන අයව ඔහුගේ සෙනඟ හැටියට තෝරගත්තා.+ ඔහු තමන්ගේ මහත් බලය පාවිච්චි කරලා ඔයාලව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන එද්දී ඔයාලා එක්කම හිටියේ ඒ නිසයි. 38  ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව පන්නලා දාලා එයාලාගේ දේශය ඔයාලට උරුමයක් හැටියට ලබා දෙන්නෙත් ඒ නිසයි. ඒක ඔයාලා දැනටමත් දකිනවා.+ 39  මේ දේ අද ඔයාලා දැනගන්න ඕනේ. මේක ඔයාලාගේ හිතට ගන්න. යෙහෝවා තමයි ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න සැබෑ දෙවියන්.+ ඔහු ඇරෙන්න වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+ 40  අද මම ඔයාලට කියලා දෙන දෙවියන්ගේ නියෝග සහ අණපනත් ඔයාලා පිළිපදින්න ඕනේ. එහෙම කළොත් ඔයාලටත් ඔයාලාගේ දරුවන්ටත් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ ගොඩක් කල් ජීවත් වෙන්නත් පුළුවන් වෙයි.”+ 41  ඊටපස්සේ මෝසෙස් යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ තිබුණ නගර තුනක් වෙන් කළා.+ 42  අත්වැරදීමකින් කෙනෙක් අතින් තව කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ මැරුණ කෙනා එක්ක එයාට කලින් කිසිම අමනාපයක් තිබුණේ නැත්නම්+ තමන්ගේ ජීවිතය බේරගන්න වරදකරු ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+ 43  පළවෙනි නගරේ තමයි පාළුකරයේ උස් තැනිතලාවේ තියෙන බෙෂෙර්.+ ඒක වෙන් කළේ රූබෙන්වරුන්ට. දෙවෙනි නගරේ තමයි ගිලියද් දේශයේ තියෙන රාමොත්.+ ඒක වෙන් කළේ ගාද්වරුන්ට. තුන්වෙනි නගරේ තමයි මනස්සේ ගෝත්‍රයේ+ අයට වෙන් කරපු බාෂාන් දේශයේ තියෙන ගෝලාන්.+ 44  ඉස්සරහට සඳහන් වෙන්නේ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට පැහැදිලි කරලා දීපු නීතියේ+ විස්තරයි. 45  මේවා තමයි ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් දීපු සිහිගැන්වීම්, නියෝග සහ තීන්දු.+ 46  ඒ කාලේදී ඊශ්‍රායෙල්වරුන් කඳවුරු බැඳගෙන හිටියේ යොර්දාන් ගඟ කිට්ටුව තිබුණ බෙත්පෙයෝර්වලට+ ඉස්සරහින් තියෙන නිම්නයේ. ඒ කියන්නේ හෙෂ්බොන්වල+ ජීවත් වුණ අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ දේශයේ. ඊජිප්තුවෙන් ආවාට පස්සේ මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ සීහොන්ව පරාජය කළා.+ 47  සීහොන්ට අයිති වෙලා තිබුණ දේශයයි, බාෂාන්වල රජ වුණ ඕග්ට+ අයිති වෙලා තිබුණ දේශයයි එයාලා අල්ලගත්තා. යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ ජීවත් වුණ අමෝරිවරුන්ගේ ඒ රජවරුන් දෙන්නාට අයිති වුණ මුළු ප්‍රදේශයම එයාලා යටත් කරගත්තා. 48  ඒ ප්‍රදේශය ආනොන් නිම්නය ළඟම තියෙන අරෝයේර්+ නුවරේ ඉඳන් සයොන් ඒ කියන්නේ හෙර්මොන්+ කන්ද දක්වාම විහිදිලා යනවා. 49  ඒ වගේම පිස්ගා කන්ද පාමුල තියෙන අරබා මුහුද* වෙන කල් යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන මුළු අරබා ප්‍රදේශයත් ඒකට ඇතුළත්.+

පාදසටහන්

හෝ, “ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න.”
මූ.අ., “වචන දහය.” දසපනත විදිහටත් හඳුන්වනවා.
හෝ, “ඔයාලා ගැනම හොඳ අවධානයකින් ඉන්න.”
හෝ, “ඔහුගේ උරුමය.”
හෝ, “ඔහු වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “විනිශ්චයන් කළා.”
ඒ කියන්නේ ලුණු මුහුද නැත්නම් මළ මුහුද.