ද්විතීය කතාව 8:1-20

  • යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද මතක් කරයි (1-9)

    • ‘ජීවිත පවත්වගෙන යන්න කෑම විතරක් මදි’ (3)

  • යෙහෝවාව අමතක කරන්න එපා (10-20)

8  “මං අද ඔයාලට කියලා දෙන මේ හැම ආඥාවක්ම පිළිපදින්න වගබලා ගන්න. එහෙම කළොත් ඔයාලාගේ ජීවිත රැකගන්න ඔයාලට පුළුවන් වෙයි.+ ඔයාලාගේ ගාණත් ගොඩක් වැඩි වෙයි. යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ දේශයට ගිහින් ඒක උරුම කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි.+  මේ අවුරුදු 40 පුරා පාළුකරයේ ගිය ගමන කවදාවත් අමතක කරන්න එපා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ දිග ගමන ඔයාලව අරන් ගියේ ඔයාලට නිහතමානිකම උගන්නන්නයි. ඔයාලා හදවතින්ම ඔහුගේ ආඥාවලට කීකරු වෙනවාද නැද්ද කියලා සෝදිසි කරලා බලන්නයි.+  ඒ කාලේදී දෙවියන් ඔයාලට බඩගින්නේ ඉන්න ඉඩහැරියා.+ ඊටපස්සේ ඔයාලවත් ඔයාලාගේ පියවරුන්වත් කවදාවත් දැකලා තිබුණේ නැති මන්නාවලින් ඔයාලව පෝෂණය කළා.+ ඒ දේවලින් ඔහු ඔයාලට නිහතමානිකම ඉගැන්නුවා. ඔහු එහෙම කළේ මිනිස්සුන්ගේ ජීවිත පවත්වගෙන යන්න කෑම විතරක් නෙමෙයි යෙහෝවා කියන හැම දෙයක්මත් අත්‍යවශ්‍යයි+ කියලා ඔයාලට තේරුම් කරලා දෙන්නයි.  ඒ අවුරුදු 40 පුරා ඔයාලාගේ ඇඳුම් දිරලා ගියේවත් ඔයාලාගේ කකුල් ඉදිමුණේවත් නැහැ.+  තාත්තා කෙනෙක් එයාගේ පුතාව නිවැරදි කරනවා වගේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව නිවැරදි කළා කියලා ඔයාලා හොඳින්ම දන්නවා.+  “ඔයාලාගේ දෙවි වන යෙහෝවා දීලා තියෙන ආඥා ඔයාලා පිළිපදින්න ඕනේ. ඒක කරන්න නම් ඔයාලාගේ හිතේ ඔහු ගැන ගරුබියක් තියෙන්න ඕනේ. ඔහුට කීකරු වෙන්නත් ඕනේ.  ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලව අරන් යන්නේ හරිම සරුසාර දේශයකට.+ දිය උල්පත්වලින් පිරුණ ඒ දේශයේ කඳු සහ තැනිතලා අතරින් ඇළදොළ ගංගා ගලාගෙන යනවා.  ඒක තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා, දෙළුම්+ සහ තෙල් නිපදවන්න අවශ්‍ය ඔලීව ගස්වලින් පිරුණ දේශයක්. ඒ දේශයේ ඇති තරම් පැණිත් තියෙනවා.+  එහෙදී ඔයාලට කෑමවලින් නම් කිසිම හිඟයක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම අඩුවක් නැතුව ඔයාලට තියෙයි. එහේ තියෙන ගල් පර්වතවලින් යකඩයි, කඳුවලින් තඹයි ඔයාලට ලබාගන්න පුළුවන්. 10  “ඒ සරුසාර දේශයට ගිහිල්ලා ඔයාලා හොඳට කාලා බීලා සතුටින් කාලේ ගත කරද්දී ඒ දේශය ලබා දුන්න ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔයාලා ප්‍රශංසා කරන්න ඕනේ.+ 11  ඔයාලාගේ දෙවි වන යෙහෝවාව කවදාවත් අමතක කරන්න එපා. ඒත් ඔයාලා පරෙස්සම් වුණේ නැත්නම් ඔහුව අමතක වෙලා අද මං ඔයාලට කියලා දෙන ඔහුගේ අණපනත් සහ තීන්දු ඔයාලා කඩ කරයි. 12  ඒ දේශයට ගිහින් කාලා බීලා, ලස්සන ගෙවල් දොරවල් හදාගෙන සතුටින් ඉද්දීත්+ 13  ඔයාලාගේ එළු බැටළු රැළවල් වැඩි වෙලා, ඔයාලට ගොඩක් රන් රිදී ලැබිලා කිසිම දේකින් අඩුවක් නැතුව ඉද්දීත් 14  ආඩම්බර වෙන්න එපා.+ එහෙම වුණොත් ඔයාලා වහලුන් වෙලා හිටපු ඊජිප්තු දේශයෙන් ඔයාලව නිදහස් කරගෙන ආපු ඔයාලාගේ දෙවි වන යෙහෝවාව ඔයාලට අමතක වෙයි.+ 15  විෂකුරු සර්පයන්ගෙන් සහ ගෝනුස්සන්ගෙන් පිරුණ ඒ භයානක පාළුකරය මැදින් ගමන් කරන්න ඔයාලට උදව් කරපු දෙවියන්ව ඔයාලට අමතක වෙයි.+ බොන්න වතුර නැති වුණ වෙලාවලදී ඔහු ඔයාලට පර්වතවලින් වතුර ලබා දුන්නා.+ 16  ඔයාලාගේ පියවරුන් කවදාවත් දැකලා තිබුණේ නැති මන්නාවලින්+ දෙවියන් ඔයාලව පාළුකරයේ ඉද්දී පෝෂණය කළා. ඔහු එහෙම කළේ ඔයාලට නිහතමානිකම උගන්නන්නයි.+ ඒ වගේම ඔයාලාගේ හදවත් සෝදිසි කරලා බලන්න කරපු ඒ දේවල්වලින් ඔයාලාගේ අනාගතයට හොඳක් වෙනවා කියලා ඔහු දන්න නිසයි.+ 17  කිසිම දවසක හිතන්න එපා ‘අපි පොහොසත් වුණේ අපේම දහඩිය මහන්සියෙන්’ කියලා.+ 18  ඔයාලා පොහොසත් වෙන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ආශීර්වාදය නිසා කියලා මතක තියාගන්න.+ ඔයාලා වෙනුවෙන් ඔහු එහෙම කරන්නේ ඔයාලාගේ මුතුන්මිත්තන් එක්ක ඇති කරගත්ත ගිවිසුමට ඔහු අද වෙන කල් විශ්වාසවන්තව ඉන්න නිසයි.+ 19  “ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවාව අමතක කරලා ඔයාලා වෙනත් දෙවිවරුන් පස්සේ ගිහින් එයාලා ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කරන්න පටන්ගත්තොත් ඔයාලා අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. ඒක ස්ථිරයෙන්ම වෙනවා කියලා මම අද ඔයාලට අනතුරු අඟවනවා.+ 20  ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට ඔයාලා අකීකරු වුණොත් ඔහු ඔයාලව විනාශ කරයි. යෙහෝවා ඔයාලාගේ ඇස් පනාපිටම මේ ජාතීන්ව විනාශ කරලා දාන විදිහටම ඔයාලවත් විනාශ කරලා දායි.+

පාදසටහන්