දානියෙල් 11:1-45

  • පර්සියාවේ සහ ග්‍රීසියේ රජවරු (1-4)

  • උතුරේ සහ දකුණේ රජවරු (5-45)

    • බදු එකතු කරන්නෙක් නැඟී සිටියි (20)

    • ගිවිසුමේ නායකයාව මරලා දායි (22)

    • බලකොටුවල දෙවියන්ට ගෞරවය දෙයි (38)

    • උතුරේ සහ දකුණේ රජවරු දිගටම ගැටෙයි (40)

    • නැඟෙනහිරෙන් සහ උතුරෙන් ලැබෙන ආරංචි නිසා කලබල වෙයි (44)

11  “මේදිය ජාතික දාරියුස්+ පාලනය කරපු පළවෙනි අවුරුද්දේ මිකායෙල්ට* සහය වෙන්න සහ ඔහුව ශක්තිමත් කරන්න මම ආවා.  මම දැන් ඔයාට කියන දේවල් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. “පර්සියාවේ තව රජවරු තුන්දෙනෙක් බලයට එනවා.* හතරවෙනි රජ අනිත් ඔක්කොම රජවරුන්ට වඩා ධන සම්පත් ගොඩක් රැස් කරගන්නවා. ඒ විදිහට එයා බලවත් වුණාම එයාට තියෙන හැම දෙයක්ම පාවිච්චි කරලා එයා ග්‍රීසියේ රාජධානියට+ විරුද්ධව නැඟී සිටිනවා.  “ඊටපස්සේ බලවත් රජ කෙනෙක් පාලනය කරන්න පටන්ගන්නවා.* එයා තමන් කැමති විදිහට වැඩ කරලා විශාල, හරිම බලවත් රාජ්‍යයක් පිහිටුවනවා.+  ඒත් එයා ගොඩක් බලවත් වුණාම එයාගේ රාජ්‍යය බිඳ වැටිලා පොළොවේ හතර දිශාවට* බෙදිලා යනවා.+ ඒත් එයාගෙන් පැවතෙන අයට ඒක අයිති වෙන්නේ නැහැ. ඒක ඒ අයගෙන් උදුරලා දානවා. රාජ්‍යය වෙනත් පිරිසක් අතට යනවා. ඒත් එයාලාගේ පාලනය එයාගේ පාලනය තරම් බලවත් වෙන්නේ නැහැ.  “එයාගේ අධිපතියෙක් වෙලා හිටපු දකුණේ රජ ගොඩක් බලවත් වෙනවා. ඒත් වෙන කෙනෙක්* ඒ රජට වඩා බලවත් වෙලා එයාව යටත් කරගන්නවා.  “අවුරුදු කීපයකට පස්සේ ඒ දෙන්නා ගිවිසුමක් ඇති කරගන්නවා. දකුණේ රජගේ දුව උතුරේ රජ ළඟට ගිහින් එකඟතාවකට එනවා. ඒත් ඇගේ බලය දිගටම තියෙන්නේ නැහැ. රජට තියෙන බලයත් නැති වෙනවා. ඇයව පාවලා දෙනවා. ඇයයි, ඇය එක්ක ආපු අයයි, ඇගේ පියායි, ඒ දවස්වල ඇයව බලවත් කරපු කෙනායි වැටිලා යනවා.  ඇගේ මුල්වලින් එන අංකුරයක් එයාට කලින් හිටපු කෙනාගේ* තැන ගන්නවා. ඒ රජ උතුරේ රජගේ හමුදාවට විරුද්ධව ඇවිල්ලා බලකොටුවට පහර දීලා එයාලව යටත් කරගන්නවා.  ඒ රජ එයාලාගේ දෙවිවරුන්, දෙවිවරුන්ගේ රූප,* වටිනා රන් සහ රිදී භාණ්ඩ අරගෙන වහලුන්* එක්ක ඊජිප්තු දේශයට යනවා. අවුරුදු කීපයකට එයා උතුරේ රජට විරුද්ධව යන්නේ නැහැ.  උතුරේ රජ දකුණේ රජගේ රාජධානියට පහර දෙනවා. ඒත් එයා ආපහු එයාගෙම දේශයට හැරිලා යනවා. 10  “එයාගේ* පුතාලා විශාල හමුදාවක් රැස් කරගෙන සටනට සූදානම් වෙනවා. එයාලාගෙන් එක් කෙනෙක් ගංවතුරක් වගේ වේගයෙන් ඇවිත් දේශය පුරාම යනවා. ඒත් එයා ආපහු හැරිලා එයාගේ බලකොටුවට යන කල්ම සටන් කරකර යනවා. 11  “දකුණේ රජ හරිම කේන්තියෙන් උතුරේ රජ එක්ක සටන් කරන්න යනවා. එයාත්* සටන් කරන්න විශාල සේනාවක් රැස් කරගන්නවා. ඒත් ඒ සේනාව ඒ රජගේ* අතින් පරාජය වෙනවා. 12  එයා සේනාවත් අරගෙන යනවා. ඒ නිසා රජගේ හිත උඩඟු වෙනවා. එයා අතින් දසදහස් ගාණක් විනාශ වෙනවා. එයා බලවත් වුණත් එයා ඒකෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. 13  “උතුරේ රජ කලින්ට වඩා ලොකු සේනාවක් රැස් කරගෙන ආපහු එනවා. කාලයකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු ගාණකට පස්සේ එයා හොඳට සූදානම් කරගත්ත ලොකු හමුදාවක් එක්ක අනිවාර්යයෙන්ම එනවා. 14  ඒ දවස්වල බොහෝදෙනෙක් දකුණේ රජට විරුද්ධව නැඟී සිටිනවා. “ඔයාගේ සෙනඟ අතරේ ඉන්න දරුණු අයත් දර්ශනයක් ඉටු කරන්න උත්සාහ කරනවා. ඒත් එයාලා සාර්ථක වෙන්නේ නැහැ. 15  “උතුරේ රජ ඇවිත් බලකොටු තියෙන නුවර වටේ පවුරක් ගොඩනඟලා ඒක අල්ලගන්නවා. එයාට විරුද්ධව නැඟී සිටින්න දකුණේ රජගේ හමුදාවන්ට බැරි වෙනවා. එයාගේ දක්ෂම සෙබළුන් පවා දුර්වල වෙනවා. එයාලට සටන් කරන්න කිසිම ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ. 16  ඒ රජට* විරුද්ධව සටන් කරන කෙනා තමන් කැමති කැමති විදිහට වැඩ කරනවා. එයාට විරුද්ධ වෙන්න කාටවත් බැහැ. එයා අලංකාර දේශයට+ ගිහින් එයාගේ බලය තහවුරු කරගන්නවා. එයාට විරුද්ධ වෙන අයව විනාශ කරලා දාන්න එයාට බලය ලැබෙනවා. 17  එයා ලොකු අධිෂ්ඨානයකින් එයාගේ රාජධානියේ මුළු හමුදාවම රැස් කරගෙන ඉස්සරහට යනවා. ඒත් එයා ගිවිසුමක් ඇති කරගෙන එයා හිතාගෙන හිටපු විදිහට වැඩ කරනවා. දුවෙක්ව අනතුරේ දාන්න එයාට අවසර ලැබෙනවා. ඒත් ඇගෙන් බලාපොරොත්තු වුණ දේ ඇය කරන්නේ නැහැ. ඒ වගේම ඇය එයාට පක්ෂව ඉන්නෙත් නැහැ. 18  ඒ රජ වෙරළබඩ ප්‍රදේශවලට හැරිලා ගිහින් ගොඩක් ප්‍රදේශ අල්ලගන්නවා. ඒත් හමුදාපතියෙක් ඇවිල්ලා එයාගේ අහංකාර වැඩ නවත්තලා දානවා. ඒ හමුදාපති රජ කරපු නින්දා ආයෙත් එයා පිටටම හරවනවා. 19  ඊටපස්සේ එයා එයාගෙම දේශයේ බලකොටු දිහාවට ආයෙත් යනවා. ඒත් පය පැටලිලා එයා වැටෙනවා. එයාව ආයෙත් හොයාගන්න බැරි වෙනවා. 20  “එයාගේ තැන වෙනත් කෙනෙක් ගන්නවා. ඒ කෙනා අලංකාර රාජ්‍යය පුරා බදු එකතු කරන්නෙක්ව* යවනවා. ඒත් වැඩි දවසක් යන්න කලින් එයා වැටිලා යනවා. ඒ සතුරුකමක්වත් යුද්ධයක්වත් නිසා නෙමෙයි. 21  “කිසි පිළිගැනීමක් නැති කෙනෙක් එයාගේ තැන ගන්නවා. එයාට රජ කෙනෙක්ට ලැබෙන්න ඕනෙ ගෞරවය එයාලා ලබා දෙන්නේ නැහැ. එයා සාමකාමී කාලයක* ඇවිල්ලා හරිම කපටි විදිහට* රාජ්‍ය බලය ලබාගන්නවා. 22  එයා ගංවතුරක් වගේ එන හමුදාවන් යටත් කරගෙන ඒවා විසුරුවාහරිනවා. ගිවිසුමේ+ නායකයාව+ මරලා දානවා. 23  එයාත් එක්ක ඇති කරගන්න සන්ධානය නිසා* එයා කපටි විදිහට වැඩ කරලා බලය ලබාගන්නවා. කුඩා ජාතියක් නිසා එයා ගොඩක් බලවත් වෙනවා. 24  සාමකාමී කාලයක* එයා පළාතේ සාරවත්ම ප්‍රදේශවලට ඇතුල් වෙලා එයාගේ මුතුන්මිත්තන් කිසිම කෙනෙක් නොකරපු දේවල් කරනවා. හොරකම් කරපු සහ කොල්ල කාපු දේවලුත් වස්තුත් එයා සෙනඟ අතර බෙදාහරිනවා. බලකොටු තියෙන තැන්වලට විරුද්ධවත් එයා කුමන්ත්‍රණය කරනවා. ඒත් ඒක කෙටි කාලයකට විතරයි. 25  “එයා දකුණේ රජට විරුද්ධව නැඟී සිටින්න බලයත් ධෛර්යයත් වැඩි කරගෙන විශාල යුද හමුදාවක් ලෑස්ති කරගන්නවා. දකුණේ රජත් අතිවිශාල, බලවත් යුද හමුදාවක් එක්ක යුද්ධයට සූදානම් වෙනවා. එයාට විරුද්ධව කරන කුමන්ත්‍රණ නිසා එයා* වැටිලා යනවා. 26  එයා එක්ක එකට කෑම කන අයම එයාව විනාශ කරනවා. “එයාගේ හමුදාව පරාජයට පත් වෙලා නැත්තටම නැති වෙනවා. බොහෝදෙනෙක් මැරුම් කනවා. 27  “මේ රජවරු දෙන්නාගේ හිත්වල තියෙන්නෙම නපුරු අදහස්. එයාලා දෙන්නා එකම මේසයේ ඉඳගෙන එකිනෙකාට බොරු කිව්වත් කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අවසානය නියමිත කාලයේදී එනවා.+ 28  “එයා* ගොඩක් සම්පත් අරගෙන ආයෙත් එයාගේ දේශයට හැරිලා යනවා. ශුද්ධ ගිවිසුමට විරුද්ධව වැඩ කරන්න එයා අදිටන් කරගන්නවා. එයා සාර්ථකව වැඩ කරලා තමන්ගේ දේශයට ආයෙත් හැරිලා යනවා. 29  “නියම කරලා තියෙන කාලයේදී එයා ආයෙත් දකුණට විරුද්ධව නැඟී සිටිනවා. ඒත් මේ වතාවේ මුල් වතාවට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙනවා. 30  මොකද එයාට විරුද්ධව කිත්තිම්වල+ නැව් එනවා. එයාට යටත් වෙන්න වෙනවා. “එයා ආපහු හැරිලා ගිහින් ශුද්ධ ගිවිසුමට විරුද්ධව+ එයාගේ කේන්තිය පිට කරනවා. එයා සාර්ථක වෙනවා. එයා ආපහු හැරිලා ගිහින් ශුද්ධ ගිවිසුම අත්හැරලා යන අයට පක්ෂව වැඩ කරනවා. 31  එයාගේ හමුදාවන්* බලවත් වෙලා නැඟී සිටිනවා. එයාලා බලකොටුවක් වන ශුද්ධස්ථානය අපවිත්‍ර කරනවා.+ නිතරම ඔප්පු කරන පූජාවත් නවත්තනවා.+ “විනාශයක් කරන පිළිකුල් දේත් පිහිටුවනවා.+ 32  “දුෂ්ට විදිහට වැඩ කරලා ගිවිසුම කඩ කරන අයට එයා චාටු කතා කියනවා. එහෙම කරලා දෙවියන්ට විරුද්ධ වෙන්න එයාලව පොලඹවනවා. ඒත් දෙවියන්ව දැන හඳුන ගෙන ඉන්න ඔහුගේ සෙනඟ ස්ථිරව ඉඳලා වැඩ කරගෙන යනවා. 33  අවබෝධයෙන් වැඩ කරන අය+ ගොඩක් අයව දැනුවත් කරනවා. එයාලා කඩුව, ගින්න, සිරදඬුවම් සහ කොල්ල කෑම් නිසා කෙටි කාලයකට වැටෙනවා. 34  එයාලා වැටුණාම එයාලට පොඩි උදව්වක් ලැබෙනවා. ගොඩක් අය චාටුවෙන් එයාලට එකතු වෙනවා. 35  අවබෝධයෙන් වැඩ කරන අයගෙන් සමහරදෙනෙක් වැටෙනවා. ඒ අය නිසා සෙනඟව පිරිසිදු කරලා, පවිත්‍ර තත්වයකට ගේන්න+ පුළුවන් වෙනවා. ඒක අවසාන කාලය වෙන කල්ම වෙනවා. නියම කරපු විදිහටම ඒක වෙනවා. 36  “ඒ රජ තමන් කැමති විදිහට වැඩ කරනවා. එයා හැම දෙවි කෙනෙක්ටම වඩා තමන්වම උසස් කරගෙන තමන්ට ප්‍රශංසාව ලබාගන්නවා. එයා දෙවිවරුන්ගෙත් දෙවියන්ට+ විරුද්ධව පුදුම හිතෙන දේවල් කියනවා. දෙවියන් ඔහුගේ උදහස ප්‍රකාශ කරන කාලය අවසන් වෙන කල් එයා සාර්ථක වෙනවා. මොකද දෙවියන් තීරණය කරපු දේවල් අනිවාර්යයෙන්ම වෙනවා. 37  එයා තමන්ගේ පියවරුන්ගේ දෙවියන්වවත් වෙන කිසිම දෙවි කෙනෙක්වවත් ගාණකටවත් ගන්නේ නැහැ. එයා ස්ත්‍රීන් ආස කරන දේවලුත් ගණන් ගන්නේ නැහැ. එයා හැමෝටම වඩා තමන්ව උසස් කරගන්නවා. 38  ඒත් එයා බලකොටුවල දෙවියන්ට ගෞරවය දෙනවා. එයා රන්, රිදී, මැණික් සහ වටිනා දේවල් වැය කරලා එයාගේ පියවරුන් නොදන්න දෙවි කෙනෙක්ට ගෞරව කරනවා. 39  එයා නාඳුනන දෙවි කෙනෙක්ගේ උදව්වෙන් ශක්තිමත්ම බලකොටුවලට විරුද්ධව වැඩ කරලා සාර්ථක වෙනවා. එයාට ගෞරවය දෙන අයට එයාත් හුඟක් ගෞරව කරනවා.* ගොඩක් අයව පාලනය කරන්න එයා එයාලව පත් කරනවා. එයා සල්ලිවලට දේශය බෙදලා දෙනවා.* 40  “අවසාන කාලයේදී දකුණේ රජ එයාත් එක්ක දිගටම ගැටෙනවා.* උතුරේ රජත් යුධ රථ, අසරුවන් සහ ගොඩක් නැව් රැස් කරගෙන කුණාටුවක් වගේ ඒ රජට විරුද්ධව එනවා. එයා ගංවතුරක් වගේ වේගයෙන් හුඟක් දේශවලට ඇතුල් වෙනවා. 41  එයා අලංකාර දේශයටත්+ ඇතුල් වෙනවා. එයා ගොඩක් දේශ යටත් කරගන්නවා. ඒත් ඒදොම්, මෝවබ් සහ අම්මොන්වරුන්ගේ ප්‍රධාන කණ්ඩායම එයාගේ අතින් ගැලවෙනවා. 42  එයා විවිධ දේශයන්ට විරුද්ධව දිගටම එයාගේ බලය පෙන්නනවා. ඊජිප්තු දේශයත් එයාගේ අතින් ගැලවෙන්නේ නැහැ. 43  ඊජිප්තු දේශයට අයිති නිධාන, රන්, රිදී සහ හැම වටිනා දෙයක්ම එයාගේ පාලනය යටතේ තියෙනවා. ලිබියන්වරු සහ ඉතියෝපියානුවන් එයා කියන කියන විදිහට වැඩ කරනවා.* 44  “ඒත් නැඟෙනහිරෙන් සහ උතුරෙන් ලැබෙන ආරංචි නිසා එයා කලබල වෙනවා. එයා හුඟදෙනෙක්ව විනාශ කරන්නත් හැම දෙයක්ම නැත්තටම නැති කරන්නත් ලොකු කේන්තියකින් පිටත් වෙලා යනවා. 45  අලංකාර දේශයේ ශුද්ධ කන්ද+ සහ මහ මුහුද අතරේ එයා එයාගේ රාජකීය* කූඩාරම් ගහගන්නවා. එයා විනාශ වෙන කල්ම ඉස්සරහට යනවා. එයාගේ උදව්වට කවුරුවත් එන්නේ නැහැ.

පාදසටහන්

මූ.අ., “ඔහුට.”
මූ.අ., “නැඟී ඉන්නවා.”
මූ.අ., “නැඟී ඉන්නවා.”
මූ.අ., “අහසේ හමන හුළං හතර දිහාවට.”
පේන විදිහට මෙතන කතා කරන්නේ උතුරේ රජ ගැනයි.
පේන විදිහට මෙතන කතා කරන්නේ දකුණේ රජ ගැනයි.
මෙතන කතා කරන්නේ මිනිස්සු, රූප සහ වෙනත් දේවල් ගැන වෙන්න පුළුවන්.
හෝ, “ලෝහ උණු කරලා හදපු රූප.”
පේන විදිහට මෙතන කතා කරන්නේ උතුරේ රජ ගැනයි.
පේන විදිහට මෙතන කතා කරන්නේ උතුරේ රජ ගැනයි.
පේන විදිහට මෙතන කතා කරන්නේ දකුණේ රජ ගැනයි.
පේන විදිහට මෙතන කතා කරන්නේ දකුණේ රජ ගැනයි.
හෝ, “වැඩ පවරන කෙනෙක්ව.”
හෝ සමහරවිට, “නොහිතපු කාලයක.”
හෝ, “සූක්ෂ්ම විදිහට.”
හෝ, “එකඟතාව නිසා.”
හෝ සමහරවිට, “නොහිතපු කාලයක.”
පේන විදිහට මෙතන කතා කරන්නේ උතුරේ රජ ගැනයි.
පේන විදිහට මෙතන කතා කරන්නේ උතුරේ රජ ගැනයි.
මූ.අ., “අත්.”
හෝ සමහරවිට, “එයා පිළිගන්න අයට එයා හුඟක් ගෞරව කරනවා.”
හෝ, “කොටස් කරලා විකුණනවා.”
හෝ, “අං පටලගන්නවා.”
හෝ, “එයාගේ කකුල් දෙක ළඟ දැවටි දැවටි ඉන්නවා.”
හෝ, “ලොකු.”