දානියෙල් 4:1-37

  • නෙබුකද්නෙෂර් රජ දෙවියන්ගේ පාලනය පිළිගනියි (1-3)

  • ගහක් ගැන රජ දැක්ක හීනය (4-18)

    • කපපු ගහ කාලවල් හතක් එහෙම්මම තියෙනවා (16)

    • දෙවියන් මිනිස් ආණ්ඩුවලට වඩා ඉහළින් ඉන්නවා (17)

  • දානියෙල් හීනයේ තේරුම පැහැදිලි කරයි (19-27)

  • මුල් ඉටු වීම රජට අදාළයි (28-36)

    • කාලවල් හතකට රජ සිහිවිකල් වෙයි (32, 33)

  • රජ ස්වර්ගයේ දෙවියන්ට ප්‍රශංසා කරයි (37)

4  “නෙබුකද්නෙෂර් රජ වන මම ලෝකේ පුරාම ඉන්න විවිධ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන ජනයාට මේ පණිවිඩය දැනුම් දෙනවා. ඔයාලා හැමෝටම සමාදානය වැඩි වැඩියෙන් ලැබේවා!  උසස්ම දෙවියන් මට පෙන්නපු ලකුණු සහ මං වෙනුවෙන් කරපු පුදුමාකාර දේවල් ගැන ඔයාලට දන්වන්න මං කැමතියි.  ඔහු පෙන්නපු ලකුණු කොච්චර ශ්‍රේෂ්ඨද! ඔහු කරපු පුදුමාකාර දේවල් කොච්චර බලවත්ද! ඔහුගේ රාජ්‍යය සදහටම තියෙන රාජ්‍යයක්. ඔහුගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+  “නෙබුකද්නෙෂර් වන මම, රජමාලිගාවට වෙලා සතුටින්, සැහැල්ලුවෙන් හිටියා.  ඔහොම ඉද්දී ගොඩක් බය හිතෙන හීනයක් මං දැක්කා. හීනෙන් මං දැක්ක දේවල්* නිසා මගේ හිත හොඳටම කලබල වුණා.+  ඉතින් ඒ හීනයේ තේරුම දැනගන්න බැබිලෝනියේ ඉන්න උගත් හැමෝවම මං ළඟට ගේන්න කියලා මම නියෝග කළා.+  “මන්තර ගුරුකම් කරන පූජකයන්, පේන කියන්නන්, කල්දිවරුන්* සහ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්+ මං ඉස්සරහට ආවා. මං එයාලට මගේ හීනය විස්තර කළත් ඒකේ තේරුම පැහැදිලි කරලා දෙන්න එයාලට බැරි වුණා.+  අන්තිමට දානියෙල් මං ඉස්සරහට ආවා. එයාව බෙල්ටෂසර් කියන නමිනුත් හඳුන්වනවා.+ ඒක මගේ දෙවියන්ගේ නමින් හදාගත්ත නමක්.+ දානියෙල්ට ශුද්ධ දෙවිවරුන්ගේ බලය තියෙනවා.+ ඉතින් මං දැක්ක හීනය මම එයාට විස්තර කළා.  “‘බෙල්ටෂසර්, මන්තර ගුරුකම් කරන පූජකයන්ගේ ප්‍රධානියා+ වන ඔයාට ශුද්ධ දෙවිවරුන්ගේ බලය තියෙනවා+ කියලා මම දන්නවා. ඔයාට හෙළි කරන්න බැරි රහසක් නැහැ.+ ඉතින් මං හීනයෙන් දැක්ක දේවල්වල තේරුම මට පැහැදිලි කරලා දෙන්න. 10  “‘මං නිදාගෙන ඉද්දී හීනෙන් දැක්කා පොළොව මැද ගහක් තියෙනවා.+ ඒක හරිම උසයි.+ 11  ඒ ගහ ලොකු වෙලා හොඳට ශක්තිමත් වුණා. ඒක අහස උසටම වැඩුණා. පොළොවේ හැම කෙළවරකටම ඒ ගහ පෙනුණා. 12  ඒක ලස්සන කොළවලින් පිරුණු, ගෙඩිවලින් බර වුණු ගහක්. හැමෝටම කන්න ඇති තරම් පලතුරු ඒකේ තිබුණා. වනසත්තු ඒකේ හෙවණ හොයාගෙන ආවා. කුරුල්ලෝ ඒකේ අතුවල ලැගුම් ගත්තා. හැම ජීවියෙක්ම ඒකෙන් කෑවා. 13  “‘ඒත් එක්කම හීනෙන් මම දැක්කා ස්වර්ගයේ ඉඳන් මුරකරුවෙක් එනවා. ඔහු ශුද්ධ කෙනෙක්.+ 14  ඔහු කෑගහලා මෙහෙම කිව්වා. “ගහ කපලා දාන්න.+ ඒකේ අතුත් කපන්න. අතු හොල්ලලා කොළ ඔක්කොම බිමට හලන්න. පලතුරු කඩලා හැම තැනටම වීසි කරන්න. එතකොට ඒකේ හෙවණට වෙලා ඉන්න සත්තු එතනින් දුවලා යයි. අතුවල ඉන්න කුරුල්ලෝ ඉගිල්ලිලා යයි. 15  ඒත් මුලත් එක්ක ගහේ කඳ කොටස උගුල්ලලා දාන්න එපා. ඒක යකඩ සහ තඹ පටිවලින් බඳින්න. පිනිවලට තෙමිතෙමී තණකොළ අතරේ ඒක තියෙන්න අරින්න. ඒක සත්තු එක්ක තියෙන්න ඉඩහරින්න.+ 16  ඒකට තියෙන මනුස්ස හිත වෙනුවට වනසතෙක්ගේ හිතක් දෙන්න. කාලවල් හතක්+ යන කල්+ ඒක ඒ විදිහටම තියෙන්න ඉඩහරින්න. 17  ඒ නියෝගය ප්‍රකාශ කරන්නේ මුරකරුවන්.+ ඒ තීන්දුව දන්වන්නේ ශුද්ධ අයයි. ඒ දේ කරන්නේ උසස්ම තැනැත්තාණන් මිනිස් ආණ්ඩුවලට වඩා ඉහළින් ඉන්නවා+ කියලා හැමෝම දැනගන්න ඕනෙ නිසයි. ඔහු තමන් කැමති ඕනෙම කෙනෙක්ට, මිනිසුන් අතරින් පහත්ම කෙනෙක්ට වුණත් පාලනය භාර දෙනවා කියලා හැමෝම දැනගන්න ඕනෙ නිසයි.” 18  “‘නෙබුකද්නෙෂර් රජ වන මම දැක්ක හීනය ඒකයි. මගේ රාජධානියේ ඉන්න උගත් කාටවත් ඒකේ තේරුම මට පැහැදිලි කරලා දෙන්න බැරි වුණා.+ බෙල්ටෂසර්, ශුද්ධ දෙවිවරුන්ගේ බලය ඔයාට තියෙන නිසා ඔයාට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒකේ තේරුම මට කියන්න.’ 19  “එතකොට බෙල්ටෂසර් කියලා හඳුන්වපු දානියෙල්+ හොඳටම බය වුණා. එයා ගල්ගැහිලා වගේ බලාගෙන හිටියා. “රජ වන මම එයාට මෙහෙම කිව්වා. ‘බෙල්ටෂසර්, හීනය නිසාවත් ඒකේ තේරුම නිසාවත් බය වෙන්න එපා.’ “එතකොට බෙල්ටෂසර් මෙහෙම කිව්වා. ‘මගේ ස්වාමීනි, හීනයෙන් ඔබ දැක්ක දේවල් ඔබට වෛර කරන අයට සිද්ධ වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන දේවල් ඔබේ හතුරන්ට සිද්ධ වෙන්න ඕනේ. 20  “‘රජතුමනි, හොඳට ලොකු වෙලා ශක්තිමත් වුණ ගහක් ඔබ දැක්කා. ඒක අහස උසටම වැඩුණා. පොළොවේ හැම තැනකටම ඒ ගහ පෙනුණා.+ 21  ඒක ලස්සන කොළවලින් සහ ගෙඩිවලින් පිරිලා තිබුණා. හැමෝටම කන්න ඇති තරම් පලතුරු ඒකේ තිබුණා. ඒක යට වනසත්තු හිටියා. අතුවල කුරුල්ලෝ හිටියා.+ 22  රජතුමනි, ඒ ගහ ඔබයි. මොකද ඔබ බලවත්, ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙලා තියෙනවා. ඔබේ තේජස මොන තරම්ද! ඒක අහස උසටම නැඟලා තියෙනවා.+ ඔබේ රාජ්‍යය පොළොව පුරාම පැතිරිලා.+ 23  “‘රජතුමනි, ඔබ ස්වර්ගයේ ඉඳන් මුරකරුවෙක් එනවා දැක්කා. ඔහු ශුද්ධ කෙනෙක්.+ ඔහු මෙහෙම කියනවා ඔබට ඇහුණා. “ගහ කපලා විනාශ කරලා දාන්න. ඒත් මුලත් එක්ක ගහේ කඳ කොටස උගුල්ලලා දාන්න එපා. ඒක යකඩ සහ තඹ පටිවලින් බඳින්න. පිනිවලට තෙමිතෙමී තණකොළ අතරේ ඒක තියෙන්න අරින්න. කාලවල් හතක් යන කල්+ ඒක එහෙම සත්තු එක්ක තියෙන්න ඉඩහරින්න.” 24  රජතුමනි, හීනයේ තේරුම මේකයි. උසස්ම තැනැත්තාණන් මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට වෙන්න ඕනෙ කියලා තීන්දු කරලා තියෙන්නේ මේකයි. 25  මිනිස්සු අතරින් ඔබව එළවලා දානවා. ඔබට ඉන්න වෙන්නේ සත්තු එක්ක. හරක් වගේ ඔබටත් තණකොළ කන්න වෙනවා. පිනිවලට තෙමිතෙමී ඔබට ජීවත් වෙන්න වෙයි.+ කාලවල් හතක්+ යන කල් ඔබට ඒ විදිහටම ඉන්න වෙයි.+ උසස්ම තැනැත්තාණන් මිනිස් ආණ්ඩුවලට වඩා ඉහළින් ඉන්නවා කියලත් ඔහු තමන් කැමති කෙනෙක්ට පාලනය භාර දෙනවා කියලත් ඔබ තේරුම්ගන්න කල්+ ඔබට ඒ විදිහට ඉන්න වෙනවා. 26  “‘මුලත් එක්ක ගහේ කඳ කොටස උගුල්ලලා දාන්න එපා+ කියලා එයාලා කිව්වා. ඒ නිසා ස්වර්ගයේ ඉඳන් පාලනය කරන කෙනෙක් ඉන්නවා කියලා ඔබ පිළිගත්තාට පස්සේ ඔබේ රාජ්‍යය ආයෙත් ඔබට ලැබෙනවා. 27  රජතුමනි, මං කියන මේ දේ ගැන හිතලා බලන්න. වැරදි දේවලින් ඈත් වෙලා හරි දේ කරන්න. අසාධාරණකම් කරන්නේ නැතුව දුප්පත් අයට අනුකම්පාවෙන් සලකන්න. එහෙම කළොත් තව කාලයක් කරදරයක් නැතුව සැපට ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙයි.’”+ 28  ඒ කියපු හැම දෙයක්ම නෙබුකද්නෙෂර් රජට ඒ විදිහටම වුණා. 29  හීනය දැකලා මාස 12කට පස්සේ රජ බැබිලෝනියේ තිබුණු රජමාලිගාවේ සඳලුතලයේ ඇවිද ඇවිද හිටියා. 30  ඒ වෙලාවේ රජ මෙහෙම කිව්වා. “මේ මගේම බලයෙන් සහ ශක්තියෙන් මං ගොඩනඟපු මහ බැබිලෝනිය නෙමෙයිද? මගේ තේජස පෙන්නන්න මං ගොඩනඟපු මගේ රාජධානිය නෙමෙයිද?” 31  රජ එහෙම කියද්දීම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “නෙබුකද්නෙෂර් රජතුමනි, ඔබට දෙන තීන්දුව මේකයි. ‘රාජ්‍යය ඔබෙන් අයින් කරලා තියෙනවා.+ 32  මිනිස්සු අතරින් ඔබව එළවලා දානවා. ඔබට ඉන්න වෙන්නේ සත්තු එක්ක. හරක් වගේ ඔබටත් තණකොළ කන්න වෙනවා. කාලවල් හතක් යන කල් ඔබට ඒ විදිහටම ඉන්න වෙයි. උසස්ම තැනැත්තාණන් මිනිස් ආණ්ඩුවලට වඩා ඉහළින් ඉන්නවා කියලත් ඔහු තමන් කැමති කෙනෙක්ට පාලනය භාර දෙනවා කියලත් ඔබ තේරුම්ගන්න කල්+ ඔබට ඒ විදිහට ඉන්න වෙනවා.’” 33  ඒ වෙලාවෙම නෙබුකද්නෙෂර් රජට ඒ හැම දෙයක්ම වුණා. එයාව මිනිස්සු අතරින් එළවලා දැම්මා. එයා පිනිවලට තෙමිතෙමී හරක් වගේ තණකොළ කෑවා. එයාගේ හිසකෙස් රාජාලියෙක්ගේ පිහාටු වගේ දික් වුණා. නියපොතු කුරුල්ලෙක්ගේ නියපොතු වගේ වැවුණා.+ 34  “ඒ කාලය ගෙවුණාට පස්සේ+ නෙබුකද්නෙෂර් වන මම ස්වර්ගය දිහා බැලුවා. මම ආයෙත් පියවි සිහියට ආවා. මම උසස්ම තැනැත්තාණන්ට ප්‍රශංසා කළා. සදහටම ජීවත් වන ඒ තැනැත්තාණන්ට ප්‍රශංසා කරලා ඔහුට ගෞරවය දුන්නා. මොකද ඔහුගේ රාජ්‍යය සදහටම තියෙනවා. ඔහුගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+ 35  ඔහු එක්ක බලද්දී පොළොවේ ඉන්න අයගේ වටිනාකමක් නැති තරම්. ඔහු ස්වර්ගයේ ඉන්න සේනාවන් සහ පොළොවේ ඉන්න අය එක්ක වැඩ කරන්නේ තමන් කැමති විදිහටයි. ඔහුට බාධා කරන්න කාටවත් බැහැ.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ.+ 36  “ආයෙත් පියවි සිහිය ආවාම මට මගේ ශ්‍රේෂ්ඨ රාජ්‍යය ආපහු ලැබුණා. මට තිබුණ තේජස, ගෞරවය ලැබුණා.+ උසස් නිලධාරීන්, වංශවත් අය ආයෙත් මගේ මඟ පෙන්වීම් හොයාගෙන ආවා. මං ආයෙත් පාලනය කරන්න පටන්ගත්තා. කලින්ටත් වඩා උසස් තත්වයක් මට ලැබුණා. 37  “නෙබුකද්නෙෂර් වන මම දැන් ස්වර්ගයේ රජට+ ප්‍රශංසා කරනවා. ගෞරවය ලබා දෙනවා. මොකද ඔහු හැම වෙලාවෙම හරි දේට එකඟව වැඩ කරනවා. ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරනවා.+ උඩඟු අයව පහත් කරන්න ඔහුට පුළුවන්.”+

පාදසටහන්

මූ.අ., “ඇඳේ ඉද්දී දැක්ක රූප සහ දර්ශන.”
ඒ කියන්නේ ජ්‍යෝතිෂයට සහ පේන කියන්න දක්ෂ පිරිසක්.