දානියෙල් 7:1-28

  • මෘගයන් හතරදෙනා ගැන දැක්ක දර්ශන (1-8)

    • ආඩම්බර පොඩි අඟක් එයි (8)

  • අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන් අධිකරණයේ වැඩ පටන්ගනියි (9-14)

    • මනුෂ්‍ය පුත්‍රයෙක්ව රජකමට පත් කරයි (13, 14)

  • දානියෙල්ට තේරුම පැහැදිලි කරයි (15-28)

    • මෘගයන් හතරදෙනා රජවරුන් හතරදෙනෙක් (17)

    • ශුද්ධ අයට රාජ්‍යය ලැබෙනවා (18)

    • අං දහයක් නැත්නම් රජවරුන් දහදෙනෙක් නැඟී සිටියි (24)

7  බැබිලෝනියේ රජ වුණ බෙල්ෂසර්+ පාලනය කරපු පළවෙනි අවුරුද්දේ දානියෙල් හීනෙන් දර්ශන කීපයක්ම දැක්කා.+ හීනෙන් දැක්ක හැම දෙයක්ම එයා විස්තර ඇතුව ලියලා තිබ්බා.+  දානියෙල් මෙහෙම විස්තර කළා. “එදා රෑ නිදාගෙන ඉද්දී හතර දිශාවෙන්ම හුළං* ඇවිත් මහ මුහුද කලඹනවා+ මං දර්ශනයකින් දැක්කා.  එතකොටම ලොකු මෘගයන් හතරදෙනෙක්+ මුහුදෙන් උඩට ආවා. ඒ මෘගයන් හතරදෙනා එකාට එකා වෙනස්.  “මුලින්ම ආපු මෘගයා සිංහයෙක් වගේ.+ ඌට රාජාලියෙක්ට තියෙන තටු තිබුණා.+ මං බලාගෙන ඉද්දී උගේ තටු උගුල්ලලා දැම්මා. ඌව පොළොවෙන් ඉහළට උස්සලා මනුස්සයෙක් වගේ කකුල් දෙකෙන් හිටගන්න සැලැස්සුවා. ඌට මනුස්සයෙක්ගේ හිතකුත් දුන්නා.  “ඒත් එක්කම මම තවත් මෘගයෙක්ව දැක්කා. දෙවෙනියට දැක්ක ඒ මෘගයා වලහෙක් වගේ.+ එක කකුලක් උස්සගෙන හිටපු ඌ කටින් ඉල ඇට තුනක් තදින් හපාගෙන හිටියා. ‘නැඟිටලා ගොඩක් මස් කන්න’+ කියලා ඌට කිව්වා.  “මං බලාගෙන ඉද්දී තවත් මෘගයෙක් උඩට ආවා. ඌ දිවියෙක් වගේ.+ ඒත් උගේ පිටේ කුරුල්ලෙක්ට තියෙනවා වගේ පියාපත් හතරක් තිබුණා. ඌට ඔළු හතරකුත් තිබුණා.+ පාලනය කරන්න බලය ඌට දුන්නා.  “මම දර්ශනය දිහා දිගටම බලාගෙන ඉද්දී තවත් මෘගයෙක් එනවා දැක්කා. ඒ හතරවෙනි මෘගයාට තිබුණේ හරිම භයානක පෙනුමක්. ඌ අසාමාන්‍ය ශක්තියක් තිබුණු දරුණු මෘගයෙක්. ලොකු යකඩ දත් ඌට තිබුණා. ඌ හැම දෙයක්ම පොඩි කරලා ගිලලා දැම්මා. ඉතුරු වෙව්ච දේවල් පාගලා දැම්මා.+ ඌ කලින් දැක්ක මෘගයන් තුන්දෙනාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඌට අං දහයකුත් තිබුණා.  මම උගේ ඒ අං ගැන කල්පනා කරකර ඉද්දී තව පොඩි අඟක්+ ඒවා අතරින් උඩට මතු වෙනවා දැක්කා. ඒ අඟ උඩට මතු වෙද්දී කලින් තිබුණු අං තුනක් ඒක ඉස්සරහම උගුල්ලලා දැම්මා. ඒ අඟට මනුස්සයෙක්ට වගේ ඇස් තිබුණා. හරිම ආඩම්බරයෙන් කතා කරන* කටකුත් තිබුණා.+  “මං බලාගෙන ඉද්දී සිංහාසන ගෙනත් තියෙනවා මං දැක්කා. ඈත අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන්+ ඇවිත් ඉඳගත්තා.+ ඔහුගේ ඇඳුම් හිම වගේ සුදුයි.+ ඔහුගේ හිසකෙස් පිරිසිදු ලොම් වගේ. ඔහුගේ සිංහාසනය හරියට ගිනිදලු වගේ. ඒකේ රෝද ඇවිළෙන ගින්නක් වගේ.+ 10  ඔහු ඉදිරියෙන් ගින්දර ගංගාවක් ගලාගෙන ගියා.+ දහස් ගාණක්* ඔහුට සේවය කරමින් හිටියා. ඔහු ඉස්සරහා මිලියන ගාණක්* හිටගෙන හිටියා.+ අධිකරණයේ+ වැඩ පටන්ගත්තා. ලියවිලි දිගහැරියා. 11  “පස්සේ ආපු අඟ ආඩම්බරයෙන් කතා කරන*+ විදිහ මම බලාගෙන හිටියා. මම බලාගෙන ඉද්දී ඒ මෘගයාව මරලා ඌව ගින්නට දාලා විනාශ කරනවාත් මම දැක්කා. 12  අනිත් මෘගයන්ගෙන්+ පාලනය කරන්න තිබුණු බලය අයින් කළත් උන්ට යම් කාලයකට ජීවත් වෙන්න ඉඩ දුන්නා. 13  “දර්ශනය දිහා දිගටම බලාගෙන ඉද්දී එකපාරටම මම දැක්කා වලාකුළු එක්ක මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්+ එනවා. ඈත අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන්+ ළඟට යන්න ඔහුට අවසර ලැබුණා. ඔහුව ඒ තැනැත්තාණන් ඉදිරියට ගෙනාවා. 14  ඔහුට පාලනය කරන්න බලයත්+ ගෞරවයත්+ රාජ්‍යයකුත් දුන්නා. එහෙම කළේ විවිධ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන ජනයා ඔහුට සේවය කරන්න ඕනෙ නිසයි.+ ඔහුගේ පාලනය කවදාවත් නැති වෙන්නේ නැති හැමදාටම තියෙන පාලනයක්. ඔහුගේ රාජ්‍යය කවදාවත් විනාශ වෙන්නේ නැහැ.+ 15  “දානියෙල් වන මම දර්ශනයෙන් දැකපු භයානක දේවල් නිසා මගේ හිත හොඳටම කලබල වුණා.+ 16  ඉතින් මම එතන හිටපු කෙනෙක් ළඟට ගිහින් මේ දේවල තේරුම පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලුවා. එතකොට ඔහු ඒ හැම දේකම තේරුම මට පැහැදිලි කරලා දුන්නා. 17  “‘විශාල මෘගයන් හතරදෙනාගෙන් නියෝජනය කරන්නේ පොළොවෙන් එන+ රජවරු හතරදෙනෙක්.+ 18  ඒත් ශ්‍රේෂ්ඨතම තැනැත්තාණන්ට අයිති ශුද්ධ අයට+ රාජ්‍යය භාර දෙනවා.+ එයාලට ඒ රාජ්‍යය හැමදාටම අයිති වෙනවා.+ සදාකාලයෙන් සදාකාලයටම ඒ රාජ්‍යය එයාලට අයිති වෙනවා.’ 19  “ඊටපස්සේ අනිත් මෘගයන්ට වඩා වෙනස් වුණ හතරවෙනි මෘගයා ගැන තව විස්තර දැනගන්න මට ඕනෙ වුණා. ඌට තිබුණේ හරිම භයානක පෙනුමක්. යකඩ දත් සහ තඹ නියපොතු තිබුණු ඒ මෘගයා හැම දෙයක්ම පොඩි කරලා ගිලලා දැම්මා. ඉතුරු වෙව්ච දේවල් පාගලා දැම්මා.+ 20  ඌට තිබුණු අං දහය+ ගැනත් පස්සේ මතු වුණ අඟ ගැනත් මට දැනගන්න ඕනෙ වුණා. ඒ අඟ මතු වෙද්දී කලින් තිබුණු අං තුනක් උගුල්ලලා දැම්මා.+ පස්සේ මතු වුණ ඒ අඟට ඇස් දෙකක් වගේම හරිම ආඩම්බරයෙන් කතා කරන කටක් තිබුණා. ඒක අනිත් අංවලට වඩා ලොකුයි වගේ පෙනුණා. 21  “මං බලාගෙන ඉද්දී ඒ අඟ ශුද්ධ අයට විරුද්ධව යුද්ධ කරලා එයාලව යටත් කරගත්තා.+ 22  ඈත අතීතයේ ඉඳලා ඉන්න,+ ශ්‍රේෂ්ඨතම තැනැත්තාණන් ඇවිත් ඔහුට අයිති ශුද්ධ අයට+ සාධාරණ විනිශ්චයක් දෙන කල් එහෙම වුණා. ඒ ශුද්ධ අයට රාජ්‍යය ලබා දෙන්න නියමිත කාලය ආවා.+ 23  “ඒ දේවල් පැහැදිලි කරපු කෙනා මට මෙහෙම කිව්වා. ‘හතරවෙනි මෘගයාගෙන් නියෝජනය කරන්නේ පොළොව පාලනය කරන්න එන හතරවෙනි රාජ්‍යයක්. ඒක අනිත් රාජ්‍යයන්වලට වඩා වෙනස්. ඒක මුළු පොළොවම පාගලා හැම දෙයක්ම පොඩි කරලා ගිලලා දානවා.*+ 24  අං දහය කියන්නේ ඒ රාජ්‍යයෙන් එන රජවරු දහදෙනෙක්. එයාලට පස්සේ තව රජ කෙනෙක් එනවා. එයා මුලින් එන රජවරුන්ට වඩා වෙනස්. එයා රජවරු තුන්දෙනෙක්ව පරාජය කරනවා.*+ 25  ඒ රජ උසස්ම තැනැත්තාණන්ට විරුද්ධවත් කතා කරනවා.+ ශ්‍රේෂ්ඨතම තැනැත්තාණන්ට අයිති ශුද්ධ අයට එයා දිගටම හිරිහැර කරනවා. දේවල් සිද්ධ වෙන්න නියමිත කාලවල් සහ නීති පවා වෙනස් කරන්න එයා උත්සාහ කරනවා. කාලයකට, කාල දෙකකට සහ කාල භාගයකට*+ ශුද්ධ අයව එයාගේ අතට භාර දෙනවා. 26  අධිකරණයේ වැඩ පටන්ගත්තා. එයාලා පාලනය ඒ රජගේ අතින් අයින් කළා. එහෙම කළේ ඒ රජව සම්පූර්ණයෙන්ම විනාශ කරන්නයි.+ 27  “‘රාජ්‍යයත් පාලනය කරන්න බලයත් අහස යට* තියෙන හැම රාජ්‍යයකම තේජසත් ශ්‍රේෂ්ඨතම තැනැත්තාණන්ට අයිති ශුද්ධ අයට දුන්නා.+ එයාලාගේ රාජ්‍යය සදහටම තියෙන රාජ්‍යයක්.+ අනිත් හැම රාජ්‍යයක්ම එයාලට කීකරු වෙලා එයාලට සේවය කරනවා.’ 28  “ඒවා තමයි මං අහපු දැකපු දේවල්. දානියෙල් වන මම ගොඩක් බය වුණා. මට පණ නැතුව ගියා.* අහපු දැකපු ඒ හැම දෙයක්ම මම හිතේ තියාගත්තා.”

පාදසටහන්

මූ.අ., “අහසේ හමන හුළං හතර.”
හෝ, “පුරසාරම් දොඩන.”
මූ.අ., “දහසක් වර දහසක් දෙනා.”
මූ.අ., “දසදහස් වර දසදහසක් දෙනා.”
හෝ, “පුරසාරම් දොඩන.”
හෝ, “විනාශ කරලා දානවා.”
හෝ, “නින්දාවට පත් කරනවා.”
ඒ කියන්නේ කාලවල් තුනහමාරකට.
ඒ කියන්නේ පොළොවේ.
හෝ, “මගේ පෙනුම වෙනස් වුණා.”