නික්මයාම 10:1-29

  • 8වෙනි පීඩාව: පළඟැටියෝ (1-20)

  • 9වෙනි පීඩාව: අන්ධකාරය (21-29)

10  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා ආයෙත් පාරාවෝ ළඟට යන්න. පාරාවෝයි, එයාගේ සේවකයනුයි තාමත් මං කියන දේ අහන්නේ නැහැ.+ මං එයාලට ඒ විදිහට වැඩ කරන්න ඉඩහරින්නේ හොඳ හේතුවකටයි. මං පාරාවෝට මේ හැම ලකුණක්ම පෙන්නන්න ඕනේ.+  ඒ වගේම මේ හැම ලකුණක්ම ගැනත් ඊජිප්තුවරුන්ට මං කොච්චර දරුණු පීඩා ගෙනාවාද කියන එක ගැනත් ඔයාලා ඔයාලාගේ දරු මුනුපුරන්ට කියලා දෙන්න ඕනේ.+ එතකොට මම යෙහෝවා කියලා ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්නවා. එයාලට මුරණ්ඩු වෙන්න මං ඉඩහරින්නේ ඒකයි.”  ඊටපස්සේ මෝසෙස් සහ ආරොන්, පාරාවෝ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙහෙම කියනවා. ‘ඔයා තව කොච්චර කල් මට විරුද්ධව වැඩ කරන්නද හිතන් ඉන්නේ?+ මට නමස්කාර කරන්න මගේ සෙනඟට යන්න දෙන්න.  ඔයා දිගටම මගේ සෙනඟට යන්න දෙන්න බැහැ කියනවා නම් මං හෙට ඔයාගේ දේශයට පළඟැටියන් එවනවා.  පොළොව පේන්නේ නැති තරමට උන් දේශයේ අස්සක් මුල්ලක් නෑර ඉඳියි. හිම කැට වර්ෂාවෙන් බේරුණ හැම දෙයක්ම උන් කාලා දායි. ඔයාගේ කෙත්වල දලු දාන හැම ගහක්මත් උන් කාලා දායි.+  ඔයාගේ සහ ඔයාගේ සේවකයන්ගේ ගෙවලුත් ඊජිප්තුවරුන්ගේ හැම ගෙයක්මත් පළඟැටියන්ගෙන් පිරිලා යයි. ඊජිප්තුවරුන්ගේ කිසිම පරම්පරාවක් අද වෙන කල් ඒ වගේ දෙයක් දැකලා නැහැ.’”+ පාරාවෝට ඒ දේ කියලා මෝසෙස් සහ ආරොන් එතනින් ගියා.  පාරාවෝට එයාගේ සේවකයෝ මෙහෙම කිව්වා. “අපිට මේ විදිහට පීඩා කරන්න තව කොච්චර කාලයක් මේ මනුස්සයාට ඉඩ දෙනවාද? මුළු දේශයම නාස්ති වෙලා ගිහින් කියලා පේන්නේ නැද්ද? එයාලාගේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න එයාලට යන්න දෙන්න.”  ඉතින් පාරාවෝ මෝසෙස්ටයි, ආරොන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. “යන්න, ගිහින් උඹලාගේ දෙවි යෙහෝවාට නමස්කාර කරන්න. ඒත් ඊට කලින් කියන්න කවුරු කවුරුද ඔය ගමන යන්නේ කියලා.”  එතකොට මෝසෙස් කිව්වේ මෙහෙමයි. “බාල මහලු හැමෝම මේ ගමන යන්න ඕනේ. අපේ දුවලා පුතාලවයි, ගව බැටළු රැළවලුයි අපි අරන් යනවා.+ මොකද අපි මේ ගමන යන්නේ යෙහෝවාට උත්සවයක් පවත්වන්න.”+ 10  ඒක අහලා පාරාවෝ මෙහෙම කිව්වා. “දරුවොත් එක්ක ඔය ගමන යන්න මං උඹලට ඉඩ දුන්නොත් අන්න එදාට කියන්න පුළුවන් යෙහෝවාගේ උදව් උඹලට තියෙනවා කියලා.+ උඹලා ඔය හදන්නේ මොකක් හරි කපටි දෙයක් කරන්න. 11  හැමෝටම යන්න මම කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. උඹලට ඕනෙ යෙහෝවාට නමස්කාර කරන්නනේ. ඕනෙ නම් පිරිමි අයට විතරක් යන්න අවසර දෙන්නම්.” පාරාවෝ එහෙම කියලා මෝසෙස්වයි, ආරොන්වයි එතනින් පන්නලා දැම්මා. 12  ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයාගේ අත ඊජිප්තු දේශය දිහාවට දික් කරන්න. එතකොට පළඟැටියන් ඇවිත් ඊජිප්තුවේ වගාබිම්වල තියෙන හැම දෙයක්ම කාලා දායි. හිම කැට වර්ෂාවෙන් බේරුණ හැම දෙයක්ම උන් කාලා දායි.” 13  මෝසෙස් ඒ වෙලාවෙම එයාගේ සැරයටිය ඊජිප්තුව දිහාවට දික් කළා. එතකොට යෙහෝවා නැඟෙනහිර පැත්තෙන් හුළඟක් එව්වා. දවස පුරාම ඒ හුළඟ හැමුවා. පහුවෙනිදා උදේ ඒ හුළඟත් එක්ක පළඟැටියොත් ආවා. 14  උන් ඊජිප්තු දේශයේ හැම පළාතකටම ගිහිල්ලා දේශය නැති නාස්ති කරලා දැම්මා.+ මීට කලින් කවදාවත් ඒ තරම් පළඟැටියෝ දේශයට ඇවිත් තිබුණේ නැහැ. ආයේ කවදාවත් එහෙම වෙන්නෙත් නැහැ. 15  උන් පොළොවේ හැම තැනම හිටියා. කොච්චර හිටියාද කිව්වොත් මුළු දේශයම අඳුරු වුණා. හිම කැට වර්ෂාවෙන් විනාශ වුණේ නැති වගාබිම්, ගස්වල පලදාව ඔක්කොම උන් කාලා දැම්මා. ගස් වැල්වලත් වගාබිම්වලත් එක කොළයක්වත් උන් ඉතුරු කළේ නැහැ. 16  පාරාවෝ ඉක්මනටම මෝසෙස්ටයි, ආරොන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. “මම ඔයාලාගේ දෙවියන් වන යෙහෝවාටත් ඔයාලටත් විරුද්ධව පව් කළා. 17  මේ පාර විතරක් මට සමාව දෙන්න. මේ දරුණු වසංගතය අයින් කරන්න කියලා ඔයාලාගේ දෙවි යෙහෝවාට කන්නලව් කරලා කියන්න.” 18  ඉතින් මෝසෙස් ගිහින් යෙහෝවාට කන්නලව් කළා.+ 19  එතකොට යෙහෝවා බටහිර පැත්තෙන් තද හුළඟක් හමන්න සැලැස්සුවා. ඒ හුළඟට පළඟැටියෝ ඔක්කොම රතු මුහුදට ගහගෙන ගියා. එක පළඟැටියෙක්වත් ඊජිප්තුවේ ඉතුරු වුණේ නැහැ. 20  හැබැයි පාරාවෝ ආයෙත් එයාගේ හිත මුරණ්ඩු කරගෙන+ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැහැ. යෙහෝවාත් ඒකට ඉඩහැරියා. 21  යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්වා “ඔයාගේ අත අහස දිහාවට දික් කරන්න. එතකොට මුළු ඊජිප්තු දේශයම තද අන්ධකාරයකින් වැහිලා යයි” කියලා. 22  මෝසෙස් ඒ වෙලාවෙම අත අහස දිහාවට දික් කළා. මුළු දේශයම තද අන්ධකාරයකින් වැහිලා ගියා. ඒ අන්ධකාරය දවස් තුනක් එක දිගට පැවතුණා.+ 23  කොච්චර තද අන්ධකාරයක් තිබුණාද කියනවා නම් එයාලට කිසිම කෙනෙක්ව පෙනුණේ නැහැ. ඒ නිසා ඊජිප්තුවරු දවස් තුනක් ගෙවල් ඇතුළටම වෙලා හිටියා. ඒත් ඊශ්‍රායෙල්වරුන්ගේ ගෙවල්වල එළිය තිබුණා.+ 24  පාරාවෝ මෝසෙස්ට මෙහෙම කිව්වා. “දැන්ම මෙහෙන් යන්න. ගිහින් යෙහෝවාට නමස්කාර කරන්න.+ උඹලාගේ දරුවනුත් අරන් යන්න. හැබැයි ගවයන්වයි, බැටළුවන්වයි මෙහේ තියලා යන්න.” 25  ඒත් මෝසෙස් මෙහෙම කිව්වා. “එහෙම කරන්න බැහැ. අපිට අරන් යන්න සත්තුන්වත් දෙන්න.* අපි උන්ව අපේ දෙවියන් වන යෙහෝවාට පූජා කරනවා.+ 26  අපි අපේ හැම සතෙක්වම අරන් යනවා. එක සතෙක්වත් මෙහේ තියලා යන්නේ නැහැ. මොකද උන්ගෙන් සමහර සත්තුන්ව අපි අපේ දෙවියන් වන යෙහෝවාට පූජා කරනවා. යෙහෝවාට අපි පූජා කරන්න ඕනෙ මොන සත්තුන්වද කියලා එතනට යන කල් අපි දන්නේ නැහැ.” 27  ඒත් පාරාවෝ මුරණ්ඩු වෙලා එයාලට යන්න දුන්නේ නැහැ. යෙහෝවාත් ඒකට ඉඩහැරියා.+ 28  පාරාවෝ මෝසෙස්ට මෙහෙම කිව්වා. “මගේ දෑහට නොපෙනී මෙතනින් යනවා යන්න! මේ පැත්ත පළාතේ එන්න එපා. ආයේ ආවොත් මං උඹව මරනවා!” 29  එතකොට මෝසෙස් “ඔබ කිව්ව විදිහටම මං ආයෙත් ඔබව හම්බ වෙන්න එන්නේ නැහැ” කියලා කිව්වා.

පාදසටහන්

හෝ, “සත්තුන්ව අරන් යන්න අවසර දෙන්න.”