නික්මයාම 26:1-37

  • ශුද්ධ කූඩාරම (1-37)

    • කූඩාරමේ ආවරණ (1-14)

    • රාමු සහ අඩි (15-30)

    • කූඩාරමේ තිර රෙදි (31-37)

26  “ශුද්ධ කූඩාරම+ ආවරණය කරන්න ඔබ විශාල තිර රෙදි දහයක් සෑදිය යුතුයි. ඒ තිර රෙදි වියන්න සිහින්ව අඹරපු ලිනන් නූල්, නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් පාවිච්චි කරන්න. ඒ රෙදිවල කෙරුබ්වරුන්ගේ+ රූප මහන්න.+  හැම තිර රෙද්දක්ම එකම ප්‍රමාණයට හදන්න.+ එක තිර රෙද්දක දිග රියන්* 28ක් සහ පළල රියන් 4ක් විය යුතුයි.  ඒ තිර රෙදිවලින් පහක් අරගෙන එකට මූට්ටු කරලා එක විශාල රෙද්දක් හදන්න. අනිත් තිර රෙදි පහත් අරගෙන එකට මූට්ටු කරලා තවත් විශාල රෙද්දක් හදන්න.  මූට්ටු කරපු පළවෙනි රෙද්දේ අන්තිම තිරයේ උඩ ඉඳන් යටට නිල් පාට නූල්වලින් මුදු මහන්න. මූට්ටු කරපු දෙවෙනි රෙද්දේ අන්තිම තිරයෙත් ඒ විදිහටම මුදු මහන්න. එතකොට මූට්ටු කරපු රෙදි දෙක එකකට එකක් සම්බන්ධ කරන්න පුළුවන් වෙයි.  රෙදි දෙකේම එකිනෙකට සමාන්තරව මුදු 50 ගාණේ මහන්න. රෙදි දෙක එකකට එකක් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට ඒ මුදු 50 මහන්න.  රත්තරන් කොකු 50ක් හදලා ඒ කොකු මුදුවලට දාලා රෙදි දෙක එකකට එකක් සම්බන්ධ කරන්න. ඒ විදිහට ශුද්ධ කූඩාරම ආවරණය කරන්න තනි රෙද්දක් විදිහට ඒක හදන්න.+  “කූඩාරමට දාපු ඒ පළවෙනි රෙද්දට උඩින් දාන්න එළු රෝමවලින් තවත් ආවරණයක් සෑදිය යුතුයි.+ ඒකට එළු රෝමවලින් තිර රෙදි 11ක් හදන්න.+  ඒ තිර රෙදි 11ම එකම ප්‍රමාණයට හදන්න. එක තිර රෙද්දක දිග රියන් 30ක් සහ පළල රියන් 4ක් විය යුතුයි.  ඒවාවලින් තිර රෙදි පහක් අරගෙන එකකට එකක් මූට්ටු කරලා එක විශාල ආවරණයක් හදන්න. අනිත් හයත් එකකට එකක් මූට්ටු කරලා තවත් ආවරණයක් හදන්න. තිර රෙදි හයක් තියෙන ආවරණයේ හයවෙනි තිරය, කූඩාරමට ඇතුල් වෙන පැත්තට එල්ලා වැටෙන විදිහට තියන්න. ඒ හයවෙනි තිරය දෙකට නමලා තැබිය යුතුයි. 10  ඒ ආවරණයේ අනිත් කෙළවරේ උඩ ඉඳන් යටට මුදු 50ක් මහන්න. අනිත් ආවරණයේ අවසාන තිරයෙත් උඩ ඉඳන් යටට මුදු 50ක් මහන්න. 11  තඹ කොකු 50ක් හදලා ආවරණ දෙකේම තියෙන මුදුවලට ඒවා දාන්න. ඒ විදිහට ආවරණ දෙක එකකට එකක් සම්බන්ධ කරලා ශුද්ධ කූඩාරමට එක ආවරණයක් හදන්න. 12  ඒ ආවරණය ශුද්ධ කූඩාරමට උඩින් දාලා ඒක එල්ලා වැටෙන විදිහට සකස් කළ යුතුයි. තිර පහක් තියෙන ආවරණයෙන් භාගයක් කූඩාරමේ පිටුපස පැත්ත සම්පූර්ණයෙන් වැහෙන විදිහට සකස් කළ යුතුයි. 13  කූඩාරමේ දෙපැත්තෙන් එල්ලා වැටෙන කොටස් පළවෙනියට හදපු රෙද්දට වඩා රියනක් වැඩියෙන් දිගට තිබිය යුතුයි. කූඩාරමේ දෙපැත්තම ඒ ආවරණයෙන් වැසී තිබිය යුතුයි. 14  “ශුද්ධ කූඩාරම වහන්න රතු සායම් දාපු බැටළු හම්වලින් තවත් ආවරණයක් හදන්න. ඒකට උඩින් දාන්න සීල් මත්ස්‍යයාගේ හම්වලින් තවත් ආවරණයක් හදන්න.+ 15  “ශුද්ධ කූඩාරම හදන්න ඇකේෂියා ලීවලින් රාමු+ හදලා ඒවා කෙළින් හිටවන්න.+ 16  එක රාමුවක උස රියන් දහයක් සහ පළල රියන් එකහමාරක් විය යුතුයි. 17  ඒ රාමු පොළොවේ ශක්තිමත්ව රඳවන්න පුළුවන් වෙන්න ඒවාවල ලී ඇණ දෙක ගාණේ තිබිය යුතුයි. ඒ ලී ඇණ එකකට එකක් සමාන්තරව තිබිය යුතුයි. කූඩාරමට හදන හැම රාමුවක්ම ඒ විදිහට හදන්න. 18  දකුණු දිශාවට මුහුණ ලා තියෙන කූඩාරමේ දකුණු පැත්ත හදන්න රාමු 20ක් යොදාගන්න. 19  “රාමුවල තියෙන ලී ඇණ පොළොවට සවි කරන්න රිදී අඩි* 40ක් හදන්න.+ හැම රාමුවකටම රිදී අඩි දෙක ගාණේ තිබිය යුතුයි. ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට පොළොවේ රඳවන්න.+ 20  කූඩාරමේ උතුරු පැත්තට තවත් රාමු 20ක් හදන්න. 21  ඒවා පොළොවට සවි කරන්නත් රිදී අඩි 40ක් හදන්න. එක රාමුවකට රිදී අඩි දෙක ගාණේ තිබිය යුතුයි. ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට පොළොවේ රඳවන්න. 22  කූඩාරමේ බස්නාහිර පැත්තේ තියෙන ඒකේ පිටුපස කොටසටත් රාමු හයක් හදන්න.+ 23  කූඩාරමේ පිටුපස පැත්තේ කෙළවරවල් දෙකේ ආධාරක කණු විදිහට තියන්න තවත් රාමු දෙකක් හදන්න. 24  ඒ රාමුවක් සෑදිය යුත්තේ එකිනෙකට සමාන ලෑලි දෙකකිනුයි. මුදුන ළඟ ඒ ලෑලි දෙක එකට සම්බන්ධ විය යුතුයි. ඒවා සම්බන්ධ විය යුත්තේ කූඩාරමේ පළවෙනි වළල්ල තියෙන තැනදියි. රාමු දෙකම ඒ විදිහට හදලා කෙළවරවල් දෙකේ ආධාරක කණු විදිහට ඒවා සවි කරන්න. 25  ඒ විදිහට කූඩාරමේ පිටුපස කොටසට රාමු අටක් හදන්න. ඒ එක් එක් රාමු එක ළඟ හිටවන්න. රාමු පොළොවේ රඳවන්න රිදී අඩි 16ක් හදන්න. හැම රාමුවකටම අඩි දෙක ගාණේ තිබිය යුතුයි. 26  “රාමු එකකට එකක් සම්බන්ධ කරන්න ඇකේෂියා ලීවලින් පොලු හදන්න. කූඩාරමේ එක පැත්තක තියෙන රාමු සවි කරන්න පොලු පහක් හදන්න.+ 27  කූඩාරමේ අනිත් පැත්තේ තියෙන රාමු සවි කරන්නත් පොලු පහක් හදන්න. කූඩාරමේ බස්නාහිර පැත්තේ තියෙන ඒකේ පිටුපස කොටසට තවත් පොලු පහක් හදන්න. 28  රාමුවල හරි මැදින් යවන පොල්ල එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කල් තිබිය යුතුයි. 29  “හැම රාමුවකටම රන් ආලේප කරන්න.+ රාමු එකිනෙකට සම්බන්ධ කරන පොලුවලටත් රන් ආලේප කරන්න. ඒ පොලු දාන්න රත්තරන්වලින් වළලු හදලා ඒ වළලු රාමුවලට සවි කරන්න. 30  කන්දේදී පෙන්වපු සැලැස්මට අනුව ශුද්ධ කූඩාරම හදන්න.+ 31  “නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කරලා තිර රෙද්දක් හදන්න.+ ඒකේ කෙරුබ්වරුන්ගේ රූප මැසිය යුතුයි. 32  ඇකේෂියා ලීවලින් කණු හතරක් හදලා ඒවාට රන් ආලේප කරන්න. රිදී අඩි හතරක් යොදාගෙන ඒවා පොළොවේ රඳවන්න. තිර රෙද්ද එල්ලන්න කණුවලට රන් ඇණ සවි කරන්න. 33  කොකුවලින් ඒ තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන් වෙලා තියෙන කොටස ඇතුළට ගිවිසුම් පෙට්ටිය* ගෙනියන්න.+ අතිශුද්ධස්ථානය+ සහ ශුද්ධස්ථානය+ වෙන් කරන්නේ ඒ තිර රෙද්දෙන්. 34  අතිශුද්ධස්ථානයේ තියෙන ගිවිසුම් පෙට්ටිය පියනෙන් වහන්න. 35  “තිර රෙද්දෙන් වෙන් කරලා තියෙන තැනට පිටින් මේසය තියන්න. මේසය ඉස්සරහින් පහන් රුක තියන්න.+ මේසය කූඩාරමේ උතුරු පැත්තෙනුත් පහන් රුක කූඩාරමේ දකුණු පැත්තෙනුත් තැබිය යුතුයි. 36  නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කරලා තවත් තිර රෙද්දක් වියන්න.+ ඒක ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන්න. 37  ඒ තිරය එල්ලන්න ඇකේෂියා ලීවලින් කණු පහක් හදලා ඒවාට රන් ආලේප කරන්න. තඹ අඩි පහක් යොදාගෙන ඒවා පොළොවේ රඳවන්න. කණුවලට රන් ඇණ සවි කරලා ඒවාවල තිරය එල්ලන්න.

පාදසටහන්

රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.
මෙතන කතා කරන අඩිවල සිදුරු හදලා තිබුණා.
මූ.අ., “සාක්ෂි පෙට්ටිය.”