නික්මයාම 3:1-22

  • මෝසෙස් සහ ඇවිළෙන කටු පඳුර (1-12)

  • යෙහෝවා ඔහුගේ නමේ අර්ථය තේරුම් කරලා දෙයි (13-15)

  • කරන්න ඕනෙ දේ යෙහෝවා මෝසෙස්ට කියයි (16-22)

3  මෝසෙස්, මිදියන්වල පූජකයා වෙලා හිටිය එයාගේ මාමණ්ඩි වන යෙත්‍රෝගේ*+ සත්ව රැළ බලාගත්තා. දවසක් එයා පාළුකරයේ බස්නාහිර පැත්තට සතුන්ව අරන් යද්දී සැබෑ දෙවියන්ගේ කන්ද වන හොරෙබ්+ ළඟට ආවා.  ඒ වෙලාවේ මෝසෙස් දැක්කා කටු පඳුරකින් ගින්නක් ඇවිළෙනවා.+ ඒ ගින්න මැද යෙහෝවා දෙවියන්ගේ දූතයා ඉන්නවා එයා දැක්කා. හැබැයි පඳුර ඇවිළෙමින් තිබුණත් ඒක පිච්චිලා ගියේ නැහැ.  “මේක නම් හරි පුදුමයක්! කටු පඳුර පිච්චෙන්නේ නැත්තේ ඇයි කියලා ගිහින් බලන්න ඕනෙ” කියලා මෝසෙස් හිතුවා.  මෝසෙස් කටු පඳුර ළඟට යද්දී යෙහෝවා දෙවියන් පඳුර අතරින් “මෝසෙස්! මෝසෙස්” කියලා කිව්වා. එතකොට මෝසෙස් කිව්වා “කියන්න මගේ ස්වාමීනි” කියලා.  දෙවියන් එයාට මෙහෙම කිව්වා. “පඳුර ළඟට එන්න එපා. ඔයා හිටගෙන ඉන්න තැන ශුද්ධයි. ඒ නිසා ඔයාගේ පාවහන් ගලවන්න.”  දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත්+ ඊසාක්ගෙත්+ යාකොබ්ගෙත්+ දෙවියන් මමයි.” එතකොට මෝසෙස් සැබෑ දෙවියන් දිහා බලන්න බය වුණ නිසා එයාගේ මුහුණ වහගත්තා.  ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “ඊජිප්තුවේ ඉන්න මගේ සෙනඟ විඳින දුක් ගැහැට මට පේනවා. ඊජිප්තුවරුන් බලෙන් වැඩ ගන්න නිසා එයාලා අඬඅඬ මට එයාලාගේ දුක කියනවා. ඒ කන්නලව් මට ඇහෙනවා. එයාලාගේ වේදනාව මට හොඳටම තේරෙනවා.+  මම මගේ සෙනඟව බේරගෙන ඊජිප්තුවෙන් පිටතට අරන් යනවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ දේශයට+ මං එයාලව අරන් යනවා. ඒක ඇති තරම් ඉඩකඩ තියෙන, කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයක්.+  ඊශ්‍රායෙල්වරුන් අඬඅඬ මට කරන කන්නලව් මට ඇහෙනවා. ඊජිප්තුවරුන් එයාලට කොච්චර කුරිරු විදිහට හිංසා කරනවාද කියලා මට පේනවා.+ 10  ඒ නිසා මම ඔයාව පාරාවෝ ළඟට යවනවා. ඔයා ගිහින් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට අරන් එන්න.”+ 11  ඒත් මෝසෙස් සැබෑ දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “මං වගේ කෙනෙක්ට පුළුවන්ද පාරාවෝ ළඟට යන්න? මං කොහොමද ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් එළියට අරන් එන්නේ?” 12  එතකොට දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මං ඔයා එක්ක ඉන්නවා.+ ඔයා අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට අරන් ඇවිත් එයාලා එක්ක මේ කන්දේදී සැබෑ දෙවියන් වන මට නමස්කාර කරනවා.+ මං ඔයාට දෙන පොරොන්දුව* ඒකයි. මේ වැඩේට ඔයාව යවන්නේ මමයි කියලා ඔයා ඒකෙන් තේරුම්ගනියි.” 13  ඒත් මෝසෙස් සැබෑ දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “මං ඊශ්‍රායෙල්වරුන් ළඟට ගිහින් ‘මාව ඔයාලා ළඟට එව්වේ ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන්’ කියලා කිව්වාම ‘ඔහුගේ නම මොකක්ද’+ කියලා එයාලා මගෙන් ඇහුවොත් මං මොනවාද එයාලට කියන්නේ?” 14  එතකොට දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මං අදහස් කරන දේ කරන්න මං ඕනෙම තත්වයකදී අවශ්‍ය ඕනෙම දෙයක් කරනවා.”*+ දෙවියන් මෙහෙමත් කිව්වා. “ඔයා ඊශ්‍රායෙල්වරුන්ට කියන්න ඔයාව එව්වේ ‘ඕනෙම තත්වයකදී අවශ්‍ය ඕනෙම දෙයක් කරන තැනැත්තා’ කියලා.”+ 15  දෙවියන් ආයෙත් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න. ‘ඔයාලා ළඟට මාව එව්වේ ඔයාලාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත්,+ ඊසාක්ගෙත්+ යාකොබ්ගෙත්+ දෙවියන් වන යෙහෝවායි.’ සදහටම මගේ නම ඒකයි.+ පරම්පරාවෙන් පරම්පරාවට මාව සිහි කරන්නේ ඒ නමින්. 16  ඔයා දැන් ගිහින් ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ට මෙහෙම කියන්න. ‘ඔයාලාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙයි, ඊසාක්ගෙයි, යාකොබ්ගෙයි දෙවියන් වන යෙහෝවා මට කතා කරලා මෙහෙම කිව්වා. “මං ඔයාලා දිහා බලාගෙනයි ඉන්නේ.+ ඊජිප්තුවේදී ඔයාලා අද්දකින අසාධාරණකම් මට පේනවා. 17  ඒ නිසා ඔයාලට පීඩා කරන ඊජිප්තුවරුන්ගෙන් මං ඔයාලව බේරගන්නවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ+ දේශයට මම ඔයාලව අරන් යනවා. ඒක කිරියෙන් සහ පැණියෙන් ඉතිරිලා යන දේශයක්.”’+ 18  “ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් අනිවාර්යයෙන්ම ඔයා කියන දේ අහයි.+ ඊටපස්සේ ඔයා එයාලත් එක්ක ඊජිප්තුවේ රජ ළඟට ගිහිල්ලා මෙහෙම කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන් වන යෙහෝවා+ අපිත් එක්ක කතා කළා. අපේ දෙවියන් වන යෙහෝවාට පූජා ඔප්පු කරන්න+ දවස් තුනකට පාළුකරයට යන්න අපිට අවසර දෙන්න.’ 19  ඒත් ඊජිප්තුවේ රජට විරුද්ධව මගේ මහත් බලය* පෙන්නුවොත් මිසක්, එයා ඔයාලට යන්න දෙන්නේ නැහැ කියලා මං හොඳින්ම දන්නවා.+ 20  ඒ නිසා මං මගේ බලයෙන් හුඟක් පුදුම දේවල් කරලා ඊජිප්තුවට පහර දෙනවා. එතකොට ඊජිප්තුවේ රජ ඔයාලට යන්න අවසර දෙයි.+ 21  මං කරන ඒ දේවල් නිසා ඊජිප්තුවරුන් ඔයාලට කරුණාවෙන් සලකයි. ඒ නිසා ඊජිප්තුවෙන් පිටත් වෙලා යද්දී ඔයාලට හිස් අතින් යන්න වෙන්නේ නැහැ.+ 22  එදාට හැම ස්ත්‍රියක්ම එයාලාගේ ගෙවල් ළඟ ඉන්න අයගෙනුත් එයාලාගේ ගෙදර නැවතිලා ඉන්න විදේශික ස්ත්‍රීන්ගෙනුත් ඇඳුම්, රන් සහ රිදී ආභරණ ඉල්ලගන්නවා. ඔයාලා ඒවා ඔයාලාගේ දුවලා පුතාලට පලඳවනවා. ඊජිප්තුවරුන්ගේ වටිනා දේවල් ඔයාලා අරන් යනවා.”+

පාදසටහන්

ඒ කියන්නේ රුවෙල්ගේ.
මූ.අ., “ලකුණ.”
හෝ, “තමන් කැමති දේ ඉටු කරන්න පුළුවන් එකම තැනැත්තා මමයි කියලා මමම ඔප්පු කරලා පෙන්නනවා.” උප. A4 බලන්න.
මූ.අ., “බලවත් අත.”