නික්මයාම 32:1-35

  • රන් වස්සාට නමස්කාර කරයි (1-35)

    • මෝසෙස්ට අමුතු විදිහේ ගීතයක් ඇහෙයි (17, 18)

    • මෝසෙස් ගල් පුවරු දෙක වීසි කරයි (19)

    • ලෙවීවරු යෙහෝවාට විශ්වාසවන්තව ඉඳියි (26-29)

32  ඔය අතරේ, මෝසෙස් කන්දට ගිහින් ගොඩක් දවස් ගත වෙලා තිබුණා.+ මෝසෙස් තාමත් ඇවිත් නැහැ කියලා සෙනඟ දැක්කාම එයාලා ආරොන් ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඊජිප්තුවෙන් අපිව අරන් ආපු මෝසෙස්ට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා දැන් අපිට මඟ පෙන්නන්න දෙවි කෙනෙක්ව හදලා දෙන්න.”+  එතකොට ආරොන් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලාගේ භාර්යාවන්ගෙත් දුවලා පුතාලාගෙත් කන්වල තියෙන රත්තරන් කරාබු+ ගලවලා මට ගෙනත් දෙන්න.”  ඉතින් සෙනඟ එයාලා දාගෙන හිටපු රත්තරන් කරාබු ගලවලා ආරොන්ට ගෙනත් දුන්නා.  ආරොන් එයාලා ගෙනාපු රත්තරන් ආභරණ* අරගෙන ඒවාවලින් වස්සෙක්ගේ රූපයක් හැදුවා.*+ ඊටපස්සේ එයාලා අතරේ හිටපු සමහරු රූපය පෙන්නලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔයාලව ඊජිප්තුවෙන් ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+  ආරොන් රූපයට ඉස්සරහින් පූජාසනයකුත් හැදුවා. ඊටපස්සේ එයා සෙනඟට කිව්වා “අපි හෙට යෙහෝවා දෙවියන්ට උත්සවයක් පවත්වමු” කියලා.  සෙනඟ පහුවෙනිදා පාන්දරින්ම නැඟිටලා දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා. ඊටපස්සේ එයාලා කාලා බීලා විනෝද වෙන්න පටන්ගත්තා.+  ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා දැන් කන්දෙන් බැහැලා යන්න. ඔයා ඊජිප්තුවෙන් අරන් ආපු සෙනඟ හරිම දුෂ්ට දෙයක් කරලා තියෙනවා.+  මං එයාලට දීපු ආඥා එයාලා කොච්චර ඉක්මනට අමතක කළාද!+ එයාලා වස්සෙක්ගේ රූපයක් හදාගෙන ඒක ඉස්සරහා වැඳ වැටිලා නමස්කාර කරනවා. ඒකට පුදපූජා ඔප්පු කරන ගමන් එයාලා කියනවා ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මේ තමයි ඔයාලව ඊජිප්තුවෙන් ගෙනාපු ඔයාලාගේ දෙවියන්’ කියලා.”  යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “මේ සෙනඟ හරිම මුරණ්ඩුයි!+ 10  මං ඉන්නේ එයාලා එක්ක ලොකු කේන්තියකින්. මං එයාලා හැමෝවම විනාශ කරලා දානවා. මාව නවත්තන්න හදන්න එපා. එයාලා වෙනුවට මං ඔයාගෙන් මහත් ජාතියක් බිහි කරන්නම්.”+ 11  මෝසෙස්, එයාගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කරලා+ මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, ඇයි ඔයා ඔයාගේ සෙනඟත් එක්ක කේන්ති අරන් එයාලව විනාශ කරන්න හදන්නේ? ඔයාගේ මහත් බලයෙන්* ඊජිප්තුවරුන්ට පහර දීලා එයාලව ඒ දේශයෙන් අරන් ආවේ ඔයායි.+ 12  ඔයා එයාලව විනාශ කළොත් ඊජිප්තුවරු කියයි ‘දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව අපෙන් බේරගත්තේ හොඳකට නෙමෙයි. ඔහුට ඕනෙ වුණේ එයාලව කඳුකරයට අරන් ගිහින් නැත්තටම නැති කරලා දාන්න’ කියලා.+ ඒ නිසා ඔයාගේ කේන්තිය නිවාගෙන ඔයාගේ සෙනඟව විනාශ කරන්න ගත්ත තීරණය වෙනස් කරන්න. 13  අනේ දෙවියනි, ඔයාගේ සේවකයන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ඊශ්‍රායෙල්ට ඔයාගෙම නමින් දිවුරලා දුන්න පොරොන්දුව අමතක කරන්න එපා. ඔයා එයාලට මෙහෙම කිව්වා. ‘මම ඔයාගෙන් පැවතෙන අයව* අහසේ තාරකා වගේ වැඩි කරනවා.+ මං තීරණය කරලා තියෙනවා මේ මුළු දේශයම ඔයාගෙන් පැවතෙන අයට දෙන්න. ඔයාගෙන් පැවතෙන අය ගොඩක් කල් ඒ දේශයේ ජීවත් වෙනවා.’”+ 14  ඉතින් යෙහෝවා තමන්ගේ තීරණය වෙනස් කළා. ඔහු තමන්ගේ සෙනඟව විනාශ කළේ නැහැ.+ 15  ඊටපස්සේ මෝසෙස්, සාක්ෂියක් විදිහට දෙවියන් දුන්න ගල් පුවරු දෙකත් අරගෙන කන්දෙන් පහළට බැහැලා ආවා.+ ඒ ගල් පුවරු දෙකේ දෙපැත්තේම ලියලා තිබුණා. 16  ඒ ගල් පුවරු දෙක හැදුවේ දෙවියන්මයි. දෙවියන්ගෙම අතිනුයි ඒවාවල අකුරු කොටලා තිබුණේ.+ 17  සෙනඟ මහ හඬින් කෑගහන සද්දේ යොෂුවාට ඇහිලා එයා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මට කඳවුර පැත්තෙන් යුද්ධ කරන සද්දයක් ඇහෙනවා.” 18  ඒත් මෝසෙස් එයාට මෙහෙම කිව්වා. “මට ඇහෙන්නේ ජයග්‍රාහී ගීතයක්වත්පැරදුණු අයගේ වැලපීමේ ගීතයක්වත් නෙමෙයි.මට ඇහෙන්නේ වෙනම විදිහේ ගීතයක්.” 19  මෝසෙස් කඳවුරට ළං වුණාම වස්සාවත්+ සෙනඟ නටනට හිටපු විදිහත් එයා දැක්කා. ඒක දැක්ක ගමන්ම එයාට හොඳටම කේන්ති ගිහින් අතේ තිබුණ ගල් පුවරු දෙක වීසි කරලා දැම්මා. ඒවා කන්ද පාමුල වැටිලා කෑලි කෑලිවලට කැඩිලා ගියා.+ 20  ඊටපස්සේ මෝසෙස් සෙනඟ හදපු වස්සාව අරන් පිච්චුවා. ඉතුරු වුණ කොටස් එයා කුඩු කරලා ඒ කුඩු වතුරට ඉහලා ඊශ්‍රායෙල් සෙනඟට ඒ වතුර බොන්න කිව්වා.+ 21  පස්සේ මෝසෙස් ආරොන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා සෙනඟ එක්ක එකතු වෙලා කොහොමද මේ තරම් බරපතළ වරදක් කළේ? එයාලා කොහොමද ඔයාව ඒ වගේ දේකට පෙලඹුවේ?” 22  එතකොට ආරොන් එයාට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, කේන්ති ගන්න එපා. ඔයා දන්නවානේ මේ සෙනඟ ගැන. එයාලාගේ හිත ඇදිලා යන්නෙම දුෂ්ට දේවලට.+ 23  එයාලා මට කිව්වා ‘ඊජිප්තුවෙන් අපිව අරන් ආපු මෝසෙස්ට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා දැන් අපිට මඟ පෙන්නන්න දෙවි කෙනෙක්ව හදලා දෙන්න’ කියලා.+ 24  ඉතින් මං එයාලට කිව්වා ‘ඔයාලාගේ රත්තරන් ආභරණ ගලවලා මට දෙන්න’ කියලා. මං ඒවා අරගෙන ගින්නට වීසි කළාම මේ වස්සාගේ රූපය ගින්නෙන් මතු වුණා.” 25  සෙනඟ මෙච්චර පහත් විදිහට එයාලාගේ සතුරන් ඉස්සරහා හැසිරුණේ ආරොන් එයාලට හිතුමනාපෙට වැඩ කරන්න ඉඩහැරිය නිසයි කියලා මෝසෙස්ට තේරුණා. 26  මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ හිටගෙන සෙනඟට කිව්වා “යෙහෝවාගේ පැත්ත ගන්න හැමෝම දැන් මං ළඟට එන්න” කියලා.+ එතකොට ලෙවී ගෝත්‍රයේ හැමෝම මෝසෙස් හිටපු තැනට ගියා. 27  මෝසෙස් එයාලට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා ඔයාලට කියන්නේ මෙහෙමයි. ‘ඔයාලා හැමෝම තම තමන්ගේ කඩුව ඉණේ බැඳගන්න. කඳවුරේ අස්සක් මුල්ලක් නෑර ගිහින් තම තමන්ගේ සහෝදරයන්වත් අසල්වැසියන්වත් යාළුවන්වත් මරලා දාන්න.’”+ 28  ලෙවී ගෝත්‍රයේ අය මෝසෙස් කියපු විදිහටම කළා. එදා සෙනඟ අතරේ හිටපු පුරුෂයන් 3,000ක් විතර මැරුම් කෑවා. 29  ඊටපස්සේ මෝසෙස් එයාලට මෙහෙම කිව්වා. “දැන් ඔයාලාගේ අත් සවිමත් කරගෙන යෙහෝවාගේ සේවය වෙනුවෙන් සූදානම් වෙන්න. ඔයාලාගේ පුතාලාගෙවත් සහෝදරයන්ගෙවත් පැත්ත ගන්නේ නැතුව දෙවියන් වෙනුවෙන් ඔයාලා සටන් කළා.+ ඒ නිසා අද දෙවියන් ඔයාලට ආශීර්වාද කරයි.”+ 30  පහුවෙනිදා මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “ඔයාලා හැමෝම කළේ බරපතළ වරදක්. දැන් මම යෙහෝවා ළඟට ගිහින් ඔයාලට සමාව දෙන්න කියලා ඔහුගෙන් ඉල්ලන්නම්.+ සමහරවිට ඔහු ඔයාලට සමාව දෙයි.” 31  මෝසෙස් ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දෙවියනි, මේ සෙනඟ කරලා තියෙන්නේ මොන තරම් ලොකු වරදක්ද! එයාලා රන් රූපයක් හදාගෙන ඒකට නමස්කාර කළා.+ 32  අනේ දෙවියනි, ඔයා කැමති නම් එයාලා කරපු වරදට සමාව දෙන්න.+ එහෙම නැත්නම් ඔයාගේ ලියවිල්ලෙන් මගේ නම මකලා දාන්න.”+ 33  ඒත් යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මං මගේ ලියවිල්ලෙන් මකලා දාන්නේ මට විරුද්ධව පව් කරන අයගේ නම් විතරයි. 34  දැන් මං ඔයාට කියපු තැනට මේ සෙනඟව අරගෙන යන්න. මගේ දූතයා ඔයාලට ඉස්සරහින් යයි.+ මං විනිශ්චය කරන දවසේදී එයාලාගේ වැරදිවලට නිසි දඬුවම දෙන්නම්.” 35  වස්සෙක්ගේ රූපයක් හදන්න සෙනඟ ආරොන්ව පොලඹවපු නිසා යෙහෝවා වසංගතයකින් එයාලට පහර දුන්නා.

පාදසටහන්

හෝ, “ආභරණ උණු කරලා.”
හෝ, “නියනක් වගේ ආයුධයකින් රූපයක් ඇඹුවා.”
මූ.අ., “බලවත් අතෙන්.”
මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන කෙනා” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.