නික්මයාම 35:1-35

  • සබත පවත්වන විදිහ ගැන මඟ පෙන්වීම් (1-3)

  • ශුද්ධ කූඩාරම වෙනුවෙන් සම්මාදම් (4-29)

  • බෙසලෙල් සහ ඔහොලියාබ්ට දෙවියන්ගේ බලය නොඅඩුව ලැබෙයි (30-35)

35  ඊටපස්සේ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟව එකට රැස් කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් ඔයාලට දීලා තියෙන ආඥා මේවායි.+  දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. ඒක යෙහෝවා වෙනුවෙන්ම කැප කරපු ශුද්ධ දවසක්. ඒ නිසා එදාට කිසිම වැඩක් කරන්නේ නැතුව මුළු දවසම විවේක ගන්න.+ ඒ දවසේ වැඩ කරන ඕනෙම කෙනෙක්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+  සබත් දවසේදී ඔබේ ගෙවල්වල කිසිම ගින්නක් දල්වන්න එපා.”  මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙමත් කිව්වා. “යෙහෝවා මෙහෙම අණ කළා.  ‘ඔබ යෙහෝවා වන මට සම්මාදමක් දිය යුතුයි.+ කැමැත්තෙන් ඉදිරිපත් වෙන හැමෝටම+ පුළුවන් යෙහෝවා වන මං වෙනුවෙන් මේ දේවල් ගේන්න. රන්, රිදී, තඹ,  නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට රෙදි, හොඳම වර්ගයේ ලිනන් රෙදි, එළු රෝම,+  රතු සායම් දාපු බැටළු හම්, සීල් මත්ස්‍යයාගේ හම්, ඇකේෂියා ලී,  පහන්වලට දාන තෙල්, ශුද්ධ තෛලයට සහ සුවඳ ද්‍රව්‍යයට දාන බෝල්සම් තෙල්,+  ඒෆොද් ඇඳුමටත් ළයවැස්මටත්+ ඕනෙ කරන ඔනික්ස් ගල් සහ වෙනත් වටිනා ගල් ගේන්න.+ 10  “‘විවිධ වැඩවලට දක්ෂ*+ හැමෝම යෙහෝවා අණ කරපු මේ හැම දෙයක්ම සෑදිය යුතුයි. 11  ශුද්ධ කූඩාරම සහ ඒකේ ආවරණයත් ඒකට උඩින් දාන අනිත් ආවරණත් ඒකේ කොකු, රාමු, පොලු, කණු සහ අඩිත් හදන්න. 12  ගිවිසුම් පෙට්ටිය+ සහ ඒකේ පියනත්+ පොලුත්+ ගිවිසුම් පෙට්ටිය වෙන් කරන තිර රෙද්දත්+ හදන්න. 13  මේසය+ සහ ඒකේ තියන හැම භාණ්ඩයක්ම, ඒකේ පොලු, දෙවියන්ට පූජා කරන රොටි,+ 14  පහන් රුක,+ ඒකේ පහන් සහ භාණ්ඩ වගේම පහන් දල්වන්න තෙලුත් හදන්න.+ 15  සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය,+ ඒකේ පොලු, ශුද්ධ තෛලය, සුවඳ ද්‍රව්‍යය+ සහ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්දත් හදන්න. 16  දවන පූජා ඔප්පු කරන පූජාසනය+ සහ ඒකේ හැම භාණ්ඩයක්ම, ඒකේ පොලු, වතුර භාජනය සහ ඒකේ ආධාරකය+ වගේම පූජාසනය ඇතුළට දාන තඹ දැලත් හදන්න. 17  මළුව වටේට එල්ලන්න තිර රෙදි,+ මළුවේ කණු, අඩි, ඒකේ ඇතුල් වෙන තැන එල්ලන තිර රෙද්ද, 18  කූඩාරමට සහ මළුවට ඕනෙ කරන කූඤ්ඤ සහ ලණුත් හදන්න.+ 19  ශුද්ධස්ථානයේ සේවය කරන අය වෙනුවෙන් සිහින්ව වියපු ඇඳුම්,+ පූජක ආරොන්ගේ ශුද්ධ ඇඳුම්+ සහ පූජකයන් විදිහට සේවය කරන ඔහුගේ පුතුන්ගේ ඇඳුම් හදන්න.’” 20  පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ මෝසෙස් ඉන්න තැනින් පිට වෙලා ගියා. 21  යෙහෝවාට යමක් දෙන්න මුළු හිතින්ම පෙලඹුණ අය+ හමු වීමේ කූඩාරම හදන්න ඕනෙ කරන දේවල්, ඒකේ කරන හැම සේවාවකටම ඕනෙ කරන දේවල් සහ ශුද්ධ ඇඳුම් හදන්න ඕනෙ කරන දේවල් ගෙනාවා. 22  ස්ත්‍රීන් සහ පුරුෂයන් වැල නොකැඩී ආවා. එයාලා හාරිච්චි, කරාබු, මුදු, විවිධ වර්ගයේ ආභරණ සහ රන් භාණ්ඩ කැමැත්තෙන්ම ගෙනාවා. රත්තරන්වලින් හදපු දේවල් එයාලා යෙහෝවා දෙවියන්ට පූජාවක්* විදිහට ඔප්පු කළා.+ 23  නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට රෙදි, වටිනා ලිනන් රෙදි, එළු රෝම, රතු සායම් දාපු බැටළු හම්, සීල් මත්ස්‍යයාගේ හම් තිබුණ හැමෝම ඒවා ගෙනත් දුන්නා. 24  රිදී සහ තඹ තිබුණ හැමෝමත් ඒවා යෙහෝවාට සම්මාදමක් විදිහට ගෙනාවා. ඇකේෂියා ලී තිබුණ හැමෝමත් වැඩවලට ඕනෙ කරන ලී ගෙනාවා. 25  වැඩවලට දක්ෂ ස්ත්‍රීන් හැමෝම+ නූල් හදන්න* පටන්ගත්තා. ඒ ස්ත්‍රීන් එයාලා අඹරලා හදපු නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින් ලිනන් නූල් ගෙනත් දුන්නා. 26  වැඩවලට දක්ෂ ස්ත්‍රීන් එළු රෝමවලිනුත් නූල් හදන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. 27  අධිපතීන් ඒෆොද් ඇඳුමට සහ ළයවැස්මට ඕනෙ කරන ඔනික්ස් ගල් සහ වෙනත් වටිනා ගල් ගෙනාවා.+ 28  ඒ වගේම පහන්වලට, ශුද්ධ තෛලයට+ සහ සුවඳ ද්‍රව්‍යයට+ දාන්න බෝල්සම් තෙල් සහ ඔලීව තෙල් එයාලා ගෙනාවා. 29  දෙවියන්ට යමක් දෙන්න මුළු හිතින්ම පෙලඹුණ ස්ත්‍රීන් සහ පුරුෂයන් හැමෝම යෙහෝවා මෝසෙස්ට හදන්න කියලා කියපු දේවලට ඕනෙ කරන දේවල් ගෙනත් දුන්නා. ඊශ්‍රායෙල්වරු කැමැත්තෙන්ම යෙහෝවා දෙවියන්ට ඒ හැම දේම ගෙනත් දුන්නා.+ 30  මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “යූදා ගෝත්‍රයේ හූර්ගේ පුතා වන උරීගේ පුත් බෙසලෙල්ව යෙහෝවා තෝරගෙන තියෙනවා.+ 31  එයාට අවශ්‍ය ප්‍රඥාව, දැනුම, තේරුම්ගැනීමේ හැකියාව වගේම හැම ශිල්ප ක්‍රමයක්ම දක්ෂ විදිහට කරන්න දෙවියන් ඔහුගේ බලය කිසිම අඩුවක් නැතුව දීලා තියෙනවා. 32  ඒ නිසා කලාත්මක විදිහට දේවල් නිර්මාණය කරන්න, රන්, රිදී සහ තඹ කැටයම් කරන්න, 33  මැණික් ගල් කපන්න, ඒවා ඔබ්බවන්න සහ ලීවලින් කරන ඕනෙම වැඩක් කරන්න එයාට හැකියාව තියෙනවා. 34  අනිත් අයට ඒ දේවල් කියලා දෙන්න හැකියාවත් දෙවියන් බෙසලෙල්ට සහ දාන් ගෝත්‍රයට අයිති අහිසාමක්ගේ පුතා වන ඔහොලියාබ්ට+ දීලා තියෙනවා. 35  හැම ශිල්ප ක්‍රමයක්ම හොඳට කරන්නත්+ නිල් පාට නූල්වලින්, දම් පාට ලොම්වලින්, තද රතු පාට නූල්වලින් සහ හොඳම වර්ගයේ ලිනන් නූල්වලින් මෝස්තර මහන්නත් රෙදි වියන්නත් එයාලට පුළුවන්. ඕනෙම වැඩක් කරන්නත් ඕනෙම විදිහේ නිර්මාණයක් කරන්නත් හැකියාව දෙවියන් එයාලට අඩුවක් නැතුව දීලා තියෙනවා.

පාදසටහන්

මූ.අ., “ප්‍රඥාවන්ත සිතක් තියෙන.”
හෝ, “සොලවන පූජාවක්.”
හෝ, “කටින්න.”