නික්මයාම 36:1-38

  • අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සම්මාදම් ලැබෙයි (1-7)

  • ශුද්ධ කූඩාරම ඉදි කරයි (8-38)

36  “බෙසලෙල් ඔහොලියාබ් එක්කත් වැඩට දක්ෂ* අනිත් හැමෝම එක්කත් එකතු වෙලා වැඩ කරයි. ශුද්ධ කූඩාරම හදන්න ඕනෙ කරන ප්‍රඥාව සහ තේරුම්ගැනීමේ හැකියාව යෙහෝවා දෙවියන් එයාලට දීලා තියෙනවා. ඒ නිසා යෙහෝවා අණ කරපු විදිහට ඒ හැම දෙයක්ම හදන්න එයාලට පුළුවන් වෙයි.”+  ඊටපස්සේ මෝසෙස්, බෙසලෙල්ටයි, ඔහොලියාබ්ටයි, යෙහෝවා ප්‍රඥාව දුන්න දක්ෂ පුරුෂයන් හැමෝටමයි එන්න කිව්වා.+ ඒ හැමෝම වැඩ කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.+  එයාලා ශුද්ධ කූඩාරමේ වැඩ වෙනුවෙන් ඊශ්‍රායෙල් සෙනඟ සම්මාදම් කරපු හැම දෙයක්ම මෝසෙස්ගෙන් ඉල්ලගෙන වැඩ පටන්ගත්තා.+ ඒත් ඊශ්‍රායෙල් සෙනඟ සම්මාදම් ගේන එක නැවැත්තුවේ නැහැ. එයාලා හැමදාම උදේ දිගින් දිගටම සම්මාදම් ගෙනාවා.  පරිශුද්ධ සේවයට ඕනෙ කරන දේවල් හදහද හිටපු දක්ෂ අය  මෝසෙස් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “සෙනඟ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දේවල් ගේනවා. යෙහෝවා අපිට කරන්න කියපු වැඩවලට ඕනෙ කරන දේවල් දැනටමත් ඇති වෙන්න අපි ළඟ තියෙනවා.”  ඒ නිසා මෝසෙස් කඳවුරේ හිටපු හැමෝටම කිව්වා “ශුද්ධ කූඩාරමේ වැඩවලට තවත් සම්මාදම් ගේන්න එපා” කියලා. ඊටපස්සේ සෙනඟ සම්මාදම් ගේන එක නැවැත්තුවා.  සෙනඟ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් සම්මාදම් ගෙනත් තිබුණා.  වැඩවලට දක්ෂ හැමෝම+ ශුද්ධ කූඩාරම+ සහ ඒකේ තිර රෙදි දහය හැදුවා. තිර රෙදි හදන්න එයාලා සිහින්ව අඹරපු ලිනන් නූල්, නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් පාවිව්චි කළා. ඒ තිර රෙදිවල කෙරුබ්වරුන්ගේ රූපත් මැහුවා.+ බෙසලෙල් ඒ හැම වැඩක්ම අධීක්ෂණය කළා.  හැම තිර රෙද්දකම දිග රියන්* 28යි, පළල රියන් 4යි. 10  බෙසලෙල් තිර රෙදි පහක් එකට මූට්ටු කරලා එක විශාල රෙද්දක් හැදුවා. අනිත් තිර රෙදි පහත් එකට මූට්ටු කරලා තවත් විශාල රෙද්දක් හැදුවා. 11  ඊටපස්සේ එයා මූට්ටු කරපු එක විශාල රෙද්දක අවසාන තිරයේ උඩ ඉඳන් යටට නිල් පාට නූල්වලින් මුදු මැහුවා. අනිත් විශාල රෙද්දෙත් අවසාන තිරයේ ඒ විදිහටම මුදු මැහුවා. එහෙම කළේ මූට්ටු කරපු රෙදි දෙක එකකට එකක් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නයි. 12  ඒ විදිහට විශාල තිර රෙදි දෙකේම එකිනෙකට සමාන්තරව මුදු 50 ගාණේ මැහුවා. 13  අන්තිමට එයා රත්තරන් කොකු 50ක් හදලා ඒ කොකු මුදුවලට දාලා තිර රෙදි දෙක එකකට එකක් සම්බන්ධ කළා. ඒ විදිහට එයා ශුද්ධ කූඩාරම ආවරණය කරන්න තනි රෙද්දක් හැදුවා. 14  ඊටපස්සේ එයා කූඩාරමට දාන ඒ පළවෙනි ආවරණයට උඩින් දාන්න තවත් ආවරණයක් හැදුවා. එයා ඒකට එළු රෝමවලින් හදපු තිර රෙදි 11ක් පාවිච්චි කළා.+ 15  ඒ හැම තිර රෙද්දකම දිග රියන් 30යි, පළල රියන් 4යි. 16  එයා තිර රෙදි පහක් මූට්ටු කරලා එක විශාල ආවරණයක් හැදුවා. අනිත් තිර රෙදි හයත් මූට්ටු කරලා තවත් විශාල ආවරණයක් හැදුවා. 17  ඊටපස්සේ එයා මූට්ටු කරපු එක විශාල රෙද්දක අවසාන තිරයේ උඩ ඉඳන් යටට මුදු 50ක් මැහුවා. රෙදි දෙක එකකට එකක් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න එයා අනිත් විශාල රෙද්දෙත් අවසාන තිරයේ මුදු 50ක් මැහුවා. 18  ආවරණ දෙක එකකට එකක් සම්බන්ධ කරලා එක විශාල ආවරණයක් හදන්න එයා තඹ කොකු 50කුත් හැදුවා. 19  කූඩාරම වහන්න රතු සායම් දාපු බැටළු හම්වලින් තව ආවරණයකුත් ඒකට උඩින් දාන්න සීල් මත්ස්‍යයාගේ හම්වලින් තවත් ආවරණයකුත් එයා හැදුවා.+ 20  ඊටපස්සේ එයා ඇකේෂියා ලීවලින්+ ශුද්ධ කූඩාරම හදන්න ඕනෙ කරන රාමු හදලා ඒවා කෙළින් හිටෙව්වා.+ 21  ඒ එක රාමුවක උස රියන් දහයක් සහ පළල රියන් එකහමාරක්. 22  එයා ඒ රාමු පොළොවේ ශක්තිමත්ව රඳවන්න පුළුවන් වෙන්න ඒවාවල ලී ඇණ දෙක ගාණේ හැදුවා. ඒ ඇණ තිබුණේ එකකට එකක් සමාන්තරව. කූඩාරමේ හැම රාමුවක්ම එයා හැදුවේ ඒ විදිහටයි. 23  දකුණු දිශාවට මුහුණ ලා තියෙන කූඩාරමේ දකුණු පැත්තට එයා රාමු 20ක් හැදුවා. 24  රාමුවල තියෙන ලී ඇණ පොළොවට සවි කරන්න එයා එක රාමුවකට රිදී අඩි දෙක ගාණේ හැදුවා. ඒ විදිහට එයා රාමු 20ට රිදී අඩි 40ක් හැදුවා. ඊටපස්සේ එයා ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට ඒවා පොළොවේ රැඳෙව්වා.+ 25  කූඩාරමේ උතුරු පැත්තට එයා තව රාමු 20ක් හැදුවා. 26  ඒවාත් පොළොවට සවි කරන්න එයා රිදී අඩි 40ක් හැදුවා. එක රාමුවකට රිදී අඩි දෙක ගාණේ තිබුණා. එයා ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට ඒවා පොළොවේ රැඳෙව්වා. 27  කූඩාරමේ බස්නාහිර පැත්තේ තියෙන ඒකේ පිටුපස කොටසට එයා රාමු හයක් හැදුවා.+ 28  කූඩාරමේ පිටුපස පැත්තේ දෙකෙළවරේ ආධාරක කණු විදිහට තියන්න එයා තවත් රාමු දෙකක් හැදුවා. 29  ඒ එක රාමුවක් හැදුවේ එකිනෙකට සමාන ලෑලි දෙකකින්. එයා ඒ ලෑලි දෙක මුදුන ළඟින් එකට සම්බන්ධ කළා. ඒවා සම්බන්ධ වුණේ කූඩාරමේ පළවෙනි වළල්ල තියෙන තැන. රාමු දෙකම ඒ විදිහට හදලා ඒවා කෙළවරවල් දෙකේ ආධාරක කණු විදිහට සවි කළා. 30  ඒ විදිහට එයාලා කූඩාරමේ පිටුපස කොටසට රාමු අටක් හදලා ඒ එක් එක් රාමුව එක ළඟ හිටෙව්වා. රාමු පොළොවේ රඳවන්න රිදී අඩි 16කුත් හැදුවා. හැම රාමුවකටම අඩි දෙකක් තිබුණා. 31  රාමු එකකට එකක් සම්බන්ධ කරන්න එයා ඇකේෂියා ලීවලින් පොලු හැදුවා. කූඩාරමේ එක පැත්තක තියෙන රාමු සවි කරන්න පොලු පහක් හැදුවා.+ 32  කූඩාරමේ අනිත් පැත්තේ තියෙන රාමු සවි කරන්නත් එයා පොලු පහක් හැදුවා. කූඩාරමේ බස්නාහිර පැත්තේ තියෙන ඒකේ පිටුපස කොටසටත් තව පොලු පහක් හැදුවා. 33  එයා රාමුවේ හරි මැද්දෙන් යවන පොල්ලත් හැදුවා. එයා ඒක හැදුවේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර දක්වාම තියෙන විදිහටයි. 34  හැම රාමුවකටම සහ ඒවා එකකට එකක් සම්බන්ධ කරන පොලුවලට එයා රන් ආලේප කළා.+ ඒ පොලු දාන්න එයා රත්තරන්වලින් වළලු හදලා රාමුවල සවි කළා. 35  ඊටපස්සේ එයා නිල් පාට නූල්වලින්, දම් පාට ලොම්වලින්, තද රතු පාට නූල්වලින් සහ සිහින්ව අඹරපු ලිනන් නූල්වලින් තවත් තිර රෙද්දක්+ හදලා ඒකේ කෙරුබ්වරුන්ගේ රූප මැහුවා.+ 36  එයා ඇකේෂියා ලීවලින් කණු හතරක් හදලා ඒවාවලට රන් ආලේප කරලා රිදී අඩි හතරකින් ඒවා පොළොවේ රැඳෙව්වා. තිර රෙද්ද එල්ලන්න එයා කණුවලට සවි කරන්න රන් ඇණත් හැදුවා. 37  කූඩාරමේ ඇතුල් වෙන තැන එල්ලන්න එයා නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් වියලා තිර රෙද්දක් හැදුවා.+ 38  ඒක එල්ලන්න එයා කණු පහකුයි, ඇණයි හැදුවා. කණුවල උඩ කොටසටත් ඒවාවල වළලුවලටත්* එයා රන් ආලේප කළා. ඒ කණු පොළොවේ රඳවන්න එයා තඹ අඩි පහකුත් හැදුවා.

පාදසටහන්

මූ.අ., “ප්‍රඥාවන්ත සිතක් තියෙන.”
රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.
හෝ, “මුදු, කොකු නැත්නම් පටි.”