නෙහෙමියා 1:1-11

  • යෙරුසලම ගැන ලැබුණ ආරංචිය (1-3)

  • නෙහෙමියාගේ යාච්ඤාව (4-11)

1  මේ හකලියාගේ පුතා වුණ නෙහෙමියා*+ ලියපු වාර්තාවයි. 20වෙනි අවුරුද්දේ* කිස්ලෙව්* මාසයේ මම හිටියේ ෂූෂන්*+ මාලිගාවේ.*  ඒ දවස්වලදී මගේ සහෝදරයෙක් වන හනානි+ තවත් පුරුෂයන් කීපදෙනෙක් එක්ක යූදා දේශයේ ඉඳලා මාව හම්බ වෙන්න මාලිගාවට ආවා. වහල්කමින් නිදහස් වෙලා ආපු යුදෙව්වන් ගැනයි,+ යෙරුසලමේ තිබුණ තත්වය ගැනයි මං එයාලාගෙන් ඇහුවා.  එයාලා මට මෙහෙම කිව්වා. “වහල්කමින් නිදහස් වෙලා, යූදා පළාතට ගිහින් පදිංචි වුණ අය ඉන්නේ ගොඩක් අසරණ තත්වයක. එයාලා හැමෝගෙම අපහාසෙට ලක් වෙලා.+ ඒ මදිවට යෙරුසලමේ පවුරුත් කැඩිලා බිඳිලා ගිහින්.+ දොරටුවලටත් ගිනි තියලා!”+  ඒක අහපු ගමන්ම මං ඉඳගෙන අඬන්න පටන්ගත්තා. මං දවස් ගාණක් තිස්සේ කිසි දෙයක් කන්නේ නැතුව+ ස්වර්ගය පාලනය කරන දෙවියන්ට ගොඩක් දුකෙන් අඬඅඬ යාච්ඤා කළා.  මං දෙවියන්ට මෙහෙම කිව්වා. “ස්වර්ගය පාලනය කරන යෙහෝවා දෙවියනි, ඔයා ලොකු ගෞරවයක්* ලබන්න වටින, ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්. ඔයාට ආදරේ කරන, ඔයාගේ නීතිවලට කීකරු වෙන අයට ඔයා නොසැලෙන ආදරයක්* පෙන්නනවා. එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔයා කවදාවත් කඩ කරන්නේ නැහැ.+  අනේ දෙවියනි, මං දිහා බලන්න. මං කියන දේට ඇහුම්කන් දෙන්න. ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ගැන ඔයාගේ සේවකයා වන මම දවස තිස්සේම*+ කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න. ඊශ්‍රායෙල්වරු ඔයාට විරුද්ධව පව් කළා කියලා මං පිළිගන්නවා. මමත් මගේ පෙළපතේ* හැමෝමත් ඔයාට විරුද්ධව පව් කළා.+  අපි වැඩ කළේ ඔයාගේ හිතට ලොකු දුකක් දැනෙන විදිහට.+ ඔයාගේ සේවකයා වන මෝසෙස්ට ඔයා දුන්න අණපනත්, නීතිරීති, තීන්දුවලට අපි අකීකරු වුණා.+  “අනේ දෙවියනි, මං ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාගේ සේවකයා වන මෝසෙස්ට ඔයා කිව්ව දේ* සිහි කරන්න කියලයි. ඔයා එයාට මෙහෙම කිව්වා. ‘ඔයාලා මට ද්‍රෝහි වුණොත් මං ඔයාලව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+  ඒත් ඔයාලා ආයෙත් මාව සිහි කරලා මගේ නීතිවලට කීකරු වුණොත් පොළොවේ ඈත කෙළවරක විසිරිලා හිටියත් මං ඔයාලව එකතු කරගන්නවා.+ මගේ නම ගෞරවයට පත් කරන්න* මං තෝරගත්ත තැනට+ ආයෙත් ඔයාලව ගේනවා.’ 10  ඊශ්‍රායෙල්වරු කියන්නේ ඔයාගේ සෙනඟ. ඔයාගේ අතිමහත් බලයෙන් නිදහස් කරපු+ ඔයාගේ සේවකයන්. 11  අනේ යෙහෝවා, ඔයාගේ සේවකයා වන මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න. ඔයාගේ නමට මුළු හදවතින්ම ගෞරවය කරන* ඔයාගේ අනිත් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. අනේ දෙවියනි, මං දැන් කරන්න හිතන් ඉන්න දේට ආශීර්වාද කරන්න. රජුගෙන් කරුණාව ලබන්න මට උදව් කරන්න.”+ ඒ දවස්වල මං සේවය කළේ රජුගේ කුසලාන දරන්නා විදිහටයි.+

පාදසටහන්

තේරුම, “යාහ් සැනසීම දෙයි.”
පර්සියානු රජ වුණ 1වෙනි අර්තක්ෂස්තාගේ 20වෙනි අවුරුද්දේ.
උප. B15 බලන්න.
හෝ, “සූසා.”
හෝ, “බලකොටුවේ.”
හෝ, “ගරුබිය.”
මූ.අ., “රෑ දවල් දෙකේම.”
මූ.අ., “මගේ පියාගේ පෙළපතට අයිති.”
හෝ, “දුන්න අනතුරු ඇඟවීම.”
මූ.අ., “නම දරන්න.”
මූ.අ., “ගරුබිය දැක්වීමෙන් ලොකු සතුටක් ලබන.”