නෙහෙමියා 2:1-20

  • නෙහෙමියාව යෙරුසලමට යවයි (1-10)

  • නෙහෙමියා නගරයේ පවුරු සෝදිසි කරයි (11-20)

2  අර්තක්ෂස්තා+ රජුගේ පාලන කාලයේ 20වෙනි අවුරුද්දේ+ නීසාන්* මාසයේ දවසක, මං සුපුරුදු විදිහට රජු ඉස්සරහට ගිහින් වයින් පිළිගැන්නුවා.+ ඒත් එදා මං හිටියේ ලොකු දුකකින්. මං කවදාවත් රජු ඉස්සරහට ඒ විදිහට ගිහින් තිබුණේ නැහැ.  ඒ වෙලාවේ රජු මට මෙහෙම කිව්වා. “ඇයි ඔයා ඔච්චර දුකෙන් ඉන්නේ? ඔයාට අසනීපයක් නැහැ කියලා මං දන්නවා. මට තේරෙන විදිහට ඔයා ඉන්නේ ලොකු ප්‍රශ්නෙක.” ඒක ඇහුවාම මට ලොකු බයක් දැනුණා.  මං රජුට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වෙන්න ඕනේ! මගේ මුතුන්මිත්තන්ව තැන්පත් කරලා තියෙන නුවර විනාශ වෙලා පාළුවට ගිහින්. ඒකේ දොරටු ගින්නෙන් පිච්චිලා.+ මං දුකෙන් ඉන්නේ ඒ නිසයි.”  එතකොට රජු “ඉතින් ඔයාට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෙ” කියලා ඇහුවා. ඒ වෙලාවෙම මං ස්වර්ගය පාලනය කරන දෙවියන්ට යාච්ඤා කරලා+  රජුට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ කැමති නම්, ඔබේ සේවකයා වන මං ගැන ඔබ සතුටු වෙනවා නම් යූදා පළාතේ මගේ මුතුන්මිත්තන්ව තැන්පත් කරලා තියෙන නුවරට යන්න මට අවසර දෙන්න. ඔබතුමා අවසර දුන්නොත් මට පුළුවන් ඒ නුවර ආයෙත් ඉදි කරන්න.”+  ඒ වෙලාවේ එතන රජතුමා එක්ක රැජිනත් හිටියා. රජු මගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට ඒ ගමන යන්න කොච්චර කාලයක් යයිද? ඔයා ආයෙත් එන්නේ කවදාද?” රජු කැමති වුණා මට යන්න දෙන්න.+ ඉතින් මං ආයෙත් එන දවස රජුට කිව්වා.+  ඊටපස්සේ මං රජතුමාට මෙහෙමත් කිව්වා. “රජතුමනි, ඔබ කැමති නම් මහ ගඟෙන් එගොඩ*+ ඉන්න ආණ්ඩුකාරයන්ට පෙන්නන්න මට ලිපි කීපයක් දෙන්න. එතකොට ඒ ලිපි පෙන්නලා කිසි කරදරයක් නැතුව යූදා පළාතට යන්න මට පුළුවන්.  ඒ වගේම දේවමාලිගාව ළඟ තියෙන බලකොටුවේ දොරටුවලටයි,+ නගරේ පවුරුවලටයි,+ මට පදිංචි වෙන්න ගෙයක් හදාගන්නයි දැව අවශ්‍ය වෙනවා. ඒ ගැන සඳහන් කරලා රජතුමාට අයිති වනාන්තරයේ භාරකරු වන ආසාෆ්ට ලිපියක් දෙන්න කියලත් මං ඔබෙන් ඉල්ලනවා.” කරුණාව පෙන්නන මගේ දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණ නිසා+ රජු මට ඒ හැම දේම දුන්නා.+  ගමන යන්න රජු හමුදාවේ නායකයන් සහ අසරුවන් කීපදෙනෙක්වත් මාත් එක්ක එව්වා. දවස් කීපයකට පස්සේ මං මහ ගඟෙන් එගොඩ හිටපු ආණ්ඩුකාරයන්ව හම්බ වෙලා රජුගෙන් ලැබුණ ලිපි එයාලට දුන්නා. 10  ඊශ්‍රායෙල්වරුන්ගේ උදව්වට කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා හෝරොන්වල හිටපු සන්බලට්ට+ සහ අම්මොන් ජාතික+ නිලධාරියෙක් වුණ ටොබියාට+ ආරංචි වුණාම එයාලා හොඳටම කලබල වුණා. 11  ටික දවසකට පස්සේ මං යෙරුසලමට ආවා. මං දවස් තුනක් එහේ හිටියා. 12  දවසක් මං රෑ නැඟිටලා මාත් එක්ක හිටපු කීපදෙනෙක් එක්ක නගරයට ගියා. යෙරුසලම වෙනුවෙන් කරන්න මගේ දෙවියන් මගේ හිතට දාපු දේවල් ගැන මං කාටවත් කිව්වේ නැහැ. ඒ වෙලාවේ මං නැඟලා ගිය බූරුවා ඇරෙන්න වෙන කිසි සතෙක්ව අපි අරන් ගියේ නැහැ. 13  මං එදා රෑ නිම්න දොරටුවෙන්+ පිටත් වෙලා මහා සර්ප දිය උල්පතයි, කසළ දොරටුවයි+ පහු කරගෙන ගියා. එහෙම ගිහින් යෙරුසලමේ පවුරුවල කැඩිලා බිඳිලා තිබුණ තැනුයි, ගින්නෙන් විනාශ වෙලා තිබුණ දොරටුයි+ සෝදිසි කරලා බැලුවා. 14  මං උල්පත් දොරටුව+ පහු කරගෙන රාජකීය පොකුණ ළඟට ගියා. මං නැඟලා ගිය බූරුවාට එතනින් එහාට යන්න තරම් එතන ඉඩක් තිබුණේ නැහැ. 15  ඒත් මං දිගටම නිම්නය+ හරහා ගිහින් එදා රෑම පවුරු සෝදිසි කරලා බැලුවා. ඊටපස්සේ මං ආයෙත් හැරිලා ඇවිත් නිම්න දොරටුවෙන් නගරයට ආවා. 16  මං ගියේ කොහෙද, මං කළේ මොනවාද කියලා නිලධාරීන්+ දැනන් හිටියේ නැහැ. මොකද යුදෙව්වන්ටවත් පූජකයන්ටවත් ප්‍රධානීන්ටවත් අනිත් නිලධාරීන්ටවත් ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන අයටවත් මං ඒ ගැන කිසිම දෙයක් කියලා තිබුණේ නැහැ. 17  අන්තිමේදී මං එයාලට මෙහෙම කිව්වා. “පේනවා නේද අපිට වෙලා තියෙන දේ. කැඩිලා බිඳිලා ගිය යෙරුසලමේ පවුරු තාමත් එහෙම්මමයි. ගින්නෙන් පුච්චපු දොරටු එහෙම්මම තියෙනවා. ඒක අපිට කොච්චර ලැජ්ජාවක්ද! අපි හැමෝම එකතු වෙලා යෙරුසලමේ පවුරු ආයෙත් හදමු.” 18  කරුණාව පෙන්නන මගේ දෙවියන්ගේ ආශීර්වාදය මට ලැබුණ විදිහත්+ රජතුමා මට කියපු හැම දේමත් මං එයාලට කිව්වා.+ ඒක ඇහුවාම එයාලා කිව්වා “අපි එකතු වෙලා පවුරු හදමු” කියලා. ඉතිං එයාලා එකිනෙකාව ශක්තිමත් කරලා ලොකු උද්‍යෝගයකින් ඒ වැදගත් වැඩේට ලෑස්ති වුණා.+ 19  හෝරොන්වල හිටපු සන්බලට්ටයි, අම්මොන් ජාතික+ නිලධාරියෙක් වුණ ටොබියාටයි,+ අරාබි ජාතික ගෙෂෙම්ටයි+ අපි කරන්න යන දේ ගැන ආරංචි වුණාම එයාලා අපිට අපහාස කරන්න පටන්ගත්තා.+ එයාලා අපිව හෑල්ලුවට අරගෙන අපෙන් ඇහුවා “ඔයාලා මොනවාද මේ කරන්න හදන්නේ? රජ්ජුරුවන්ට විරුද්ධව කැරලිගහන්නද හදන්නේ”+ කියලා. 20  එතකොට මං එයාලට මෙහෙම කිව්වා. “ස්වර්ගය පාලනය කරන දෙවියන් අපිත් එක්ක ඉන්නවා. ඔහු අනිවාර්යයෙන්ම මේ වැඩේ ඉවර කරන්න අපිට උදව් කරනවා.+ ඒ නිසා ඔහුගේ සේවකයන් වන අපි මේ වැඩේ කරනවාමයි. හැබැයි මේ දේ මතක තියාගන්න. ඔයාලට යෙරුසලමත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මෙහේ කිසිම උරුමයක්වත් අයිතිවාසිකමක්වත්* ඔයාලට නැහැ.”+

පාදසටහන්

උප. B15 බලන්න.
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟට බස්නාහිර පැත්තෙන් තියෙන පළාත.
හෝ, “යෙරුසලමේ ඉතිහාසයට කිසිම සම්බන්ධයක්වත්.”