නෙහෙමියා 8:1-18

  • නීතිය කියවලා සෙනඟට පැහැදිලි කරලා දෙයි (1-12)

  • පැල් උත්සවය සමරයි (13-18)

8  සෙනඟ හැමෝම එකා මෙන් ජල දොරටුව+ ඉස්සරහා තියෙන ප්‍රධාන හන්දියේ රැස් වුණා. ඊටපස්සේ එයාලා පිටපත්කරුවෙක්* වුණ එස්රාට+ කිව්වා යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට දුන්න+ නීතිය+ සඳහන් ලියවිල්ල අරන් එන්න කියලා.  ඉතින් පූජක එස්රා එතනට නීතිය සඳහන් ලියවිල්ල අරන් ආවා.+ පුරුෂයන්, ස්ත්‍රීන් සහ තේරුම්ගැනීමේ හැකියාව තියෙන හැමෝම එතන හිටියා. ඒ දේ වුණේ අවුරුද්දේ හත්වෙනි මාසයේ පළවෙනි දවසේදී.+  එස්රා උදේ පාන්දර ඉඳන් ඉර මුදුන් වෙන කල් ජල දොරටුව ඉස්සරහා තියෙන ප්‍රධාන හන්දියේ හිටපු පුරුෂයන්ට, ස්ත්‍රීන්ට සහ තේරුම්ගන්න පුළුවන් වයසක හිටපු හැමෝටම ඇහෙන්න ලියවිල්ල කියෙව්වා.+ නීතියේ තියෙන දේවල් කියවද්දී සෙනඟ හොඳට අහගෙන හිටියා.+  පිටපත්කරු* වුණ එස්රා හිටගෙන හිටියේ ඒ අවස්ථාව වෙනුවෙන්ම හදපු ලී වේදිකාවක් උඩ. මත්තිතියා, ෂෙමා, අනායා, උරියා, හිල්කියා සහ මයසේයා එයාගේ දකුණු පැත්තේ හිටගෙන හිටියා. එයාගේ වම් පැත්තේ හිටියේ පෙදායා, මිෂායෙල්, මල්කියා,+ හාෂුම්, හෂ්බද්දානා, සෙකරියා සහ මෙෂල්ලම්.  රැස් වෙලා හිටපු සෙනඟට ටිකක් ඉහළට වෙන්න හිටගෙන හිටපු එස්රා ලියවිල්ල දිගහැරියා. එතකොට එතන හිටපු හැමෝම නැඟිට්ටා.  ඊටපස්සේ එස්රා ශ්‍රේෂ්ඨ, එකම සැබෑ දෙවියන් වන යෙහෝවාට ප්‍රශංසා කළා. ඒ වෙලාවේ හැමෝම එයාලාගේ අත් උඩට උස්සලා “ආමෙන්! ආමෙන්”*+ කියලා දණින් වැටිලා පොළොව දිහාවට ඔළුව පහත් කරලා යෙහෝවාට නමස්කාර කළා.  ඊටපස්සේ සෙනඟ හිටගෙන ඉද්දී ලෙවීවරුන් වුණ යේෂුවා, බානි, ෂෙරෙබියා,+ යාමින්, අක්කුබ්, ෂබ්බෙතයි, හෝදියා, මයසේයා, කෙලීටා, අෂරියා, යෝෂාබාද්,+ හානාන් සහ පෙලායා නීතියේ තියෙන දේවල් එයාලට පැහැදිලි කරලා දුන්නා.+  ඒ අය දිගටම හැමෝටම ඇහෙන්න සැබෑ දෙවියන්ගේ නීතිය සඳහන් ලියවිල්ල කියවලා ඒකේ තියෙන දේවල් පැහැදිලි කරලා දුන්නා. ඒ දේවල්වල නියම අර්ථය තේරුම්ගන්න එයාලා සෙනඟට උදව් කළා.+  ඒ දේවල් අහලා සෙනඟ හොඳටම අඬන්න පටන්ගත්තා. එතකොට ආණ්ඩුකාරයා* වුණ නෙහෙමියා, පිටපත්කරුවෙක්* වගේම පූජකයෙක් වුණ එස්රා+ සහ උගන්වමින් හිටපු ලෙවීවරු සෙනඟට මෙහෙම කිව්වා. “අද දවස ඔයාලාගේ දෙවියන් වන යෙහෝවාට ශුද්ධ දවසක්.+ ඒ නිසා මේ විදිහට දුක් වෙවී අඬා වැලපෙන්න එපා.” 10  නෙහෙමියා එයාලට මෙහෙමත් කිව්වා. “දැන් ගිහින් දිව පිනවන කෑම කාලා රසවත් බීම බොන්න. කෑම බීම නැති අයටත් කෑම පංගුවක් යවන්න.+ මොකද මේ දවස අපේ ස්වාමීන්ට ශුද්ධ දවසක්. ඉතින් දුක් වෙන්න එපා. මොකද යෙහෝවා දෙවියන් දෙන සතුට හරියට ඔයාලට බලකොටුවක් වගේ.”* 11  ඊටපස්සේ ලෙවීවරු සෙනඟව සනසලා මෙහෙම කිව්වා. “දැන් අඬන්න එපා. දුක් වෙන්නත් එපා. මොකද මේ දවස ශුද්ධ දවසක්.” 12  ඉතින් හැමෝම ගිහින් කාලා බීලා, කෑම නැති අයටත් කෑම පංගුවක් යැව්වා. පැහැදිලි කරලා දුන්න දේවල් හැමෝම හොඳින් තේරුම්ගත්ත නිසා+ එයාලට දැනුණේ කියලා නිම කරන්න බැරි සතුටක්.+ 13  පහුවෙනිදා පෙළපත්වල ප්‍රධානීන්, පූජකයන් සහ ලෙවීවරුන් පිටපත්කරු* වුණ එස්රාව මුණගැහෙන්න ආවා. එයාලට ඕනෙ වුණේ නීතියේ තියෙන දේවල් තවත් හොඳින් අවබෝධ කරගන්න. 14  මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දුන්න නීතිය කියවලා බලද්දී එයාලා තේරුම්ගත්තා හත්වෙනි මාසයේ පවත්වන උත්සවයේදී+ ඊශ්‍රායෙල්වරුන් පැල්* හදාගෙන ඒවාවල ඉන්න ඕනෙ කියලා. 15  ඒ වගේම හැම නගරයකම සහ යෙරුසලම පුරාම මේ වගේ නිවේදනයක්+ කරන්න ඕනෙ කියලත් එයාලා තේරුම්ගත්තා. “කඳුකරයට ගිහින් ඔලීව, පයින්,* මරඳ, තාල සහ කොළ පිරුණු වෙනත් ගස්වලින් අතු කපාගෙන එන්න. ඊටපස්සේ ලියලා තියෙන විදිහට පැල් හදාගන්න.” 16  ඉතින් සෙනඟ ගස්වල අතු කපාගෙන ඇවිත් එයාලාගේ ගෙවල්වල පැතලි වහලෙත්* මිදුලෙත් පැල් හදාගත්තා. ඒ වගේම සැබෑ දෙවියන්ගේ ගෘහයේ මළුවලත්+ ජල දොරටුව+ සහ එෆ්‍රායිම් දොරටුව+ ළඟ තියෙන ප්‍රධාන හන්දිවලත් එයාලා පැල් හැදුවා. 17  වහල්කමින් නිදහස් වෙලා ආපු හැමෝම පැල් හදාගෙන ඒ පැල්වලට වෙලා හිටියා. නූන්ගේ පුත් යොෂුවාගේ+ කාලයේ ඉඳන් ඒ වෙන කල් ඊශ්‍රායෙල්වරු පැල් උත්සවය ඒ විදිහට සමරලා තිබුණේ නැහැ. ඒ නිසා එයාලාගේ හිත් සතුටින් පිරිලා ඉතිරිලා ගියා.+ 18  උත්සවයේ පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවස වෙන කල් හැමදාම සැබෑ දෙවියන්ගේ නීතියෙන් කොටසක් ශබ්ද නඟලා කියෙව්වා.+ දවස් හතක් තිස්සේ උත්සවය පැවැත්තුවා. අටවෙනි දවසේ නීතියේ සඳහන් විදිහට ශුද්ධ එක්රැස්වීමක් පැවැත්තුවා.+

පාදසටහන්

හෝ, “ලේකම්වරයෙක්.”
හෝ, “ලේකම්වරයෙක්.”
හෝ, “එසේම වේවා! එසේම වේවා!”
හෝ, “ලේකම්වරයෙක්.”
හෝ, “තිර්ෂාතා.” පර්සියානු භාෂාවෙන් පළාත් ආණ්ඩුකාරයාව හැඳින්නුවේ එහෙමයි.
හෝ, “ශක්තියක් වෙයි.”
හෝ, “ලේකම්වරයෙක්.”
හෝ, “තාවකාලික මඩු.”
මූ.අ., “තෙල් ලීය.” සමහරවිට “අලෙප්පෝ” පයින් ලීය.
ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.