මතෙව් 10:1-42

  • නියෝජිතයන් 12දෙනා (1-4)

  • සේවේ ගැන දීපු මඟ පෙන්වීම් (5-15)

  • ගෝලයන්ට පීඩාවලට මුහුණ දෙන්න වෙයි (16-25)

  • මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට බය වෙන්න (26-31)

  • ආවේ කඩුවක් දෙන්න මිසක් සාමය ගේන්න නෙමෙයි (32-39)

  • යේසුස්ගේ ගෝලයන්ව පිළිගන්න අය (40-42)

10  ඔහු තමන්ගේ ගෝලයන් 12දෙනාට එන්න කියලා, භූතයන්ව එළවන්නත්+ මිනිස්සුන්ට හැදිලා තිබුණ හැම ලෙඩක්ම, හැම ආබාධයක්ම සුව කරන්නත් එයාලට බලය දුන්නා.  යේසුස්ගේ නියෝජිතයන්* 12දෙනාගේ නම් මේවායි.+ මුලින්ම පේතෘස් කියලත් හඳුන්වපු සීමොන්+ සහ එයාගේ සහෝදරයා අන්දෘ.+ සෙබදීගේ පුතා යාකොබ් සහ එයාගේ සහෝදරයා යොහන්.+  ෆිලිප් සහ බාතොලමෙව්.+ තෝමස්+ සහ බදු එකතු කරන මතෙව්.+ අල්ෆෙවුස්ගේ පුතා යාකොබ් සහ තදියස්.  ලොකු උද්‍යෝගයකින් වැඩ කරපු* සීමොන් සහ පස්සේ යේසුස්ට ද්‍රෝහි වුණ යූදස් ඉස්කාරියොත්.+  යේසුස් ඒ 12දෙනාව පිටත් කරලා යවද්දී එයාලට මේ මඟ පෙන්වීම් දුන්නා.+ “වෙනත් ජාතීන් ඉන්න පැතිවලට යන්න එපා. සමාරියේ තියෙන කිසි නගරෙකට ඇතුල් වෙන්නත් එපා.+  ඒ වෙනුවට දිගටම ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න, නැති වුණ බැටළුවන් ළඟට යන්න.+  එහෙම යද්දී ‘ස්වර්ග රාජ්‍යය ළඟටම ඇවිත්’ කියලා දේශනා කරන්න.+  අසනීපයෙන් ඉන්න අයව සුව කරන්න.+ මැරුණු අයව නැඟිට්ටවන්න. ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරන්න. භූතයන්ව එළවන්න. ඔයාලට නොමිලේ ලැබුණ දේ නොමිලේම දෙන්න.  ඔයාලාගේ ඉණපටිවල තියෙන පසුම්බිවල රන්, රිදී සහ තඹ කාසි අරන් යන්න එපා.*+ 10  ගමනට කෑම මල්ලක්වත් වැඩිපුර ඇඳුමක්වත්* පාවහන්වත් සැරයටියක්වත් අරන් යන්න එපා.+ මොකද වැඩ කරන කෙනාට කෑම ලැබෙන්න ඕනේ.+ 11  “ඔයාලා කොහේ හරි නගරෙකට නැත්නම් ගමකට ගියාම එහේ ඉන්න සුදුසු අයව හොයන්න. එහෙන් පිටත් වෙලා යන කල්ම ඒ අය එක්ක නැවතිලා ඉන්න.+ 12  ඔයාලා ගෙදරකට ඇතුල් වෙද්දී ඒ ගෙදර ඉන්න අයට සුබ පතන්න. 13  ඒ ගෙදර ඉන්නේ සුදුසු අය නම් ඔයාලා පතන සාමය එයාලට ලැබෙයි.+ ඒත් එයාලා සුදුසු අය නෙමෙයි නම් ඔයාලා පැතුව සාමය ආයෙත් ඔයාලටම ලැබෙයි. 14  කොහේ හරි තැනක ඉන්න කෙනෙක් ඔයාලව පිළිගන්නෙවත් ඔයාලා කියන දේවල් අහන්නෙවත් නැත්නම් ඒ ගෙදරින් හරි ඒ නගරෙන් හරි පිට වෙද්දී ඔයාලාගේ කකුල්වල තියෙන දූවිලි ගසලා දාන්න.*+ 15  ඇත්තටම මං ඔයාලට කියන්නේ, විනිශ්චය දවසේදී සොදොම් සහ ගොමෝරා නගරවලට+ ලැබෙන දඬුවමට වඩා දරුණු දඬුවමක් ඒ නගරෙට ලැබෙයි. 16  “මම ඔයාලව යවන්නේ වෘකයන් මැදට යවන බැටළුවන් වගෙයි. ඒ නිසා ඔයාලා සර්පයන් වගේ විමසිල්ලෙන් ඉන්න. ඒත් පරෙවියන් වගේ අහිංසක වෙන්න.+ 17  මිනිස්සුන්ගෙන් පරෙස්සම් වෙන්න. මොකද ඒ අය ඔයාලව උසාවිවලට භාර දීලා+ සිනගෝගවලදී+ ඔයාලට කසයෙන් තළයි.+ 18  ඔයාලා මගේ ගෝලයන් නිසා ඔයාලව ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට අරන් යයි.+ ඒ අයටත් ජාතීන්ටත් සාක්ෂි දරන්න ඒකෙන් ඔයාලට අවස්ථාව ලැබෙයි.+ 19  ඒ වගේ අය ඉස්සරහට අරන් ගියාම කියන්න ඕනෙ මොනවාද කියලවත් ඒක කියන්න ඕනෙ කොහොමද කියලවත් හිතහිත කනස්සලු වෙන්න එපා. ඔයාලා කියන්න ඕනෙ මොනවාද කියලා දෙවියන් ඔයාලට ඒ වෙලාවෙම දන්වයි.+ 20  ඒ වෙලාවේ ඇත්තටම කතා කරන්නේ ඔයා නෙමෙයි. ඔයාගේ පියාණන්ගේ බලය ඔයාට හරි දේ කියන්න උදව් කරයි.+ 21  කෙනෙක් තමන්ගෙම සහෝදරයාවත් තාත්තා කෙනෙක් තමන්ගෙම දරුවාවත් මරලා දාන්න සතුරන් අතට භාර දෙයි. දරුවනුත් දෙමාපියන්ට විරුද්ධව නැඟී ඉඳලා එයාලව මරලා දාන්න සතුරන්ට භාර දෙයි.+ 22  ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.+ 23  එක නගරෙකදී ඔයාලට පීඩා කරද්දී ඔයාලා වෙන නගරෙකට පලා යන්න.+ ඇත්තටම මං ඔයාලට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයා එන්න කලින් ඊශ්‍රායෙල් දේශයේ හැම නගරෙකම පණිවිඩය දේශනා කරලා ඉවර කරන්න ඔයාලට බැරි වෙනවා. 24  “ශිෂ්‍යයෙක්* තමන්ගේ ගුරුවරයාට වඩා උසස් නැහැ. දාසයෙක් තමන්ගේ ස්වාමියාට වඩා උසස් වෙන්නෙත් නැහැ.+ 25  ශිෂ්‍යයෙක්ට එයාගේ ගුරුවරයා වගේ වෙන්න පුළුවන් නම්, දාසයෙක්ට එයාගේ ස්වාමියා වගේ වෙන්න පුළුවන් නම් ඒ ඇති.+ එයාලට ඒකෙන් සෑහීමට පත් වෙන්න පුළුවන්. මිනිස්සු ගෙදර ස්වාමියාට බෙල්සෙබුබ්*+ කියලා කියනවා නම් ගෙදර ඉන්න අනිත් අයට ඊට වඩා කොච්චර වැඩියෙන් එහෙම කියයිද! 26  ඒ නිසා එයාලට බය වෙන්න එපා. මොකද හංගලා තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම එළි වෙනවා. රහසිගතව තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම හැමෝටම දැනගන්න ලැබෙනවා.+ 27  මං ඔයාලට අඳුරේදී කියන දේවල් ඔයාලා මහ දවාලේ කියන්න. මං ඔයාලට රහසින් කියන දේවල් ඔයාලා වහලෙට නැඟලා හැමෝටම ඇහෙන්න දේශනා කරන්න.+ 28  ඔයාලව* මරලා දැම්මත් අනාගතයේදී ඔයාලට ලැබෙන්න යන ජීවිතය උදුරගන්න බැරි අයට බය වෙන්න එපා.+ ඒත් ඔයාලව ගෙහෙන්නාවට* නියම කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් තැනැත්තාට විතරක් බය වෙන්න.+ 29  ගේකුරුල්ලන් දෙන්නෙක්ව විකුණන්නේ හරිම අඩු වටිනාකමක් තියෙන කාසියකට* නේද? ඒත් උන්ගෙන් එකෙක් හරි බිමට වැටුණත් ඒ ගැන ඔයාලාගේ පියාණන් දන්නවා.+ 30  ඔයාලා ගැන කියන්න පුළුවන් මොනවාද? දෙවියන් ඔයාලාගේ හැම කෙස්ගහක්ම ගණන් කරලයි තියෙන්නේ. 31  ඒ නිසා බය වෙන්න එපා. ඔයාලා ගේකුරුල්ලන් හුඟදෙනෙක්ට වඩා ගොඩක් වටිනවා.+ 32  “මාව පිළිගන්නවා කියලා කෙනෙක් අනිත් අය ඉස්සරහා කියනවා නම්+ ස්වර්ගයේ ඉන්න මගේ පියාණන් ඉස්සරහා මමත් ඒ කෙනාව පිළිගන්නවා කියලා කියනවා.+ 33  ඒත් කෙනෙක් අනිත් අය ඉස්සරහා මාව ප්‍රතික්ෂේප කරනවා නම් ස්වර්ගයේ ඉන්න මගේ පියාණන් ඉස්සරහා මමත් ඒ කෙනාව ප්‍රතික්ෂේප කරනවා.+ 34  මං ආවේ මේ ලෝකෙට සාමය ගේන්න කියලා හිතන්න එපා. මං ආවේ කඩුවක් දෙන්න* මිසක් සාමය ගේන්න නෙමෙයි.+ 35  මං ආවේ පුතෙක්ව එයාගේ තාත්තා එක්කත් දුවෙක්ව එයාගේ අම්මා එක්කත් ලේළිව එයාගේ නැන්දම්මා එක්කත් භේද කරන්නයි.+ 36  ඇත්තටම, කෙනෙක්ගේ සතුරන් වෙන්නේ එයාගෙම පවුලේ අයයි. 37  කෙනෙක් මට වඩා එයාගේ අම්මාට හරි තාත්තාට හරි ආදරේ කරනවා නම් එයා මගේ ගෝලයෙක් වෙන්න සුදුසු නැහැ. මට වඩා පුතාට හරි දුවට හරි ආදරේ කරන කෙනාත් මගේ ගෝලයෙක් වෙන්න සුදුසු නැහැ.+ 38  කෙනෙක් එයාගේ වධකණුව* භාරගෙන මගේ පිටිපස්සෙන් එන්නේ නැත්නම් ඒ කෙනාත් මගේ ගෝලයෙක් වෙන්න සුදුසු නැහැ.+ 39  තමන්ගේ ජීවිතේ බේරගන්න උත්සාහ කරන කෙනාට ඒක නැති වෙයි. ඒත් මං නිසා තමන්ගේ ජීවිතේ නැති වුණ කෙනාට ඒක ආපහු ලැබෙයි.+ 40  “ඔයාලව පිළිගන්න කෙනා මාවත් පිළිගනියි. මාව පිළිගන්න කෙනා මාව එවපු තැනැත්තාවත් පිළිගනියි.+ 41  කෙනෙක් අනාගතවක්තෘවරයෙක් වන නිසාම මිනිසෙක් එයාව පිළි අරන් එයාට හොඳින් සැලකුවොත් අනාගතවක්තෘවරයෙක්ට ලැබෙන තෑග්ග ඒ මිනිසාටත් ලැබෙයි.+ කෙනෙක් ධර්මිෂ්ඨ කෙනෙක් වන නිසාම මිනිසෙක් එයාව පිළි අරන් එයාට හොඳින් සැලකුවොත් ධර්මිෂ්ඨ කෙනෙක්ට ලැබෙන තෑග්ග එයාටත් ලැබෙයි. 42  මගේ ගෝලයන් වන නිසාම මේ කුඩා අයගෙන් එක් කෙනෙක්ට හරි මිනිසෙක් බොන්න වතුර කෝප්පයක් දුන්නොත් ඇත්තටම මං කියන්නේ, ඒ මිනිසාට ලැබෙන්න ඕනෙ තෑග්ග එයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා.”+

පාදසටහන්

හෝ, “යවනු ලැබූ අය.”
සමහර පරිවර්තනවල කියන්නේ “කානා ඉඳන් එන කෙනෙක්” කියලා. හැබැයි මුල් භාෂාවෙන් එතන පාවිච්චි කරපු වචනයේ තේරුම “උද්‍යෝගයෙන් වැඩ කරපු කෙනෙක්” කියලා හිතන්න පුළුවන්.
මූ.අ., “පසුම්බිවලට දාගන්න රන්, රිදී සහ තඹ රැස් කරගන්න එපා.”
මූ.අ., “ඇඳුම් දෙකක්වත්.”
එහෙම කළේ තමන් වගකීමෙන් නිදහස් කියලා පෙන්නන්නයි.
හෝ, “මගේ නම දරන නිසා.”
හෝ, “ගෝලයෙක්.”
භූතයන්ගේ පාලකයා සහ නායකයා වන සාතන්ට කියන තවත් නමක්.
මූ.අ., “ඔයාලාගේ ශරීර.”
මූ.අ., “අසේරියන් කාසියකට.” උප. B14 බලන්න.
ඒ කියන්නේ භේදයක් ඇති කරන්න.