මතෙව් 11:1-30

  • යොහන් බව්තීස්තව අගය කරයි (1-15)

  • මුරණ්ඩු පරම්පරාව හෙළා දකියි (16-24)

  • නිහතමානී අයට ආශීර්වාද කරන එක ගැන යේසුස් තමන්ගේ තාත්තාට ප්‍රශංසා කරයි (25-27)

  • යේසුස්ගේ වියගහ නිසා සහනයක් ලැබෙනවා (28-30)

11  යේසුස් ඔහුගේ ගෝලයන් 12දෙනාට ඒ මඟ පෙන්වීම් දුන්නාට පස්සේ අවට නගරවල උගන්වන්නත් දේශනා කරන්නත් පිටත් වෙලා ගියා.+  ක්‍රිස්තුස් කරපු දේවල් ගැන හිරගෙදර හිටිය යොහන්ට ආරංචි වුණා.+ ඉතින් යොහන් එයාගේ ගෝලයන්ට+ කිව්වා ගිහින්  යේසුස්ගෙන් මෙහෙම අහන්න කියලා. “පැමිණෙන්න නියමිත කෙනා ඔයාද? නැත්නම් අපි වෙන කෙනෙක් එන කල් බලන් ඉන්න ඕනෙද?”+  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලට අහන්න දකින්න ලැබෙන මේ දේවල් ගැන ගිහින් යොහන්ට කියන්න.+  අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර අය ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්‍ර කරනවා. බිහිරි අයට ඇහෙනවා. මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා. දුප්පත් අයට ශුභාරංචිය ප්‍රකාශ කරනවා.+  මං නිසා පය පැටලිලා වැටෙන්නේ නැති කෙනා* සන්තෝෂවත්.”+  යොහන්ගේ ගෝලයන් පිටත් වෙලා ගියාට පස්සේ යේසුස් එතන හිටිය සෙනඟට යොහන් ගැන මෙහෙම කිව්වා. “ඔයාලා පාළුකරයට ගියේ මොනවා බලන්නද?+ හුළඟට එහා මෙහා වැනෙන බට ගහක් බලන්නද?+  ඔයාලා ගියේ කාව බලන්නද? වටිනා ඇඳුම් ඇඳගෙන ඉන්න කෙනෙක්ව බලන්නද? වටිනා ඇඳුම් අඳින අය ඉන්නේ රජමාලිගාවල නේද?  ඇත්තටම ඔයාලා ගියේ ඇයි? අනාගතවක්තෘවරයෙක්ව බලන්නද? ඔව්. ඒත් මං ඔයාලට කියන්නේ, එයා අනාගතවක්තෘවරයෙක්ටත් වඩා උතුම් කෙනෙක් කියලයි.+ 10  මෙහෙම ලියලා තියෙන්නේ එයා ගැනයි. ‘බලන්න! මම මගේ පණිවිඩකරුව ඔබට ඉදිරියෙන් යවනවා. ඔහු ඔබට කලින් ගිහින් ඔබේ මඟ සූදානම් කරයි.’+ 11  ඇත්තටම මං ඔයාලට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් ඉපදුණ අය අතරින් යොහන් බව්තීස්ත තරම් උතුම් කෙනෙක් ඉපදිලා නැහැ. ඒත් ස්වර්ග රාජ්‍යයේ ඉන්න සුළු කෙනෙක් වුණත් එයාට වඩා උතුම්.+ 12  යොහන් බව්තීස්ත එයාගේ සේවය පටන්ගත්ත දවසේ ඉඳන් මේ වෙන කල් මිනිස්සු ලොකු උත්සාහයක් දරන්නේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නයි. ඇත්තටම ඒ වගේ උත්සාහයක් දරන අයට ඒකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා.+ 13  මොකද යොහන් එන කල්,+ වෙන්න යන දේ ගැන අනාගතවක්තෘවරුන් වගේම නීතියෙත් කලින්ම කියලා තිබුණා. 14  ඔයාලා පිළිගන්න කැමති වුණත් නැතත්, එයා තමයි ‘පැමිණෙන්න නියමිත එලියා.’+ 15  ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.* 16  “දැන් ඉන්න මේ පරම්පරාව සමාන කරන්න පුළුවන් කාටද?+ එයාලා හරියට වෙළඳපොළවල්වල ඉඳගෙන ඉන්න පොඩි ළමයි වගේ. එයාලා එක්ක එකට සෙල්ලම් කරන යාළුවන්ට එයාලා කෑගහලා 17  මෙහෙම කියනවා. ‘අපි ඔයාලට ඇහෙන්න බටනළාව පිම්බා. හැබැයි ඔයාලා නැටුවේ නැහැ. අපි කෑගහලා ඇඬුවා. හැබැයි ඔයාලා අඬඅඬ පපුවට ගහගත්තේ නැහැ.’ 18  මේ පරම්පරාවත් ඒ වගේ. යොහන් අනිත් අය වගේ කෑවේ බිව්වේ නැහැ. ඒත් ‘එයාට භූතයෙක් වැහිලා’ කියලා මිනිස්සු කියනවා. 19  මනුෂ්‍ය පුත්‍රයා අනිත් අය වගේ සාමාන්‍ය විදිහට කනවා බොනවා.+ ඒත් මිනිස්සු එයා ගැන මෙහෙම කියනවා. ‘බලන්න අර මනුස්සයා දිහා. එයා කෑදරයෙක්. හැම වෙලේම වයින් බොනවා. එයාගේ යාළුවෝ බදු එකතු කරන අය! පව්කාරයෝ!’+ ඒත් ප්‍රඥාවන්ත කෙනෙක් කරන දේවලින් එයා ධර්මිෂ්ඨයි* කියලා ඔප්පු වෙනවා.”*+ 20  ඊටපස්සේ යේසුස් තමන් වැඩියෙන්ම බලවත් ක්‍රියා කරපු නගරවල අයව හෙළා දැක්කා. ඔහු එහෙම කළේ ඒ අය එයාලාගේ වැරදි ගැන පසුතැවිලි වුණේ නැති නිසයි. ඔහු මෙහෙම කිව්වා. 21  “කොරාසීන නගරේ වැසියෙනි, බෙත්සයිදා නගරේ වැසියෙනි, ඔයාලට මොන තරම් දුක් වෙන්න වෙයිද! මොකද ඔයාලා ඉස්සරහා කරපු බලවත් දේවල් තීර් සහ සීදොන් නගරවල කළා නම් එහේ ඉන්න අය ගෝණි රෙදි ඇඳගෙන, අළු ගොඩේ ඉඳගෙන පසුතැවිලි වෙන්නේ මීට හුඟ කාලෙකට කලිනුයි.+ 22  ඒ නිසා මං ඔයාලට කියන්නේ, විනිශ්චය දවසේදී තීර් සහ සීදොන් නගරවලට ලැබෙන දඬුවමට වඩා දරුණු දඬුවමක් ඔයාලට ලැබෙයි.+ 23  කපර්ණවුම නගරේ වැසියෙනි,+ ඔයාලව ස්වර්ගය වෙන කල් උසස් කරයි කියලා හිතුවාද? නැහැ, ඔයාලව මිනී වළටම පහත් කරනවා.+ මොකද ඔයාලාගේ නගරේ කරපු බලවත් දේවල් සොදොම්වල කළා නම් අදටත් ඒ නගරේ තියෙනවා. 24  ඒත් මං ඔයාලට කියන්නේ, විනිශ්චය දවසේදී සොදොම් නගරෙට ලැබෙන දඬුවමට වඩා දරුණු දඬුවමක් ඔයාලට ලැබෙයි.”+ 25  ඒ වෙලාවේ යේසුස් මෙහෙමත් කිව්වා. “පියාණෙනි, ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් වන ඔබට මම හැමෝම ඉස්සරහා ප්‍රශංසා කරනවා. මොකද ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමත් අයගෙන් හංගලා පොඩි දරුවන් වගේ අයට හෙළි කළා.+ 26  පියාණෙනි, එහෙම වුණේ ඔබේ කැමැත්තට එකඟවයි. 27  මගේ පියාණන් හැම දේම මට භාර දීලා තියෙනවා.+ පුතාව හොඳින්ම හඳුනන්නේ පියාණන් විතරයි.+ ඔහු තරම් හොඳට පුතාව හඳුනන වෙන කිසි කෙනෙක් නැහැ. ඒ වගේම පියාණන්ව හොඳින්ම හඳුනන්නෙත් පුතා විතරයි. කෙනෙක් පියාණන්ව හඳුනගන්නවාට පුතා කැමති නම් පුතා ඒ කෙනාටත් පියාණන් ගැන හෙළි කරනවා.+ 28  දරාගන්න බැරි බරකින් පීඩා විඳින, වෙහෙසට පත් වෙලා ඉන්න හැමෝම, මං ළඟට එන්න. මම ඔයාලාගේ වෙහෙස නිවලා ඔයාලට අලුත් පණක් දෙන්නම්. 29  මම හරිම කරුණාවන්ත,* යටහත්පහත් කෙනෙක්.+ ඒ නිසා මම ඔයාලා පිට තියන වියගහ පිළි අරන් මගෙන් ඉගෙනගන්න. එතකොට ඔයාලට ලොකු සහනයක් ලැබෙයි. 30  මොකද මං ඔයාලා පිට තියන වියගහ දරාගන්න පහසුයි. මං ඔයාලට උස්සගෙන යන්න දෙන බරත් සැහැල්ලුයි.”

පාදසටහන්

හෝ, “මං නිසා විශ්වාසය නැති කරගන්නේ නැති කෙනා.”
මූ.අ., “කන් තියෙන අය ඇහුම්කන් දෙන්න.”
හෝ, “නිර්දෝෂයි.”
මූ.අ., “ප්‍රඥාව ධර්මිෂ්ඨයි කියලා ඇගේ ක්‍රියාවලින් ඔප්පු වෙනවා.”
හෝ, “මෘදු.”