මතෙව් 12:1-50

  • යේසුස් “සබත් දවසේ ස්වාමියා” (1-8)

  • අතක් පණ නැති මිනිසෙක්ව සුව කරයි (9-14)

  • දෙවියන් තෝරගත්ත ආදරණීය සේවකයා (15-21)

  • දෙවියන්ගේ බලයෙන් භූතයන්ව එළවයි (22-30)

  • සමාව ලැබෙන්නේ නැති වරද (31, 32)

  • ගහ මොන වගේද කියලා පලවලින් දැනගන්න පුළුවන් (33-37)

  • යෝනාගේ ලකුණ (38-42)

  • භූතයෙක් හිටපු තැනටම ආපහු එයි (43-45)

  • යේසුස්ගේ අම්මා සහ මල්ලිලා (46-50)

12  ඒ කාලේම සබත් දවසකදී, යේසුස් ධාන්‍ය කෙත් මැදින් ඇවිදගෙන ගියා. ඒ වෙලාවේ ඔහු එක්ක හිටපු ඔහුගේ ගෝලයන්ට බඩගින්නක් දැනිලා ධාන්‍ය කරල් කීපයක් කඩාගෙන කන්න පටන්ගත්තා.+  ඒක දැකලා පරිසිවරු යේසුස්ට මෙහෙම කිව්වා. “අර බලන්න! ඔයාගේ ගෝලයෝ සබත් දවසේ කරන්න අවසර නැති දෙයක් කරනවා.”+  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “දාවිත්ටයි, එයාත් එක්ක හිටපු මිනිස්සුන්ටයි බඩගිනි වුණාම දාවිත් මොනවාද කළේ කියලා ඔයාලා කියවලා නැද්ද?+  දාවිත් දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙලා එයා එක්ක හිටපු අයත් එක්ක ශුද්ධ රොටි* කෑවා කියලා+ ඔයාලට මතක නැද්ද? එයාලා කළේ අවසර නැති දෙයක්. ඒවා කන්න අවසර තිබුණේ පූජකයන්ට විතරයි.+  දේවමාලිගාවේ පූජකයන් සබත් දවසෙත් වැඩ කරනවා. එහෙම කළාට එයාලව නීතිය කඩ කරන අය විදිහට ගණන් ගන්නේ නැහැ. ඒ ගැන නීතියේ තියෙන දේ ඔයාලා කියවලා නැද්ද?+  ඒත් මං ඔයාලට කියන්නේ, දේවමාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහේ ඉන්නවා.+  ‘මට වටින්නේ දයාව+ මිසක් පූජාවන් නෙමෙයි’+ කියන කියමනේ නියම අර්ථය තේරුම් අරන් හිටියා නම් ඔයාලා නිදොස් අයට වැරදිකරුවන් කියලා කියන්නේ නැහැ.  මොකද සබත් දවසේ ස්වාමියා මනුෂ්‍ය පුත්‍රයායි.”+  ඔහු එතනින් පිටත් වෙලා එයාලාගේ සිනගෝගයට ඇතුල් වුණා. 10  අතක් පණ නැති* මිනිසෙක් එතන හිටියා.+ එතකොට සමහරු යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “නීතියේ කියන විදිහට සබත් දවසේදී සුව කරන එක හරිද වැරදිද?” එයාලා එහෙම ඇහුවේ ඔහුට විරුද්ධව චෝදනා කරන්න හේතුවක් හොයාගන්නයි.+ 11  ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලට ඉන්නේ එක බැටළුවෙක් නම්, ඒ බැටළුවා සබත් දවසේදී වළකට වැටුණොත් ඔයාලාගෙන් එක් කෙනෙක්වත් ඌව බේරගන්නේ නැතුව ඉන්නවාද?+ 12  බැටළුවෙක්ට වඩා මනුස්සයෙක් කොච්චර වටිනවාද! ඒ නිසා සබත් දවසේදී හොඳ දෙයක් කරන එකේ කිසිම වරදක් නැහැ.” 13  ඊටපස්සේ ඔහු ඒ කෙනාට කිව්වා “ඔයාගේ අත දික් කරන්න” කියලා. එයා අත දික් කළාම ඒ අත සුව වෙලා අනිත් අත වගේම වුණා. 14  ඒත් පරිසිවරු එතනින් පිටත් වෙලා ගිහින් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කළා. 15  ඒක දැනගත්තාම යේසුස් එතනින් යන්න ගියා. එතන හිටපු හුඟදෙනෙකුත් ඔහු පිටිපස්සෙන් ගියා.+ ඔහු ඒ හැමෝවම සුව කළා. 16  ඒත් තමන් කවුද කියලා කියන්න එපා කියලා යේසුස් එයාලට තදින්ම කිව්වා.+ 17  එහෙම වුණේ අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වෙන්නයි. 18  “මෙන්න! මං තෝරගත්ත මගේ ආදරණීය සේවකයා!+ ඔහු ගැන මම ගොඩක් සතුටු වෙනවා.+ මගේ බලය මම ඔහුට දෙනවා.+ යුක්තිය කියන්නේ මොකක්ද කියලා ඔහු ජාතීන්ට කියලා දෙයි. 19  ඔහු රණ්ඩු කරන්නෙවත්+ කෑගහන්නෙවත් නැහැ. ප්‍රධාන වීථිවල කාටවත් ඔහුගේ හඬ ඇහෙන්නෙත් නැහැ. 20  ඔහු යුක්තිය සම්පූර්ණයෙන්ම ඉටු කරන කල් තැළුණු බට ගහක් පොඩි කරන්නෙවත් නිවීගෙන යන පහන් තිරයක් නිවලා දාන්නෙවත් නැහැ.+ 21  ඇත්තෙන්ම ජාතීන් බලාපොරොත්තු තියන්නේ ඔහුගේ නම මතයි.”+ 22  පිරිසක් භූතයෙක් වැහුණු, අන්ධ, ගොළු කෙනෙක්ව යේසුස් ළඟට අරන් ආවා. යේසුස් එයාව සුව කළා. ඊටපස්සේ ඒ ගොළු මිනිසා කතා කරන්න පටන්ගත්තා. එයාට පෙනීමත් ලැබුණා. 23  එතන හිටපු සෙනඟ ගොඩක් පුදුම වෙලා “මේ දාවිත්ගේ පුතා වෙන්න බැරිද” කියලා එකිනෙකා අතරේ කතා වුණා. 24  ඒක ඇහුණාම පරිසිවරු මෙහෙම කිව්වා. “මේ මිනිහා භූතයන් එළවන්නේ භූතයන්ගේ නායකයා වන බෙල්සෙබුබ්ගේ* උදව්වෙන්. එහෙම නැතුව නම් එයාට මේවා කරන්න බැහැ.”+ 25  එයාලාගේ හිතේ තියෙන දේ දැනගෙන හිටපු නිසා යේසුස් එයාලට මෙහෙම කිව්වා. “රාජ්‍යයක් ඇතුළේ භේද තියෙනවා නම් ඒ රාජ්‍යය නැති වෙලා යයි. ඒ වගේම නගරයක නැත්නම් පවුලක ඉන්න අය අතරේ භේද තියෙනවා නම් ඒ නගරේ නැත්නම් පවුල වැඩි කල් පවතින්නේ නැහැ. 26  ඒ වගේ, සාතන් එයාටම විරුද්ධව වැඩ කරලා එයාගෙම භූතයන්ව* එළවනවා නම් ඒක හරියට එයාගේ රාජ්‍යයේ භේද ඇති කරනවා වගේ. එතකොට එයාගේ රාජ්‍යය දිගටම තියෙන්නේ කොහොමද? 27  අනිත් එක, මං භූතයන්ව එළවන්නේ බෙල්සෙබුබ්ගේ උදව්වෙන් නම් ඔයාලාගේ අනුගාමිකයන් භූතයන්ව එළවන්නේ කාගේ උදව්වෙන්ද? ඔයාලා කියන දේ වැරදියි කියලා ඔයාලාගෙම අනුගාමිකයන් පෙන්නලා දෙයි. 28  ඒත් මං භූතයන්ව එළවන්නේ දෙවියන්ගේ බලයෙන් නම් දෙවියන්ගේ රාජ්‍යය ඔයාලා ළඟටම ඇවිත් කියලා දැනගන්න. ඒත් ඔයාලා ඒක තේරුම් අරන් නැහැ.+ 29  ඇඟේපතේ හොඳට හයිය තියෙන කෙනෙක්ගේ ගෙදරින් බඩු හොරකම් කරන්න කෙනෙක් ආවා කියලා හිතන්න. ගෙදර ඉන්න කෙනාගේ අත පය බඳින්නේ නැතුව ඒ හොරකම කරන්න පුළුවන්ද? එහෙම කළොත් තමයි එයාට හොරකම කරන්න පුළුවන් වෙන්නේ. 30  කෙනෙක් මගේ පැත්තේ නෙමෙයි නම් එයා වැඩ කරන්නේ මට විරුද්ධවයි. කෙනෙක් මාත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ව රැස් කරන්නේ නැත්නම් එයා කරන්නේ මගෙන් මිනිස්සුන්ව ඈත් කරන එකයි.+ 31  “ඒ නිසා මං ඔයාලට කියන මේ දේ මතක තියාගන්න. මිනිස්සු කරන ඕනෙම වරදකට, ඕනෙම අපහාසයකට සමාව ලැබෙනවා. ඒත් කෙනෙක් දෙවියන්ගේ බලය වැඩ කරන විදිහ දැකදැකත් ඒකට අපහාස කරනවා නම් ඒ වරදට සමාව ලැබෙන්නේ නැහැ.+ 32  උදාහරණෙකට කෙනෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව කතා කළොත් ඒ කෙනාට සමාව ලැබෙයි.+ ඒත් කෙනෙක් දෙවියන්ගේ බලයට විරුද්ධව කතා කරනවා නම්* මේ කාලයේදීවත්* පැමිණෙන්න නියමිත කාලයේදීවත් ඒ කෙනාට සමාව ලැබෙන්නේ නැහැ.+ 33  “ඔයාලට පුළුවන් හොඳ පල දරන හොඳ ගහක් හිටවන්න. එහෙම නැත්නම් නරක පල දරන නරක ගහක් හිටවන්න. ගහක් හොඳද නැද්ද කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ ඒකේ පලවලිනුයි.+ 34  පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි,+ දුෂ්ට දේවල් කරන ඔයාලා කොහොමද හොඳ දේවල් කතා කරන්නේ? කෙනෙක්ගේ කටින් පිට වෙන්නේ එයාගේ හිතේ පිරිලා තියෙන දේවල්.+ 35  යහපත් කෙනෙක් එයාගේ හිතේ පුරවගෙන ඉන්නේ යහපත් දේවල්. ඒ නිසා එයා කතා කරන්නේ යහපත් දේවල්. ඒත් දුෂ්ට කෙනෙක් දුෂ්ට දේවල් හිතේ පුරවගෙන ඉන්න නිසා එයා කතා කරන්නේ දුෂ්ට දේවල්.+ 36  ඉතින් මං ඔයාලට කියන්නේ මිනිස්සු කියන වැඩකට නැති හැම දෙයක් ගැනම විනිශ්චය දවසේදී එයාලට දෙවියන්ට වග කියන්න වෙනවා.+ 37  මොකද ඔයාලා කතා කරන දේවල්වලට අනුව ඔහු ඔයාලව ධර්මිෂ්ඨයන් විදිහට හරි වරදකරුවන් විදිහට හරි විනිශ්චය කරයි.” 38  එතකොට නීතිය පිටපත් කරන අය සහ පරිසිවරුන් කීපදෙනෙක් මෙහෙම කිව්වා. “ගුරුතුමනි, ආශ්චර්යයක් කරලා අපිට ලකුණක් පෙන්නන්න.+ එතකොට අපි ඔබව පිළිගන්නවා.” 39  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “දෙවියන්ට ද්‍රෝහි වෙන, දුෂ්ට පරම්පරාවක් දිගින් දිගටම ලකුණක් හොයනවා. ඒත් අනාගතවක්තෘ යෝනාගේ ලකුණ හැර වෙන කිසිම ලකුණක් එයාලට දෙන්නේ නැහැ.+ 40  යෝනා විශාල මාළුවාගේ බඩේ රෑ දවල් දෙකේම දවස් තුනක් හිටියා.+ ඒ වගේ මනුෂ්‍ය පුත්‍රයාත් පොළෝගැබේ රෑ දවල් දෙකේම දවස් තුනක් ඉන්න යනවා.+ 41  විනිශ්චය දවසේදී මේ පරම්පරාවේ අය එක්ක නිනිවය නුවරේ අයත් නැවත නැඟිටිද්දී, මේ පරම්පරාව මොන තරම් දුෂ්ටද කියලා එයාලා කියයි. මොකද ඒ නුවරේ ඉන්න අය යෝනා දේශනා කළාට පස්සේ පසුතැවිලි වුණා.+ ඒත් බලන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙතන ඉන්නවා.+ 42  විනිශ්චය දවසේදී මේ පරම්පරාවට අයිති මිනිස්සු එක්ක දකුණු දිශාවේ රැජිනවත් නැවත නැඟිට්ටවද්දී, මේ පරම්පරාව කොයි තරම් දුෂ්ටද කියලා එයා කියයි. මොකද සලමොන්ගේ ප්‍රඥාව ගැන දැනගන්න එයා ආවේ පොළොවේ ඈත කෙළවරක ඉඳලයි.+ ඒත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙතන ඉන්නවා.+ 43  “භූතයෙක් මිනිසෙක්ගෙන් පිට වෙලා නවාතැනක් හොයහොය වියළි දේශවල සැරිසැරුවත් ඒ භූතයාට ඉන්න තැනක් හම්බ වෙන්නේ නැහැ.+ 44  එතකොට ඒ භූතයා ‘මං කලින් හිටිය ගෙට ආයෙත් යනවා’ කියලා කියනවා. භූතයා එතනට ආවාම එහේ කවුරුත් නැහැ කියලා දකිනවා. ඒත් ඒක අතුගාලා, සුද්ද කරලා, ලස්සනට සරසලා තියෙනවා. 45  ඒ නිසා භූතයා ගිහින් තමන්ට වඩා දුෂ්ට භූතයෝ හත්දෙනෙක්ව එක්කගෙන ඇවිත් ඒක ඇතුළට ගිහින් ජීවත් වෙයි. එතකොට ඒ මිනිසා කලින් හිටියාට වඩා දරුණු තත්වයකට වැටෙයි.+ මේ දුෂ්ට පරම්පරාවට වෙන්නෙත් ඒ දේමයි.” 46  යේසුස් සෙනඟට කතා කරකර ඉද්දී ඔහුගේ අම්මායි, මල්ලිලයි+ ඔහු එක්ක කතා කරන්න බලාගෙන එළියට වෙලා හිටියා.+ 47  ඉතින් එක් කෙනෙක් ඇවිල්ලා මෙහෙම කිව්වා. “ඔයාගේ අම්මායි, මල්ලිලයි එළියේ ඉන්නවා. එයාලට ඔයා එක්ක කතා කරන්න ඕනෙලු.” 48  ඔහු ඒ කෙනාගෙන් මෙහෙම ඇහුවා. “මගේ අම්මායි, මගේ මල්ලිලයි කවුද කියලා දන්නවාද?” 49  ඊටපස්සේ ඔහු තමන්ගේ ගෝලයන්ව පෙන්නලා මෙහෙම කිව්වා. “මෙන්න, මේගොල්ලෝ තමයි මගේ අම්මලා, මගේ අයියලා, මල්ලිලා!+ 50  මොකද ස්වර්ගයේ ඉන්න මගේ පියාණන්ගේ කැමැත්ත කරන අය තමයි මගේ පවුලේ අය.”*+

පාදසටහන්

හෝ, “දෙවියන්ට පූජා කරන රොටි.”
මූ.අ., “වියළුණ අතක් තියෙන.”
සාතන්ට කියන තවත් නමක්.
මූ.අ., “සාතන්වම.”
හෝ, “දෙවියන්ගේ බලය වැඩ කරන විදිහ දැකදැකත් ඒකට විරුද්ධව කතා කරනවා නම්.”
මූ.අ., “මේ සමාජයේදීවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “මම මගේ අයියා, මල්ලි, අක්කා, නංගි, අම්මා විදිහට සලකන්නේ.”