මතෙව් 13:1-58

  • රාජ්‍යය ගැන දීපු උදාහරණ (1-52)

    • වපුරන්නා (1-9)

    • යේසුස් උදාහරණ පාවිච්චි කරපු හේතුව (10-17)

    • වපුරන්නාගේ උදාහරණය පැහැදිලි කරයි (18-23)

    • තිරිඟු සහ කිරිඳි (24-30)

    • අබ ඇටය සහ මුහුන් (31-33)

    • උදාහරණ පාවිච්චි කරපු එකෙන් අනාවැකියක් ඉටු වෙයි (34, 35)

    • තිරිඟු සහ කිරිඳි ගැන උදාහරණය පැහැදිලි කරයි (36-43)

    • හංගපු වස්තුව සහ වටිනා මුතු ඇටය (44-46)

    • මාදැල (47-50)

    • වස්තු ගබඩාවේ තියෙන අලුත් සහ පරණ දේවල් (51, 52)

  • යේසුස්ගේ ගමේම අය ඔහුව ප්‍රතික්ෂේප කරයි (53-58)

13  එදා යේසුස් තමන් නැවතිලා හිටිය ගෙදරින් පිටත් වෙලා ගලීල මුහුද ළඟට ගිහින් ඉඳගෙන හිටියා.  ලොකු සෙනඟක් ඔහු වටේ එකතු වුණ නිසා ඔහු බෝට්ටුවකට නැඟලා ඉඳගත්තා. මුළු සෙනඟම හිටියේ වෙරළේ හිටගෙන.+  ඊටපස්සේ ඔහු උදාහරණ පාවිච්චි කරලා එයාලට ගොඩක් දේවල් ඉගැන්නුවා.+ ඔහු මෙහෙම කිව්වා. “මිනිසෙක් බීජ වපුරන්න පිටත් වෙලා ගියා.+  එයා වපුරද්දී සමහර බීජ පාර දිගේ වැටුණා. කුරුල්ලෝ ඇවිත් ඒවා කාලා දැම්මා.+  තවත් බීජ වැටුණේ පස් එච්චර නැති ගල් බිමක. ගැඹුරු පස් තට්ටුවක් තිබුණේ නැති නිසා ඒවා ඉක්මනින්ම පැළ වුණා.+  ඒත් හොඳට මුල් ඇදලා තිබුණේ නැති නිසා ඉර පෑව්වාට පස්සේ ඒවා අව්වට පිච්චිලා මැරිලා ගියා.  තවත් බීජ වැටුණේ කටු ගස් අතරේ. කටු ගස් වැවිලා ඒවා යට කරලා දැම්මා.+  තවත් බීජ සරු පසේ වැටුණා. ඒවා පැළ වෙලා පල දරන්න පටන්ගත්තා. සමහර බීජවලින් 100 ගුණයක, තව ඒවාවලින් 60 ගුණයක, තවත් බීජවලින් 30 ගුණයක පලදාවක් ලැබුණා.+  ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.”*+ 10  පස්සේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් “ඇයි ඔයා එයාලට උගන්වන්න උදාහරණ පාවිච්චි කරන්නේ” කියලා ඇහුවා.+ 11  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “ස්වර්ග රාජ්‍යය ගැන පරිශුද්ධ රහස් තේරුම්ගන්න හැකියාව ඔයාලට දීලා තියෙනවා.+ ඒත් එයාලට ඒ හැකියාව දීලා නැහැ. 12  මොකද තියෙන කෙනාට තවත් වැඩියෙන් ලබා දෙනවා. එයාට නොඅඩුව ඒ දේ ලබා දෙයි. ඒත් නැති කෙනාගෙන් තියෙන දේත් උදුරලා ගනියි.+ 13  එයාලා කොච්චර බැලුවත් එයාලට පේන්නේ නැහැ. කොච්චර ඇහුණත් වැඩක් නැහැ. මොකද ඒකේ නියම අර්ථය එයාලට තේරෙන්නේ නැහැ.+ මම එයාලට උදාහරණ පාවිච්චි කරලා කතා කරන්නේ ඒ නිසයි. 14  යෙසායා මේ අනාවැකිය කිව්වේ ඒ අය ගැනයි. ‘ඔබට ඇහුණත් ඔබ ඒකේ නියම අර්ථය තේරුම්ගන්නේ නැහැ. ඔබ බැලුවත් කිසි දෙයක් ඔබට පේන්නේ නැහැ.+ 15  මොකද මේ සෙනඟ ඔවුන්ගේ හිත් මුරණ්ඩු කරගෙන. ඔවුන්ගේ කන්වලට ඇහුණත් ඔවුන් අවධානය දෙන්නේ නැහැ. කිසිම දෙයක් අහන්න දකින්න කැමති නැති නිසා ඔවුන් ඇස් කන් වහගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන් අහන දකින දේවල්වල නියම අර්ථය තේරුම්ගන්නෙවත් හැරිලා ඇවිත් මගෙන් සුවය ලබන්නෙවත් නැහැ.’+ 16  “ඒත් ඔයාලාගේ ඇස්වලට පේන නිසාත් ඔයාලාගේ කන්වලට ඇහෙන නිසාත් ඔයාලා සන්තෝෂවත්.+ 17  මොකද ඇත්තටම මං ඔයාලට කියන්නේ, හුඟක් අනාගතවක්තෘවරුන් සහ ධර්මිෂ්ඨ අය ඔයාලා දකින දේවල් දකින්නත් ඔයාලා අහන දේවල් අහන්නත් ලොකු ආසාවකින් හිටියා. ඒත් එයාලට ඒ දේවල් අහන්න දකින්න ලැබුණේ නැහැ.+ 18  “දැන් වපුරන්නාගේ කතාවේ තේරුම අහගන්න.+ 19  පාර දිගේ වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි.+ කෙනෙක් රාජ්‍යය ගැන පණිවිඩය ඇහුවත් ඒකේ නියම අර්ථය තේරුම්ගන්නේ නැත්නම් දුෂ්ටයා+ ඇවිත් ඒ කෙනාගේ හිතේ වපුරලා තියෙන ඒ දේ උදුරගන්නවා. 20  ගල් බිම්වල වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩය අහපු ගමන්ම ඒක හරිම සතුටින් පිළිගන්නවා.+ 21  ඒත් ඒ පණිවිඩය එයාගේ හිතේ මුල් බැහැලා නැති නිසා එයාගේ විශ්වාසය තියෙන්නේ ටික කාලෙකට විතරයි. පණිවිඩය පිළිගත්ත නිසා පීඩාවකට නැත්නම් විරුද්ධවාදිකමකට මුහුණ දෙන්න වුණ ගමන්ම එයාගේ විශ්වාසය නැති වෙලා යනවා.* 22  කටු ගස් අතරේ වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩය අහනවා. ඒත් මේ සමාජයේ* ජීවත් වෙද්දී එදිනෙදා ඇති වෙන කනස්සල්ල+ වගේම හුඟදෙනෙක්ව නොමඟ යවන සල්ලි හම්බ කරන්න තියෙන ආසාව* ඒ කෙනාගේ හිතට රිංගලා පණිවිඩය යටපත් කරනවා. ඒ නිසා එයා පල දරන්නේ නැහැ.+ 23  සරු පසේ වපුරපු බීජවලට වුණ දෙයින් අදහස් කරන්නේ මේකයි. කෙනෙක් පණිවිඩයට ඇහුම්කන් දීලා ඒක සතුටින් පිළිගන්නවා. එයා ඒකේ නියම අර්ථය තේරුම් අරන් හොඳින් පල දරනවා. ඒ අයගෙන් සමහරු 100 ගුණයක්, තවත් අය 60 ගුණයක්, තවත් සමහරු 30 ගුණයක් පල දරනවා.”+ 24  ඔහු එයාලට මේ උදාහරණයත් කිව්වා. “ස්වර්ග රාජ්‍යය හරියට තමන්ගේ කෙතේ හොඳ බීජ වපුරපු මිනිසෙක් වගේ. 25  මිනිස්සු නිදාගෙන ඉද්දී එයාගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි* වපුරලා ගියා. 26  තිරිඟු පැළ වැඩිලා පල දරන්න පටන්ගත්තාම කිරිඳිත් මතු වුණා. 27  ඉතින් එයාගේ දාසයන් ඇවිත් ‘ස්වාමීනි, ඔබේ කෙතේ ඔබ වැපුරුවේ හොඳ බීජ විතරයි නේද? එහෙනම් කොහොමද ඒකේ කිරිඳි තියෙන්නේ’ කියලා එයාගෙන් ඇහුවා. 28  ‘මේක කරලා තියෙන්නේ හතුරෙක්’+ කියලා එයා දාසයන්ට කිව්වා. එතකොට එයාලා ‘අපි ගිහින් කිරිඳි උදුරලා දාන්නද’ කියලා එයාගෙන් ඇහුවා. 29  එයා මෙහෙම කිව්වා. ‘එහෙම කරන්න එපා. මොකද එහෙම කළොත් කිරිඳි ගලවද්දී තිරිඟු පැළත් ගැලවිලා එන්න පුළුවන්. 30  අස්වැන්න කපන කාලය වෙන කල් ඒ දෙකටම එකට හැදෙන්න දෙන්න. එතකොට අස්වැන්න කපන කාලයේදී අස්වැන්න නෙළන අයට මං කියන්නම් ඉස්සෙල්ලාම කිරිඳි උදුරලා මිටි බඳින්න කියලා. එතකොට ඒවා පුච්චලා දාන්න පුළුවන්. ඊටපස්සේ තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න කියලා මං එයාලට කියන්නම්.’”+ 31  ඔහු එයාලට තවත් උදාහරණයක් කිව්වා. “ස්වර්ග රාජ්‍යය අබ ඇටයකට සමාන කරන්න පුළුවන්. එක මිනිසෙක් එයාගේ කෙතේ අබ ඇටයක් පැළ කළා.+ 32  ඒක අනිත් හැම බීජයකටම වඩා පුංචියි. ඒ වුණත් ඒක පැළ වෙලා හොඳට වැඩුණාම අනිත් හැම පලා ජාතියකටම වඩා ලොකු ගහක් වෙනවා. අහසේ කුරුල්ලන් ඇවිත් ඒකේ අතුවල කූඩු හදාගන්නවා.” 33  ඔහු එයාලට මේ උදාහරණයත් කිව්වා. “ස්ත්‍රියක් පිටි සෙයා මිනුම්* තුනක් අරන් ඒකට මුහුන් මිශ්‍ර කළා කියලා හිතන්න. මිශ්‍ර කරපු ඒ මුහුන් නිසා වැඩි වෙලාවක් යන්න කලින් ඒ මුළු පිටි පිඩම පිපුණා. ස්වර්ග රාජ්‍යයත් ඒ මුහුන්වලට සමානයි.”+ 34  යේසුස් ඒ හැම දේම සෙනඟට ඉගැන්නුවේ උදාහරණ පාවිච්චි කරලයි. උදාහරණ පාවිච්චි කරන්නේ නැතුව ඔහු එයාලට කතා කළේ නැහැ.+ 35  එහෙම වුණේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වෙන්නයි. “මම උදාහරණ පාවිච්චි කරලා ඔබට කතා කරන්නම්. මුල ඉඳන්ම* හංගලා තිබුණ දේවල් මම දැනුම් දෙන්නම්.”+ 36  සෙනඟව පිටත් කරලා හැරියාට පස්සේ යේසුස් ගේ ඇතුළට ගියා. එතකොට ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් “කෙතේ පැළ වුණ කිරිඳි ගැන කියපු උදාහරණේ තේරුම අපිට පැහැදිලි කරලා දෙන්න” කියලා කිව්වා. 37  ඔහු එයාලට මෙහෙම කිව්වා. “හොඳ බීජ වපුරන කෙනා, මනුෂ්‍ය පුත්‍රයායි. 38  කෙත කියන්නේ ලෝකෙට.+ හොඳ බීජ කියන්නේ රාජ්‍යයේ පුත්‍රයන්ට. කිරිඳි කියන්නේ දුෂ්ටයාගේ පුත්‍රයන්ට.+ 39  ඒවා වපුරපු සතුරා තමයි යක්ෂයා. අස්වැන්න කපන කාලයෙන් අදහස් වෙන්නේ සමාජ ක්‍රමයක* අවසානයයි. අස්වැන්න කපන අය කියන්නේ දේවදූතයන්ටයි. 40  කිරිඳි එකතු කරලා ඒවා ගින්නෙන් පුච්චලා දැම්මා ඔයාලට මතක ඇති. පවතින සමාජයේ* අවසාන කාලයේදීත් ඒ වගේ දෙයක් වෙනවා.+ 41  මනුෂ්‍ය පුත්‍රයා ඔහුගේ දූතයන්ව එවලා, අනිත් අයව වරදට පොලඹවන හැමෝවමත්* දිගටම දෙවියන්ගේ නීති කඩන අයවත් එකතු කරලා ඔහුගේ රාජ්‍යයෙන් එළියට දානවා. 42  ඊටපස්සේ එයාලව ගිනි උදුනට දානවා.+ එහෙදී අඬඅඬ දත්මිටි කකා ඉන්න එයාලට සිද්ධ වෙනවා. 43  ඒ කාලයේදී ධර්මිෂ්ඨ අය තමන්ගේ පියාණන්ගේ රාජ්‍යයේ සූර්යයා වගේ දීප්තියෙන් බැබළෙයි.+ මං කියන දේට ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න. 44  “ස්වර්ග රාජ්‍යය හරියට තණබිමක හංගලා තියෙන වස්තුවක් වගේ. ඒ වස්තුව මිනිසෙක්ට හම්බ වෙනවා. ඊටපස්සේ එයා ඒක ඒ තණබිමේම හංගනවා. එයා ඒ ගැන කොච්චර සතුටු වුණාද කියනවා නම් එයා ගිහින් එයාට තිබුණ හැම දේම විකුණලා ඒ තණබිම සල්ලිවලට ගන්නවා.+ 45  “ස්වර්ග රාජ්‍යය වටිනා මුතු හොයාගෙන ගිය සංචාරක වෙළෙන්දෙක් වගේ. 46  එයාට ලොකු වටිනාකමක් තියෙන මුතු ඇටයක් හම්බ වෙනවා. ඒක හම්බ වුණ ගමන්ම එයා ගිහින් එයාට අයිති හැම දෙයක්ම විකුණලා ඒක සල්ලිවලට ගන්නවා.+ 47  “ස්වර්ග රාජ්‍යය හරියට මුහුදට දාන මාදැලක් වගේ. ඒකට හැම වර්ගයකම මාළු අහු වෙනවා. 48  දැල පිරුණාම මාළු අල්ලන අය ඒක වෙරළට ඇද්දා. ඊටපස්සේ එයාලා ඉඳගෙන හොඳ මාළු+ භාජනවලට එකතු කරගත්තා. ඒත් කෑමට සුදුසු නැති මාළු+ එයාලා වීසි කරලා දැම්මා. 49  පවතින සමාජයේ* අවසාන කාලයේදීත් වෙන්නේ ඒ වගේ දෙයක්. දේවදූතයෝ ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කරලා, 50  එයාලව ගිනි උදුනට දායි. එහෙදී අඬඅඬ දත්මිටි කකා ඉන්න එයාලට සිද්ධ වෙනවා. 51  “ඔයාලට මේ හැම දේම හොඳට තේරුණාද” කියලා ඔහු ඇහුවාම එයාලා “ඔව්” කියලා කිව්වා. 52  එතකොට ඔහු මෙහෙම කිව්වා. “එහෙනම් මේක හිතේ තියාගන්න. ස්වර්ග රාජ්‍යය ගැන ඉගෙනගෙන ඒ ගැන අනිත් අයට උගන්වන* හැමෝම, තමන්ගේ වස්තු ගබඩාවෙන් අලුත් දේවලුත් පරණ දේවලුත් එළියට අරගන්න ගෙහිමියෙක්ට සමානයි.” 53  යේසුස් මේ උදාහරණ කිව්වාට පස්සේ එතනින් පිටත් වුණා. 54  ඊටපස්සේ ඔහු තමන්ගේ ගම් පළාතට ඇවිත්+ එහේ සිනගෝගයේදී සෙනඟට උගන්වන්න පටන්ගත්තා. ඔහු කියපු දේවල් අහලා එයාලා පුදුම වෙලා මෙහෙම කිව්වා. “මේ මනුස්සයාට කොහෙන්ද මෙච්චර ප්‍රඥාවක් ලැබුණේ? මේ වගේ ආශ්චර්යයන් කරන්න එයාට බලයක් ලැබුණේ කොහෙන්ද?+ 55  එයා වඩුවාගේ පුතා නේද?+ එයාගේ අම්මා මරියා නේද? යාකොබ්, යෝසෙප්, සීමොන්, යූදස් එයාගේ මල්ලිලා නේද?+ 56  එයාගේ නංගිලත් අපි එක්කම මේ ගමේ ඉන්නවා නේද? එහෙනම් එයාට කොහෙන්ද ඒ හැම දේම ලැබුණේ?”+ 57  ඉතින් ඒ මිනිස්සු යේසුස්ව පිළිගන්න කැමති වුණේ නැහැ.+ එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරයෙක්ට අනිත් හැම තැනකදීම ගෞරවය ලැබෙනවා. ඒත් එයාගේ ගම් පළාතේ ඉන්න අයගෙනුයි, පවුලේ අයගෙනුයි එයාට කිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.”+ 58  එයාලට කිසිම විශ්වාසයක් තිබුණේ නැති නිසා ඔහු එහෙදී ගොඩක් ආශ්චර්යයන් කළේ නැහැ.

පාදසටහන්

මූ.අ., “කන් තියෙන අය ඇහුම්කන් දෙන්න.”
මූ.අ., “එයා වැටිලා යනවා.”
හෝ, “පොහොසත් වුණොත් සතුටක් ලැබෙනවා කියන මුළාව.”
ඒකේ පෙනුම තිරිඟු පැළයේ පෙනුම වගේ. ඒත් ඒක විෂ වල් පැළෑටියක්.
සෙයා මිනුමක් කියන්නේ ලීටර් 7.33ක්.
හෝ සමහරවිට, “පොළොවේ දරුවන්ව බිහි කරපු දවසේ ඉඳන්.”
මූ.අ., “වැටිලා යන්න හේතු වෙන හැම දේමත්.”
මූ.අ., “ප්‍රසිද්ධියේ උගන්වන.”