මතෙව් 16:1-28

  • ලකුණක් පෙන්නන්න කියයි (1-4)

  • පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන් (5-12)

  • රාජ්‍යයේ යතුරු (13-20)

    • සභාව පර්වතයක් මත ගොඩනඟයි (18)

  • යේසුස්ගේ මරණය ගැන කලින්ම කියයි (21-23)

  • සැබෑ අනුගාමිකයෙක් කරන දේ (24-28)

16  එහෙදී පරිසිවරුයි, සද්දුසිවරුයි ඔහු ළඟට ඇවිත් අහසෙන් ලකුණක් පෙන්නන්න කියලා ඔහුට කිව්වා.+ එයාලා එහෙම කිව්වේ ඔහුගේ වරදක් අල්ලගන්න අදහසින්.  ඉතින් ඔහු එයාලට මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් හවස් වෙද්දී ඔයාලා කියනවා ‘අහස ගින්දර වගේ රතු පාටට තියෙන නිසා හොඳ කාලගුණයක් තියෙයි’ කියලා.  ඒ වගේම උදේට ඔයාලා කියනවා ‘අහස ගින්දර වගේ රතු පාට වෙලා තිබුණත් ඒක අඳුරුයි. ඒ නිසා අද සීතල, වැහිබර කාලගුණයක් තියෙයි’ කියලා. අහස දිහා බලලා දවසේ කාලගුණය ගැන කියන්න ඔයාලා දන්නවා. ඒත් මේ කාලයේ ඉටු වෙන ලකුණු තේරුම්ගන්න ඔයාලට බැහැ.  දෙවියන්ට ද්‍රෝහි වෙන, දුෂ්ට පරම්පරාවක් දිගින් දිගටම ලකුණක් හොයනවා. ඒත් අනාගතවක්තෘ යෝනාගේ ලකුණ+ හැර වෙන කිසිම ලකුණක් එයාලට දෙන්නේ නැහැ.”+ එහෙම කියලා ඔහු එතනින් යන්න ගියා.  ගෝලයන් එගොඩට යද්දී එයාලට රොටි ගෙනියන්න අමතක වුණා.+  ඔය අතරේ යේසුස් එයාලට මෙහෙම කිව්වා. “සෝදිසියෙන් ඉන්න. පරිසිවරුන්ගේ මුහුන්වලිනුයි, සද්දුසිවරුන්ගේ මුහුන්වලිනුයි පරෙස්සම් වෙන්න.”+  එතකොට එයාලා මෙහෙම කතා වෙන්න පටන්ගත්තා. “අපි රොටි අරන් ආවේ නැහැනේ!”  එයාලා කතා වෙන දේ ගැන දැනගෙන යේසුස් මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා රොටි අරන් ආපු නැති එක ගැන කතා කරන්නේ? ඔයාලාගේ විශ්වාසය ඔච්චර දුර්වල ඇයි?  මං කියපු දේ ඔයාලට තාමත් තේරෙන්නේ නැද්ද? මං රොටි පහකින් 5,000කට කන්න දුන්න සිද්ධිය ඔයාලට මතක නැද්ද? එදා ඔයාලා කූඩ කීයකට රොටි පුරවගත්තාද?+ 10  ඒ වගේම රොටි හතකින් මං 4,000කට කන්න දුන්නා මතක නැද්ද? ඒ වෙලාවේ ඔයාලා විශාල කූඩ කීයක් පුරවගත්තාද?+ 11  ඉතින් මං කතා කළේ රොටි ගැන නෙමෙයි කියලා ඔයාලට තේරුණේ නැත්තේ ඇයි? මම කිව්වේ පරිසිවරුන්ගෙයි, සද්දුසිවරුන්ගෙයි මුහුන්වලින් පරෙස්සම් වෙන්න කියලයි.”+ 12  යේසුස් කතා කළේ රොටිවල තියෙන මුහුන් ගැන නෙමෙයි, පරිසිවරුන්ගෙත් සද්දුසිවරුන්ගෙත් ඉගැන්වීම්වලින් පරෙස්සම් වෙන එක ගැනයි කියලා එයාලා තේරුම්ගත්තේ එතකොටයි. 13  යේසුස්, සිසේරිය ෆිලිප්පිය කියන ප්‍රදේශයට ගියා. එහෙදී ඔහු ගෝලයන්ගෙන් මෙහෙම ඇහුවා. “මිනිස්සු කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා කවුරු කියලද?”+ 14  ගෝලයෝ මෙහෙම උත්තර දුන්නා. “සමහරු කියනවා ඔයා යොහන් බව්තීස්ත කියලා.+ තව අය කියනවා ඔයා එලියා කියලා.+ තවත් අය කියනවා ඔයා යෙරෙමියා කියලා. එහෙම නැත්නම් අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් කියලා.” 15  ඒ වෙලාවේ ඔහු මෙහෙම ඇහුවා. “එතකොට ඔයාලා හිතන්නේ මං කවුරු කියලද?” 16  “ඔයා ක්‍රිස්තුස්,+ ජීවමාන දෙවියන්ගේ පුතා”+ කියලා සීමොන් පේතෘස් උත්තර දුන්නා. 17  යේසුස් එයාට මෙහෙම කිව්වා. “යෝනාගේ පුත් සීමොන්, ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද ඒ දේ ඔයාට හෙළි කළේ මිනිස්සු* නෙමෙයි, ස්වර්ගයේ ඉන්න මගේ තාත්තා.+ 18  මං ඔයාට කියන මේ දේත් හිතට ගන්න. ඔයා පේතෘස්.*+ මං මගේ සභාව ගොඩනඟන්නේ මේ පර්වතය* මත.+ මිනී වළේ දොරටුවලටවත් ඒක පරාජය කරන්න බැහැ. 19  ස්වර්ග රාජ්‍යයේ යතුරු මං දෙන්නේ ඔයාටයි. ඔයා පොළොවේ යම් දෙයක් වහලා දැම්මොත්* ඒක ඒ වෙද්දීත් ස්වර්ගයේ වහලයි තියෙන්නේ. ඔයා පොළොවේ යම් දෙයක් ඇරියොත්* ඒක ඒ වෙද්දීත් ස්වර්ගයේ ඇරලයි තියෙන්නේ.” 20  ඊටපස්සේ තමන් ක්‍රිස්තුස් කියලා කාටවත් කියන්න එපා කියලා ඔහු ගෝලයන්ට තදින්ම කිව්වා.+ 21  ඒ වෙලාවේ ඉඳන් යේසුස් ගෝලයන්ට මේ දේවල් පැහැදිලි කරන්න පටන්ගත්තා. ඔහුට යෙරුසලමට යන්න වෙනවා කියලත් එහෙදී වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය නිසා ඔහුට හුඟක් දුක් විඳින්න වෙනවා කියලත් ඔහුව මරලා දානවා කියලත් තුන්වෙනි දවසේදී ඔහුව නැවත නැඟිට්ටවනවා කියලත් ඔහු පැහැදිලි කළා.+ 22  එතකොට පේතෘස් යේසුස්ව පැත්තකට එක්කගෙන ගිහින් “ස්වාමීනි, ඔයා ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔයාට කවදාවත් වෙන්නේ නැහැ” කියලා යේසුස්ට දොස් කිව්වා.+ 23  ඒත් යේසුස් හැරිලා “සාතන්, මගෙන් අහකට යන්න!* මට බාධා කරන්න එපා. ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහට නෙමෙයි මිනිස්සු හිතන විදිහටයි” කියලා පේතෘස්ට කිව්වා.+ 24  ඊටපස්සේ යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,* එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පිටිපස්සෙන් එන්න ඕනේ.+ 25  මොකද කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතේ ගලවගන්න හදනවා නම් එයාට ඒක නැති වෙයි. ඒත් මං නිසා කෙනෙක්ට එයාගේ ජීවිතේ නැති වුණොත් එයාට ඒක ආපහු ලැබෙයි.+ 26  මිනිසෙක් මුළු ලෝකෙම ලබාගත්තත් එයාට එයාගේ ජීවිතේ නැති වුණොත් ඒකෙන් ඇති වැඩක් තියෙනවාද?+ ඇත්තටම තමන්ගේ ජීවිතේ ලබාගන්න මිනිසෙක්ට දෙන්න පුළුවන් දෙයක් තියෙනවාද?+ 27  මනුෂ්‍ය පුත්‍රයා දේවදූතයන් එක්ක තමන්ගේ පියාගේ තේජසින් එන්න නියමිතයි. ඔහු ඇවිත් එක් එක් කෙනා කරපු දේවලට අනුව එයාලට ප්‍රතිඵල දෙනවා.+ 28  ඇත්තටම මං කියන්නේ, මෙතන ඉන්න සමහරදෙනෙක්ට එයාලා මැරෙන්න කලින් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්ගේ රාජ්‍යයේ රජ විදිහට එනවා දකින්න ලැබෙනවා කියලයි.”+

පාදසටහන්

මූ.අ., “මාංසය සහ රුධිරය.”
ග්‍රීක භාෂාවෙන් පෙත්‍රා.
ග්‍රීක භාෂාවෙන් පෙත්‍රොස්. තේරුම, “ගලක්; ගල් කැටයක්.”
මූ.අ., “බැඳලා තිබ්බොත්.”
මූ.අ., “ලිහලා දැම්මොත්.”
මූ.අ., “මගේ පිටිපස්සට යන්න.”
ඒ කියන්නේ තමන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ ආශාවන් සහ අවශ්‍යතා පැත්තකට දාලා.