මතෙව් 18:1-35

  • රාජ්‍යයේ උතුම්ම කෙනා (1-6)

  • අනිත් අය වැටිලා යන්න හේතු වෙන දේවල් (7-11)

  • නැති වුණ බැටළුවා ගැන උදාහරණය (12-14)

  • සහෝදරයාට හරි දේ කරන්න උදව් කරන විදිහ (15-20)

  • සමාව දුන්නේ නැති දාසයා ගැන උදාහරණය (21-35)

18  ඒ වෙලාවේ ගෝලයෝ යේසුස් ළඟට ඇවිත් “ස්වර්ග රාජ්‍යයේ උතුම්ම කෙනා කවුද” කියලා ඇහුවා.+  එතකොට ඔහු පොඩි දරුවෙක්ට එන්න කියලා එයාව ගෝලයෝ ඉස්සරහට අරගෙන,  මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ, ඔයාලා හිතන විදිහ වෙනස් කරගෙන පොඩි දරුවන් වගේ+ වුණේ නැත්නම් ඔයාලට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න කොහොමටවත් බැහැ.+  ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ පොඩි දරුවා වගේ නිහතමානී වෙනවා නම් ස්වර්ග රාජ්‍යයේ උතුම්ම කෙනා වෙන්නේ එයායි.+  මට තියෙන ගෞරවය නිසා* මේ වගේ පොඩි දරුවෙක්ව ආදරෙන් පිළිගන්න කෙනා මාවත් පිළිගන්නවා.  ඒත් මං ගැන විශ්වාසය තියන මේ පොඩි දරුවන් වගේ ඉන්න කෙනෙක් වැටිලා යන්න හේතු වෙන දෙයක් කවුරු හරි කරනවා නම් ඒ කෙනාගේ බෙල්ලේ විශාල ඇඹරුම් ගලක්* එල්ලලා එයාව මුහුදට දාන එක හොඳයි.+  “අනිත් අය වැටිලා යන්න හේතු වෙන දේවල් කරන, මේ ලෝකයේ අයට මොන තරම් දරුණු විපතකට මූණ දෙන්න වෙයිද! ඇත්ත, කෙනෙක් වැටිලා යන්න හේතු වෙන දේවල් වෙයි. ඒක වළක්වන්න බැහැ. ඒත් කවුරු හරි කෙනෙක් තව කෙනෙක් වැටිලා යන්න හේතු වෙන දේවල් කරනවා නම් එයාට මොන තරම් දරුණු විපතක් අද්දකින්න වෙයිද!  ඉතින් ඔයාගේ අත නැත්නම් කකුල වරදක් කරන්න ඔයාව පොලඹවනවා* නම් ඒක කපලා වීසි කරලා දාන්න.+ මොකද අත් දෙකම එක්ක නැත්නම් කකුල් දෙකම එක්ක ඔයාව සදාකාල ගින්නට වීසි කරනවාට වඩා අතක් පයක් නැතුව ජීවනය ලබාගන්න එක හොඳයි.+  ඔයාගේ ඇහැ වරදක් කරන්න ඔයාව පොලඹවනවා නම් ඒක උගුල්ලලා වීසි කරන්න. ඇස් දෙකම එක්ක ඇවිළෙන ගෙහෙන්නාවට*+ යනවාට වඩා එක ඇහැක් එක්ක ජීවනය ලබාගන්න එක හොඳයි. 10  පොඩි දරුවන් වගේ ඉන්න මේ අයගෙන් එක් කෙනෙක්වවත් පහත් කරලා සලකන්න එපා. මොකද ස්වර්ගයේ ඉන්න එයාලාගේ දේවදූතයන් නිතරම ස්වර්ගයේ ඉන්න මගේ තාත්තා ඉස්සරහට යනවා.*+ 11 * —— 12  “ඔයාලා මොනවාද හිතන්නේ? බැටළුවන් 100දෙනෙක් ඉන්න කෙනෙක්ගේ එක බැටළුවෙක් හරි වැරදි පාරක ගිහින් නැති වුණොත්+ ඒ කෙනා අනිත් 99දෙනාව කඳුවල දාලා නැති වුණ බැටළුවාව හොයාගෙන යන්නේ නැද්ද?+ 13  ඇත්තටම මං ඔයාලට කියන්නේ, ඒ කෙනා නැති වුණ බැටළුවාව හොයාගත්තොත් අනිත් 99දෙනා ගැන සතුටු වෙනවාට වඩා හොයාගත්ත ඒ එක බැටළුවා ගැන එයා සතුටු වෙයි. 14  ඒ වගේ, පොඩි දරුවන් වගේ ඉන්න මේ අයගෙන් එක් කෙනෙක්වවත් විනාශ වෙනවාට ස්වර්ගයේ ඉන්න මගේ* තාත්තා කැමති නැහැ.+ 15  “ඔයාගේ සහෝදරයා වරදක් කළොත් තනියෙන් එයාව හම්බ වෙන්න ගිහින් එයාගේ වරද පෙන්නලා දෙන්න.*+ එයා ඔයා කියන දේ පිළිගත්තොත් ඒ කියන්නේ ඔයාගේ සහෝදරයාට හරි දේ කරන්න ඔයා උදව් කළා කියන එකයි.+ 16  ඒත් එයා ඒක පිළිගන්නේ නැත්නම් තවත් එක් කෙනෙක් හරි දෙන්නෙක් හරි එක්ක එයාව හම්බ වෙන්න යන්න. එතකොට හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙන්නෙක්ගේ නැත්නම් තුන්දෙනෙක්ගේ සාක්ෂි මත ස්ථිර කරගන්න පුළුවන්.+ 17  ඒ අය කියන දේත් එයා පිළිගන්නේ නැත්නම් සභාවට ඒ ගැන දැනුම් දෙන්න. එයා සභාව කියන දේත් පිළිගන්නේ නැත්නම් එයාට සලකන්න ඕනෙ වෙනත් ජාතිකයෙක්ට+ සහ බදු එකතු කරන කෙනෙක්ට+ සලකන විදිහටයි. 18  “ඇත්තටම මං ඔයාලට කියන්නේ, පොළොවේදී ඔයාලා යම් දෙයක් බැඳලා තිබ්බොත් ඒක ඒ වෙනකොටත් ස්වර්ගයේ බැඳලා තියෙනවා.* ඔයාලා පොළොවේදී යම් දෙයක් ලිහලා දැම්මොත් ඒක ඒ වෙනකොටත් ස්වර්ගයේ ලිහලා තියෙනවා.* 19  මං ආයෙත් ඔයාලට කියන්නේ, පොළොවේදී ඔයාලාගෙන් දෙන්නෙක් මොනවා හරි වැදගත් කාරණයකට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ඕනෙ කියලා එකඟ වෙලා යාච්ඤා කරනවා නම් ස්වර්ගයේ ඉන්න මගේ පියාණන් අනිවාර්යයෙන්ම එයාලට උදව් කරනවා.+ 20  ඒ වගේම දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් මගේ නමින්* කොහේ හරි තැනක රැස් වෙලා හිටියොත්+ එයාලා අතරේ මමත් ඉන්නවා.” 21  එතකොට පේතෘස් යේසුස් ළඟට ඇවිත් මෙහෙම ඇහුවා. “ස්වාමීනි, මගේ සහෝදරයා දිගටම මට විරුද්ධව වැරදි කරද්දී මං කී පාරක් එයාට සමාව දෙන්න ඕනෙද? හත් පාරක් සමාව දුන්නොත් ඇතිද?” 22  යේසුස් එයාට මෙහෙම කිව්වා. “මං ඔයාට කියන්නේ, හත් පාරක් නෙමෙයි හැත්තෑහත් පාරක් එයාට සමාව දෙන්න කියලයි.+ 23  “ඉතින්, දාසයන් එක්ක ගණන් හිලව් බලන්න ඕනෙ වුණ රජෙක්ට ස්වර්ග රාජ්‍යය සමාන කරන්න පුළුවන්. 24  ගණන් හිලව් බලන්න පටන්ගත්තාම රජට තලෙන්ත 10,000ක්* ණය වෙලා හිටිය දාසයෙක්ව රජ ළඟට අරන් ආවා. 25  ඒත් ඒක ගෙවන්න එයාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා එයාගේ ස්වාමියා වුණ රජ අණ කළා එයාවයි, එයාගේ බිරිඳවයි, දරුවන්වයි, එයාට අයිති හැම දෙයක්මයි විකුණලා ඒක ගෙවන්න කියලා.+ 26  ඒත් ඒ දාසයා රජ ඉස්සරහා වැඳ වැටිලා මෙහෙම කිව්වා. ‘අනේ, මට තව කල් දෙන්න. මම ඒ ඔක්කොම ගෙවන්නම්.’ 27  ඒක අහලා ස්වාමියාට දාසයා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඉතින් රජ එයාව ණයෙන් නිදහස් කරලා+ එයාට යන්න දුන්නා. 28  ඒත් ඒ දාසයා තමන්ට ඩිනාරි* 100ක් ණය වෙලා හිටිය වෙන දාසයෙක්ව හොයාගෙන ගිහින් එයාව අල්ලගත්තා. එයා ඒ දාසයාගේ බෙල්ල මිරිකගෙන ‘මගේ ණය ගෙවන්න’ කියලා කිව්වා. 29  ඒ දාසයා දණින් වැටිලා ‘අනේ, මට තව ටිකක් කල් දෙන්න. මම ණය ටික ඉක්මනට ගෙවලා දාන්නම්’ කියලා බැගෑපත්ව කිව්වා. 30  ඒත් එයා ඒකට අකමැති වෙලා ණය ගෙවන කල් ඒ දාසයාව හිරගෙට දැම්මා. 31  සිද්ධ වුණ දේ දැකලා අනිත් දාසයෝ හුඟක් දුක් වෙලා ස්වාමියා ළඟට ගිහින් වුණ හැම දේම එයාට කිව්වා. 32  එතකොට ස්වාමියා එයාට එන්න කියලා මෙහෙම කිව්වා. ‘ඔයා හරිම දුෂ්ට දාසයෙක්! තව කල් දෙන්න කියලා ඔයා මගෙන් බැගෑපත් වෙලා ඉල්ලද්දී මං ඔයාව ණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කළා. 33  මං ඔයාට අනුකම්පා කළා* වගේ+ ඔයාටත් තිබුණා නේද ඒ දාසයාට අනුකම්පා කරන්න?’ 34  හොඳටම කේන්ති ගිහින් හිටිය ස්වාමියා, දාසයා ණය සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර වෙන කල් එයාව හිරේ දාන්න කියලා හිරගෙයි භාරකරුවන්ට භාර දුන්නා. 35  ඔයාලත් ඔයාලාගේ සහෝදරයන්ට මුළු හදවතින්ම සමාව දුන්නේ නැත්නම්+ ස්වර්ගයේ ඉන්න මගේ තාත්තාත් ඔයාලට ඒ විදිහටම සලකයි.”+

පාදසටහන්

මූ.අ., “මගේ නම නිසා.”
මූ.අ., “බූරුවෙක් කරකවන ඇඹරුම් ගලක්.”
මූ.අ., “ඔයාව වැටෙන්න සලස්සනවා.”
මූ.අ., “මගේ තාත්තාගේ මූණ දකිනවා.”
උප. A3 බලන්න.
හෝ සමහරවිට, “ඔයාගේ.”
මූ.අ., “එයාට අවවාද කරන්න.”
සමහරවිට මෙතන සඳහන් වෙන්නේ වරදක් කරපු කෙනෙක් ගැන ගන්න තීරණ. එහෙම නැත්නම් යම් ක්‍රියා තහනම් කරන එක ගැන.
සමහරවිට මෙතන සඳහන් වෙන්නේ කෙනෙක් නිදොස් කියලා තීරණය කරන එක ගැන. එහෙම නැත්නම් යම් ක්‍රියාවලට අවසර දෙන එක ගැන.
හෝ, “මාව නියෝජනය කරමින්.”
ඒ කියන්නේ ඩිනාරි ලක්ෂ හයසීයක්. උප. B14 බලන්න.
උප. B14 බලන්න.
මූ.අ., “දයාව පෙන්නුවා.”