මතෙව් 19:1-30

  • විවාහය සහ දික්කසාදය (1-9)

  • තනිකඩව ඉන්න එක දීමනාවක් (10-12)

  • යේසුස් දරුවන්ට ආශීර්වාද කරයි (13-15)

  • පොහොසත් තරුණයා අහපු ප්‍රශ්නය (16-24)

  • රාජ්‍යය වෙනුවෙන් කරන කැප කිරීම් (25-30)

19  ඒ දේවල් කියලා ඉවර වුණාම යේසුස් ගලීලයෙන් පිටත් වෙලා යොර්දාන් ගඟෙන් එගොඩ, යුදයේ මායිම්වල තියෙන ප්‍රදේශයට ගියා.+  ඔහු එහෙට යද්දී ලොකු සෙනඟක් ඔහු පිටිපස්සෙන් ගියා. ඔහු එහෙදී එයාලාගේ අසනීප සුව කළා.  එතකොට පරිසිවරු ඔහු ළඟට ඇවිත් ඇහුවා, ඕනෙම හේතුවක් නිසා කෙනෙක් තමන්ගේ බිරිඳව දික්කසාද කරන එක නීත්‍යනුකූලද කියලා.+ එයාලට ඕනෙ වුණේ ඒ ගැන ඔහු මොනවා කියයිද කියලා බලලා ඔහුගේ වරදක් අල්ලගන්න.  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා ඒ ගැන කියවලා නැද්ද? පටන්ගැන්මේදී මිනිස්සුන්ව නිර්මාණය කරපු තැනැත්තා පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහටයි එයාලව නිර්මාණය කළේ.+  එහෙම කරලා දෙවියන්* මෙහෙම කිව්වා. ‘ඒ නිසා පුරුෂයෙක් එයාගේ තාත්තාගෙනුයි, අම්මාගෙනුයි වෙන් වෙලා එයාගේ බිරිඳට ඇලුම් වෙනවා.* ඊටපස්සේ එයායි, එයාගේ බිරිඳයි එක් කෙනෙක් වගේ වෙනවා.’*+  එදා ඉඳන් එයාලා දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක්. ඉතින් දෙවියන් එකතු කරපු දෙයක් කිසිම මිනිසෙක් වෙන් නොකළ යුතුයි.”+  එතකොට එයාලා මෙහෙම ඇහුවා. “එහෙනම් බිරිඳව ගෙදරින් යවන්න තීරණය කරන කෙනෙක් දික්කසාද ලියවිල්ලක් හදලා එයාට දෙන්න ඕනෙ කියලා මෝසෙස් කිව්වේ ඇයි?”+  එතකොට ඔහු මෙහෙම කිව්වා. “ඔයාලාගේ භාර්යාවන්ව දික්කසාද කරන්න මෝසෙස් ඉඩ දුන්නේ ඔයාලා හරිම මුරණ්ඩු සෙනඟක් නිසයි.+ ඒත් පටන්ගැන්මේදී නම් ඒ වගේ දෙයක් සිද්ධ වුණේ නැහැ.+  මං ඔයාලට කියන්නේ මෙහෙමයි. බිරිඳ ලිංගික දුරාචාරයේ* යෙදුණොත් මිසක් වෙන කිසිම හේතුවක් නිසා තමන්ගේ බිරිඳව දික්කසාද කරලා වෙන කාන්තාවක්ව විවාහ කරගන්නවා නම් කෙනෙක් කරන්නේ බිරිඳට ද්‍රෝහි වෙලා අනාචාරයේ යෙදෙන එකයි.”+ 10  ඊටපස්සේ ගෝලයෝ යේසුස්ට මෙහෙම කිව්වා. “පුරුෂයෙකුයි, බිරිඳකුයි අතරේ තියෙන්න ඕනෙ ඒ වගේ බැඳීමක් නම් විවාහ වෙන්නේ නැතුව ඉන්න එක ඊට වඩා හොඳයි.” 11  එතකොට ඔහු මෙහෙම කිව්වා. “හැමෝටම ඔයාලා කියපු දේ කරන්න බැහැ.* දෙවියන්ගෙන් ලැබෙන ඒ දීමනාව පිළි අරන් ඒකට ඉඩ හදාගන්න අයට විතරයි ඒ දේ කරන්න පුළුවන්.+ 12  උපතින්ම ලිංගික අවයවවල තිබුණ දෝෂයක්* නිසා සමහරු විවාහ වෙන්නේ නැතුව ඉන්නවා. තවත් අය විවාහ වෙන්නේ නැත්තේ ලිංගික සම්බන්ධකම් පවත්වන්න බැරි වෙන විදිහට මිනිස්සු එයාලට හානියක් කරලා තියෙන නිසයි. තවත් අය ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සේවය කරන්න කැමති නිසා විවාහ නොවී ඉන්න තීරණය කරනවා. කෙනෙක්ට විවාහ නොවී ඉන්න ඉඩ හදාගන්න පුළුවන් නම් එහෙම කරන්න.”+ 13  ඊටපස්සේ සෙනඟ පොඩි ළමයින්ව යේසුස් ළඟට අරන් ආවා. එයාලා එහෙම කළේ යේසුස් ඒ පොඩි දරුවන් පිට අත තියලා ආශීර්වාද කරලා එයාලා ගැන යාච්ඤා කරයි කියලා හිතාගෙන. ඒත් ගෝලයෝ ඒ අයට බැන්නා.+ 14  හැබැයි යේසුස් එයාලට මෙහෙම කිව්වා. “පොඩි දරුවන්ට මුකුත් කියන්න එපා. එයාලට මං ළඟට එන්න දෙන්න. මොකද ස්වර්ග රාජ්‍යය අයිති වෙන්නේ මේ දරුවන් වගේ ඉන්න අයටයි.”+ 15  ඔහු එයාලා පිට අත තියලා ආශීර්වාද කරලා එතනින් පිට වෙලා ගියා. 16  ඔය අතරේ කෙනෙක් යේසුස් ළඟට ඇවිත් “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න මං කරන්න ඕනෙ මොන වගේ යහපත් දේවල්ද” කියලා ඇහුවා.+ 17  ඔහු එයාට මෙහෙම කිව්වා. “යහපත් දේවල් ගැන ඔයා මගෙන් අහන්නේ ඇයි? යහපත් කියලා කියන්න පුළුවන් එක් කෙනෙක්ට විතරයි.+ ඒත් ඔයාට සදාකාල ජීවනය ලබාගන්න ඕනෙ නම් දිගටම දෙවියන්ගේ ආඥා පිළිපදින්න.”+ 18  එතකොට එයා යේසුස්ගෙන් ඇහුවා “මං පිළිපදින්න ඕනෙ මොන ආඥාද” කියලා. යේසුස් මෙහෙම කිව්වා. “මිනී මරන්න එපා.+ අනාචාරයේ යෙදෙන්න එපා.+ හොරකම් කරන්න එපා.+ බොරු සාක්ෂි දෙන්න එපා.+ 19  ඔයාගේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.”+ 20  එතකොට ඒ තරුණයා කිව්වා “මම ඒ හැම ආඥාවක්ම පිළිපදිනවා. මම තව මොනවාද හදාගන්න ඕනෙ” කියලා. 21  යේසුස් එයාට මෙහෙම කිව්වා. “ඔයාට පරිපූර්ණ කෙනෙක්* වෙන්න ඕනෙ නම් ගිහින් ඔයාට තියෙන දේවල් විකුණලා ඒ සල්ලි දුප්පත් අයට දෙන්න. එතකොට ඔයාට ස්වර්ගයේ වස්තු හම්බ වෙයි.+ එහෙම කරලා ඇවිත් මගේ අනුගාමිකයෙක් වෙන්න.”+ 22  තරුණයා ඒක ඇහුවාම ගොඩක් දුක් වෙලා එතනින් යන්න ගියා. මොකද එයාට ගොඩක් ධන සම්පත් තිබුණා.+ 23  ඊටපස්සේ යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ, පොහොසත් කෙනෙක්ට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන එක හුඟක් අමාරු දෙයක් වෙයි.+ 24  ආයෙත් මං ඔයාලට කියන්නේ, පොහොසත් කෙනෙක්ට දෙවියන්ගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙක්ට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වෙන එක ලේසියි.”+ 25  ඒක අහලා ගෝලයෝ ගොඩක් පුදුම වෙලා “එහෙනම් කාටවත් ගැලවෙන්න බැරිද” කියලා ඇහුවා.+ 26  යේසුස් එයාලාගේ මූණ දිහා බලාගෙන මෙහෙම කිව්වා. “මිනිස්සුන්ගේ පැත්තෙන් බලද්දී නම් ඒ දේ කරන්න බැහැ තමයි. හැබැයි දෙවියන්ට නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්.”+ 27  එතකොට පේතෘස් මෙහෙම කිව්වා. “බලන්න! අපි හැම දෙයක්ම අත්හැරලා ඔයාගේ පස්සෙන් ආවා. ඒ වෙනුවෙන් අපිට ලැබෙන්නේ මොනවාද?”+ 28  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ, හැම දේම අලුත් කරන කාලයේ* මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජවත් සිංහාසනයේ ඉඳගද්දී ඔයාලා සිංහාසන 12ක ඉඳගෙන, ඊශ්‍රායෙල්වල ගෝත්‍ර 12 විනිශ්චය කරනවා.+ ඒ, ඔයාලා මාව අනුගමනය කරපු නිසයි. 29  මගේ නම නිසා කෙනෙක් ගෙවල් දොරවල් හරි සහෝදර සහෝදරියන් හරි අම්මා තාත්තා හරි දරුවන් හරි ඉඩකඩම් හරි අත්හැරියොත් ඒ වගේ සිය ගුණයක් එයාට ලැබෙනවා. සදාකාල ජීවනයත් ඒ කෙනාට ලැබෙනවා.+ 30  “ඒත් පළවෙනියට ඉන්න හුඟදෙනෙක් අන්තිමයන් වෙනවා. අන්තිමයන් වෙලා ඉන්න අය පළවෙනියන් වෙනවා.+

පාදසටහන්

මූ.අ., “ඔහු.”
හෝ, “බිරිඳ එක්කම ඉන්නවා.”
හෝ, “එක ශරීරයක් වගේ වෙනවා.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “හැමෝටම මං කියපු දේ කරන්න බැහැ.”
මූ.අ., “නපුංසකයන්.”
ඒ කියන්නේ මුළු හදවතින්ම දෙවියන්ට සේවය කරන කෙනෙක්.
මූ.අ., “අලුතින් නිර්මාණය කරන කාලයේදී.”