මතෙව් 20:1-34

  • මිදිවත්තේ වැඩකරුවන් හැමෝටම එකම කුලිය ගෙවයි (1-16)

  • යේසුස්ගේ මරණය ගැන ආයෙත් කියයි (17-19)

  • රාජ්‍යයේ උසස් තනතුරු ඉල්ලයි (20-28)

    • යේසුස් හුඟදෙනෙක් වෙනුවෙන් වන්දියක් ගෙවයි (28)

  • අන්ධ මිනිස්සු දෙන්නෙක්ව සුව කරයි (29-34)

20  “උදේ පාන්දරින්ම තමන්ගේ මිදිවත්තේ කුලියට වැඩ කරන්න සේවකයන්ව හොයාගෙන ගිය වතුහිමියෙක්ට ස්වර්ග රාජ්‍යය සමාන කරන්න පුළුවන්.+  එයා වැඩකරුවන්ට දවසකට ඩිනාරිය* ගාණේ දෙන්න එකඟ වෙලා එයාලව මිදිවත්තේ වැඩට පිටත් කළා.  තුන්වෙනි පැයේදී* විතර එයා ආයෙත් වෙළඳපොළට ගිහින් බැලුවා. එතකොට එයා දැක්කා රස්සාවක් නැතුව තවත් අය වෙළඳපොළේ හිටගෙන ඉන්නවා.  එයා ඒ අයට මෙහෙම කිව්වා. ‘ඔයාලත් මිදිවත්තට ගිහින් වැඩ කරන්න. මං ඔයාලට සාධාරණ ගාණක් දෙන්නම්.’  ඉතින් ඒ අයත් මිදිවත්තට ගියා. වත්තේ අයිතිකරු හයවෙනි* සහ නමවෙනි පැයේදී* විතර ආයෙත් ගිහින් තවත් අයව වත්තේ වැඩට ගත්තා.  අන්තිමට එයා 11වෙනි පැයේදී* විතර ආයෙත් ගියාම තවත් අය හිටගෙන ඉන්නවා එයා දැක්කා. ‘ඔයාලා රස්සාවක් නැතුව දවසම මෙතනට වෙලා ඉන්නේ ඇයි’ කියලා ස්වාමියා ඒ අයගෙන් ඇහුවා.  එතකොට එයාලා කිව්වා ‘අපිව කවුරුත් වැඩට ගත්තේ නැහැ’ කියලා. ‘එහෙනම් ඔයාලත් මිදිවත්තට යන්න’ කියලා එයා ඒ අයට කිව්වා.  “හවස් වෙද්දී මිදිවත්තේ ස්වාමියා වත්තේ වැඩ බලන කෙනාට එන්න කියලා මෙහෙම කිව්වා. ‘වැඩ කරන අයට එන්න කියලා එයාලාගේ කුලිය ගෙවන්න.+ අන්තිමට ආපු අයගෙන් පටන් අරන් ඉස්සෙල්ලාම ආපු අය වෙන කල් කුලිය ගෙවන්න.’  11වෙනි පැයේ ආපු අය එයාලාගේ කුලිය ගන්න ආවාම එයාලට ඩිනාරිය* ගාණේ ලැබුණා. 10  ඉතින් ඉස්සෙල්ලාම වැඩට ගිය අය හිතුවා එයාලට වැඩියෙන් ගෙවයි කියලා. හැබැයි එයාලටත් ගෙව්වේ ඩිනාරියක්* විතරයි. 11  ඒක ලැබුණාම එයාලා වත්තේ අයිතිකාරයාට දොස් කියන්න පටන්ගත්තා. 12  එයාලා මෙහෙම කිව්වා. ‘අන්තිමට ආපු අය වැඩ කළේ පැයක් විතරයි. ඒත් කට්ට අව්වේ දවසම මහන්සි වෙලා වැඩ කරපු අපිටත් ගෙව්වේ එයාලට ගෙවපු ගාණමයි.’ 13  එතකොට එයාලාගෙන් එක් කෙනෙක්ට ස්වාමියා මෙහෙම කිව්වා. ‘මං ඔයාට කිසිම අසාධාරණයක් කළේ නැහැ. ඔයා වැඩ කරන්න එකඟ වුණේ ඩිනාරියකට* නේද?+ 14  ඔයාට අයිති දේ අරන් යන්න. මං ආසයි අන්තිමට ආපු කෙනාටත් ඔයාට දුන්න ගාණම දෙන්න. 15  මට අයිති දේවලින් මං කැමති දෙයක් කරන්න මට අයිතියක් නැද්ද? ඔයා කෑදර විදිහට හිතන්නේ* මං යහපත් දෙයක් කරපු* නිසාද?’+ 16  ඒ විදිහට අන්තිමට ඉන්න අය පළවෙනියන් වෙනවා. පළවෙනියට ඉන්න අය අන්තිමයන් වෙනවා.”+ 17  යෙරුසලමට නැඟගෙන යන පාරේ යද්දී යේසුස් ගෝලයන් 12දෙනාව පැත්තකට අඬගහලා එයාලට මෙහෙම කිව්වා.+ 18  “අහන්න, අපි දැන් මේ යන්නේ යෙරුසලමට. එහෙදී මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන්ගෙයි, නීතිය පිටපත් කරන අයගෙයි අතට භාර දෙනවා. එයාලා ඔහුව මරණයට නියම කරලා+ 19  වෙනත් ජාතීන් අතට භාර දෙනවා. ඒ අය ඔහුට සමච්චල් කරලා කසයෙන් පහර දෙයි. ඊටපස්සේ ඔහුව කණුවක ඇණ ගහලා මරලා දායි.+ ඒත් තුන්වෙනි දවසේ ඔහුව නැඟිට්ටවනවා.”+ 20  ඊටපස්සේ සෙබදීගේ+ පුතාලාගේ අම්මා, පුතාලා එක්ක යේසුස් ළඟට ඇවිත් ඔහු ඉස්සරහා දණින් වැටිලා ඔහුගෙන් ඉල්ලීමක් කළා.+ 21  එතකොට යේසුස් “ඔයාට මගෙන් මොනවාද ඕනෙ” කියලා ඇහුවා. “ඔබට රාජ්‍යය ලැබුණාම+ මගේ පුතාලා දෙන්නාගෙන් එක් කෙනෙක්ට ඔබේ දකුණු පැත්තෙත් අනිත් කෙනාට වම් පැත්තෙත් ඉඳගන්න අවස්ථාව දෙන්න” කියලා එයා ඔහුගෙන් ඉල්ලුවා. 22  එතකොට යේසුස් “ඔයාලා ඉල්ලන්නේ මොකක්ද කියලවත් ඔයාලා දන්නේ නැහැ. මම බොන කුසලානෙන් බොන්න ඔයාලට පුළුවන්ද”+ කියලා එයාලාගෙන් ඇහුවා. එයාලා “ඔව්, අපිට පුළුවන්” කියලා උත්තර දුන්නා. 23  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “මම බොන කුසලානෙන් ඔයාලා අනිවාර්යයෙන්ම බොනවා.+ ඒත් මගේ දකුණු පැත්තෙයි, වම් පැත්තෙයි ඉඳගන්නේ කවුද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. එතන ඉඳගන්නේ කවුද කියලා තීරණය කරන්නේ මගේ පියාණන්.”+ 24  ඉතුරු දහදෙනාට ඒ ගැන අහන්න ලැබුණාම ඒ සහෝදරයන් එක්ක එයාලට කේන්ති ගියා.+ 25  ඒත් යේසුස් එයාලට එන්න කියලා මෙහෙම කිව්වා. “ඔයාලා හොඳටම දන්නවා ජාතීන්ව පාලනය කරන අය මිනිස්සුන්ව යටත් කරගෙන ඉන්නවා කියලා. උසස් තනතුරුවල ඉන්න අය තද නීති දාලා මිනිස්සුන්ව පාලනය කරනවා කියලත් ඔයාලා දන්නවා.+ 26  ඒත් ඔයාලා අතරේ ඒ වගේ දෙයක් වෙන එක හොඳ නැහැ.+ ඔයාලා අතරේ උසස් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ සේවකයා වෙන්න ඕනේ.+ 27  ඔයාලා අතරේ පළවෙනියා වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා ඔයාලාගේ දාසයා වෙන්න ඕනේ.+ 28  මනුෂ්‍ය පුත්‍රයා ආවේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්නයි.+ ඒ වගේම ඔහුගේ ජීවිතය වන්දියක් විදිහට දීලා හුඟදෙනෙක්ව මිල දීලා ගන්නයි.”*+ 29  එයාලා යෙරිකෝවෙන් පිටත් වෙලා යද්දී ලොකු සෙනඟක් ඔහුගේ පිටිපස්සෙන් ගියා. 30  පාර අයිනේ ඉඳගෙන හිටිය අන්ධ මිනිස්සු දෙන්නෙක් යේසුස් එතනින් යනවා කියලා දැනගෙන “ස්වාමීනි, දාවිත්ගේ පුතා, අපිට අනුකම්පා කරන්න”*+ කියලා කෑගහලා කිව්වා. 31  ඒත් සෙනඟ එයාලට කෑගහන්න එපා කියලා සැර කරන්න පටන්ගත්තා. ඒත් ඒ දෙන්නා තව තවත් හයියෙන් කෑගහලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, දාවිත්ගේ පුතා, අපිට අනුකම්පා කරන්න.”* 32  ඉතින් යේසුස් නැවතිලා එයාලට එන්න කියලා “මං මොනවාද ඔයාලා වෙනුවෙන් කරන්න ඕනෙ” කියලා ඇහුවා. 33  එතකොට ඒ දෙන්නා මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපිට පෙනීම ලබා දෙන්න.” 34  යේසුස්ට එයාලා ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙලා එයාලාගේ ඇස් ඇල්ලුවා.+ ඒ වෙලාවෙම ඒ දෙන්නාට පෙනීම ලැබුණා. ඊටපස්සේ එයාලා යේසුස්ගේ පිටිපස්සෙන් ආවා.

පාදසටහන්

උප. B14 බලන්න.
ඒ කියන්නේ උදේ 9ට විතර.
ඒ කියන්නේ දවල් 12ට විතර.
ඒ කියන්නේ හවස 3ට විතර.
ඒ කියන්නේ හවස 5ට විතර.
උප. B14 බලන්න.
උප. B14 බලන්න.
උප. B14 බලන්න.
මූ.අ., “ඔයාට නපුරු, දුෂ්ට ඇහැක් තියෙන්නේ.”
හෝ, “ත්‍යාගශීලී.”
හෝ, “බේරගන්නයි.”
මූ.අ., “දයාව පෙන්නන්න.”
මූ.අ., “දයාව පෙන්නන්න.”