මතෙව් 22:1-46

  • විවාහ උත්සවය ගැන උදාහරණය (1-14)

  • දෙවියන් සහ සීසර් (15-22)

  • නැවත නැඟිටීම ගැන අහපු ප්‍රශ්නය (23-33)

  • උතුම්ම ආඥා දෙක (34-40)

  • ක්‍රිස්තුස් දාවිත්ගේ පුතාද? (41-46)

22  යේසුස් ආයෙත් උදාහරණ පාවිච්චි කරලා එයාලට මෙහෙම ඉගැන්නුවා.  “තමන්ගේ පුතාට විවාහ උත්සවයක්+ සූදානම් කරපු රජෙක්ට ස්වර්ග රාජ්‍යය සමාන කරන්න පුළුවන්.  විවාහ උත්සවයට ආරාධනා කරපු අයව එක්කගෙන එන්න රජ එයාගේ දාසයන්ව යැව්වත් ඒ අය එන්න කැමති වුණේ නැහැ.+  ඒ නිසා එයා තව දාසයන් කීපදෙනෙක්ට මෙහෙම කිව්වා. ‘ගිහින් ආරාධනා කරපු අයට මෙහෙම කියන්න. “ඇවිත් බලන්න! මං විවාහ උත්සවයට හැම දෙයක්ම සූදානම් කරලයි තියෙන්නේ. දවල් කෑම ලෑස්තියි. මගේ ගවයන්වත් හොඳ මහතට ඉන්න සතුන්වත් මරලා කෑමට ලෑස්ති කරලයි තියෙන්නේ. ඔයාලා උත්සවයට එන්න.”’  ඒත් ආරාධිතයන් එයාලා කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ. එක් කෙනෙක් එයාගේ කෙතටත් තව කෙනෙක් එයාගේ ව්‍යාපාර වැඩවලටත් ගියා.+  ඉතුරු අය ඒ දාසයන්ව අල්ලගෙන එයාලට හරිම පහත් විදිහට සලකලා එයාලව මරලා දැම්මා.  “රජට හොඳටම කේන්ති ගිහින් එයාගේ හමුදාව යවලා ඒ මිනීමරුවන්ව විනාශ කරලා එයාලාගේ නුවරට ගිනි තිබ්බා.+  ඊටපස්සේ එයා දාසයන්ට එන්න කියලා මෙහෙම කිව්වා. ‘විවාහ උත්සවය සූදානම්. මං ඒකට කට්ටියකට ආරාධනා කළා. ඒත් එයාලා ඒකට එන්න වටින අය නෙමෙයි.+  ඒ නිසා නුවරට ඇතුල් වෙන්න තියෙන පාරවල්වලට ගිහිල්ලා ඔයාලට හම්බ වෙන හැමෝටම කියන්න විවාහ උත්සවයට එන්න කියලා.’+ 10  ඉතින් දාසයන් ඒ පාරවල්වලට ගිහින් එයාලට හම්බ වුණ හොඳ, නරක හැමෝවම එකතු කරගෙන ආවා. විවාහ උත්සවයට සූදානම් කරපු ශාලාව ආරාධනා කරපු* අයගෙන් පිරිලා ගියා. 11  “රජ අමුත්තන්ව බලන්න ආවාම උත්සවයට ගැළපෙන්නේ නැති ඇඳුමක් ඇඳගෙන හිටපු මිනිසෙක්ව දැක්කා. 12  ඉතින් රජ ඒ කෙනාට කතා කරලා ‘උත්සවයට ගැළපෙන්නේ නැති ඇඳුමක් ඇඳගෙන ඔයා කොහොමද මෙහෙට ආවේ’ කියලා ඇහුවා. ඒ කෙනාට උත්තරයක් දීගන්න බැරි වුණා. 13  එතකොට රජ එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. ‘මේ මනුස්සයාගේ අත පය බැඳලා එළියට ඇදලා දාන්න. එතකොට අන්ධකාරයට වෙලා අඬඅඬ දත්මිටි කකා ඉන්න එයාට සිද්ධ වෙයි.’ 14  “හුඟදෙනෙක්ට ආරාධනා කළත් අන්තිමට තෝරගන්නේ ටිකදෙනෙක්වයි.” 15  ඊටපස්සේ පරිසිවරු ගිහින් යේසුස් කියන දේකින් ඔහුගේ වරදක් අල්ලගන්නේ කොහොමද කියලා කතා වුණා.+ 16  ඉතින් පරිසිවරු එයාලාගේ ගෝලයන්වයි, හෙරොද්ගේ පක්ෂයේ හිටපු අයවයි+ යේසුස් ළඟට යැව්වා. පරිසිවරු ඒ අයට කිව්වා යේසුස්ට මෙහෙම කියන්න කියලා. “ගුරුතුමනි, අපි දන්නවා ඔබ හැම තිස්සේම ඇත්ත කතා කරනවා කියලා. දෙවියන් ගැන ඔබ උගන්වන්නෙත් සත්‍ය දේවල්. ඔබ අනිත් අයගේ හිත දිනාගන්න දේවල් කරන කෙනෙක් නෙමෙයි. මොකද ඔබට කෙනෙක්ගේ තනතුර, තරාතිරම වැඩක් නැහැ. 17  ඉතින් ඔබ හිතන්නේ මොකක්ද? සීසර්ට බදු* ගෙවන එක හරිද වැරදිද?” 18  ඒත් එයාලාගේ හිතේ තිබුණ දුෂ්ට අදහස තේරුම්ගත්ත යේසුස් මෙහෙම කිව්වා. “ඔයාලා මොන තරම් කුහකද! ඔයාලා මගේ වරදක් අල්ලගන්න හදන්නේ ඇයි? 19  බදු ගෙවන්න පාවිච්චි කරන කාසියක් මට දෙන්න.” ඉතින් එයාලා ඔහුට ඩිනාරි* කාසියක් ගෙනත් දුන්නා. 20  ඔහු එයාලාගෙන් මෙහෙම ඇහුවා. “මේකේ තියෙන්නේ කාගේ රූපේද? කාගේ නමද?” 21  එයාලා “සීසර්ගේ” කියලා උත්තර දුන්නා. “එහෙනම් සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවියන්ට අයිති දේ දෙවියන්ට දෙන්න”+ කියලා යේසුස් එයාලට කිව්වා. 22  ඒක ඇහුවාම එයාලා පුදුම වුණා. ඊටපස්සේ එයාලා එතනින් යන්න ගියා. 23  නැවත නැඟිටීමක් නැහැ කියලා කියන සද්දුසිවරුන් පිරිසක්+ එදාම යේසුස් ළඟට ඇවිත් මෙහෙම කිව්වා.+ 24  “ගුරුතුමනි, ‘කෙනෙක් දරුවෝ නැතුව මැරුණොත් එයාගේ සහෝදරයා ඒ කෙනාගේ බිරිඳව විවාහ කරගන්න ඕනෙ කියලත් එයාලට ලැබෙන දරුවන්ව මැරුණ සහෝදරයාගේ දරුවන් විදිහට සලකන්න ඕනෙ කියලත්’ මෝසෙස් ලියලා තියෙනවා.+ 25  පවුලක අයියලා, මල්ලිලා හත්දෙනෙක් හිටියා. වැඩිමලා විවාහ වුණා. ඒත් බිරිඳට දරුවෙක් ලැබෙන්න කලින් වැඩිමලා මැරුණා. ඊටපස්සේ දෙවෙනි සහෝදරයා ඒ බිරිඳව විවාහ කරගත්තා. 26  දෙවෙනියාටත් තුන්වෙනියාටත් වුණේ වැඩිමලාට වුණ දේමයි. ඒ විදිහට හත්දෙනාම එයාව විවාහ කරගත්තත් ඒ හැමෝම දරුවන් නැතුව මැරුණා. 27  අන්තිමට ඒ ස්ත්‍රියත් මැරුණා. 28  ඒ හැමෝම නැවත නැඟිට්ටාම ස්ත්‍රිය කාගේ බිරිඳ වෙයිද? මොකද අයියලා, මල්ලිලා හත්දෙනාම එයාව විවාහ කරගත්තානේ.” 29  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා හිතන විදිහ වැරදියි. මොකද ඔයාලට ශුද්ධ ලියවිලි ගැනවත් දෙවියන්ගේ බලය වැඩ කරන විදිහ ගැනවත් හරි අවබෝධයක් නැහැ.+ 30  නැවත නැඟිටීමේදී පුරුෂයන් විවාහ වෙන්නෙවත් ස්ත්‍රීන්ව විවාහ කරලා දෙන්නෙවත් නැහැ. එයාලා හරියට ස්වර්ගයේ ඉන්න දේවදූතයන් වගේ වෙනවා.+ 31  මැරුණ අයගේ නැවත නැඟිටීම ගැන දෙවියන් කියපු මේ දේ ඔයාලා කියවලා නැද්ද? ඔහු කිව්වේ, 32  ‘ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත් දෙවියන් මමයි’+ කියලා. ඒකෙන් පැහැදිලියි ඔහු මැරුණ අයගේ දෙවියන් නෙමෙයි ජීවත් වෙලා ඉන්න අයගේ දෙවියන් කියලා.”+ 33  ඔහු කියපු දේ ඇහුවාම සෙනඟ ඔහු උගන්වන විදිහ ගැන හුඟක් පුදුම වුණා.+ 34  සද්දුසිවරුන්ට යේසුස්ට උත්තරයක් දෙන්න බැරි වුණා කියලා පරිසිවරුන්ට ආරංචි වුණාම ඒ දෙගොල්ලන්ම එකතු වෙලා ඔහු ළඟට ගියා. 35  එයාලා අතරේ නීතිය ගැන හොඳ දැනුමක් තිබුණ කෙනෙක් යේසුස්ගේ දැනුම පරීක්ෂා කරන්න මෙහෙම ඇහුවා. 36  “ගුරුතුමනි, නීතියේ උතුම්ම ආඥාව මොකක්ද?”+ 37  ඔහු එයාට මෙහෙම කිව්වා. “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවාට* මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ.’+ 38  උතුම්ම සහ පළවෙනි ආඥාව ඒකයි. 39  දෙවෙනි ආඥාවත් ඒ වගේමයි. ඒ ආඥාව මේකයි. ‘ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.’+ 40  මුළු නීතියත් හැම අනාවැකියක්මත් පදනම් වෙලා තියෙන්නේ ඒ ආඥා දෙක මත.”+ 41  පරිසිවරුන් එකට රැස් වෙලා ඉද්දී යේසුස් එයාලාගෙන් ඇහුවා,+ 42  “ඔයාලා ක්‍රිස්තුස් ගැන මොනවාද හිතන්නේ? ඔහු කාගේ පුතාද” කියලා. “දාවිත්ගේ පුතා” කියලා එයාලා කිව්වා.+ 43  යේසුස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “එහෙනම් ඇයි දාවිත් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්+ ඔහුට ‘ස්වාමීන්’ කියලා කිව්වේ? දාවිත් ඒ වෙලාවේ කිව්වේ මෙහෙමයි. 44  ‘යෙහෝවා* දෙවියන් මගේ ස්වාමීන්ට මෙහෙම කිව්වා. “මම ඔබේ සතුරන්ව ඔබේ පාද යටට දාන කල් මගේ දකුණු පැත්තේ ඉඳගන්න.”’+ 45  දාවිත් ඔහුට ‘ස්වාමීන්’ කියලා කියනවා නම් ඔහු දාවිත්ගේ පුතා වෙන්නේ කොහොමද?”+ 46  කිසි කෙනෙක්ට ඒකට උත්තරයක් දෙන්න බැරි වුණා. එදා ඉඳන් ඔහුගෙන් ප්‍රශ්න අහන්න කාටවත් ධෛර්යයක් තිබුණේ නැහැ.

පාදසටහන්

හෝ, “කෑමට ඉඳගෙන හිටපු.”
මූ.අ., “ඇඟ බද්ද.”
උප. B14 බලන්න.
උප. A5 බලන්න.
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.