මතෙව් 23:1-39

  • නීතිය පිටපත් කරන අයවයි, පරිසිවරුන්වයි ආදර්ශයට ගන්න එපා (1-12)

  • නීතිය පිටපත් කරන අයටත් පරිසිවරුන්ටත් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයි (13-36)

  • යේසුස් යෙරුසලම ගැන දුක් වෙයි (37-39)

23  එතකොට යේසුස් සෙනඟටත් ඔහුගේ ගෝලයන්ටත් මෙහෙම කිව්වා.  “නීතිය පිටපත් කරන අයයි, පරිසිවරුයි මෝසෙස්ගේ තැන අයිති කරගෙන ඉන්නවා.  එයාලා ඔයගොල්ලන්ට කියන හැම දෙයක්ම කරන්න. ඒත් එයාලා කරන දේවල් නම් කරන්න යන්න එපා. මොකද එයාලා උගන්වනවා විතරයි. උගන්වන දේවල් කරන්නේ නැහැ.+  එයාලා දාන නීති මිනිස්සුන්ගේ කර පිට තියන, දරාගන්න බැරි බරක් වගේ.+ ඒත් ඇඟිල්ලක්වත් තියලා ඒ බර උස්සන්න එයාලා කැමති නැහැ.+  එයාලා හැම දෙයක්ම කරන්නේ මිනිස්සුන්ට පේන්නයි.+ එයාලට ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතාගෙන එයාලා ශුද්ධ ලියවිල්ලේ කොටස් පොඩි පෙට්ටිවලට දාලා ඒවා එයාලාගේ නළල්වල පලඳිනවා.+ එයාලා ඒ පෙට්ටි තව තවත් ලොකු කරගන්නවා. එයාලාගේ ඇඳුම්වල වාටි තවත් පළල් කරගන්නවා.+  එයාලට ඕනෙ උත්සවවලට ගියාම විශේෂ අමුත්තන්ට වෙන් කරපු ආසනවල ඉඳගන්න. ඒ වගේම සිනගෝගවල ඉස්සරහින්ම තියෙන ආසනවල* ඉඳගන්නත් එයාලා කැමතියි.+  වෙළඳපොළවල්වලදී හැමෝම එයාලට ලොකු ගෞරවයක් දීලා ආචාර කරනවාටත් මිනිස්සු එයාලට රබ්බි* කියලා කතා කරනවාටත් එයාලා හරිම කැමතියි.  ඒත් ඔයාලට රබ්බි කියලා කියන්න අනිත් අයට ඉඩ දෙන්න එපා. මොකද ඔයාලට ඉන්නේ එක ගුරුවරයෙක් විතරයි.+ ඒ වගේම ඔයාලා හැමෝම සහෝදරයෝ.  පොළොවේ ඉන්න කාටවත් ‘පියාණන්’* කියලා කතා කරන්න එපා. මොකද ඔයාලට ඉන්නේ එක පියෙක් විතරයි.+ ඒ, ස්වර්ගයේ ඉන්න පියාණන්. 10  ඔයාලා අතරේ ඉන්න කිසිම කෙනෙක්ට ‘නායකයා’ කියලා කියන්න එපා. මොකද ඔයාලට ඉන්නේ එක නායකයෙක් විතරයි. ඒ, ක්‍රිස්තුස්. 11  ඔයාලා අතරේ ඉන්න උතුම්ම කෙනා හැමෝගෙම සේවකයා වෙන්න ඕනේ.+ 12  උසස් වෙන්න උත්සාහ කරන කෙනාව පහත් කරයි.+ ඒත් නිහතමානීව වැඩ කරන කෙනාව උසස් කරයි.+ 13  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, ඔයාලා හරිම කුහකයි! ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න තියෙන දොරටුවලට ඔයාලා අගුල් දාලා. ඔයාලා ඒකෙන් ඇතුල් වෙන්නෙත් නැහැ. ඇතුල් වෙන්න උත්සාහ කරන අයට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ.+ 14 * —— 15  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, ඔයාලා හරිම කුහකයි!+ ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද එක් කෙනෙක්ව ඔයාලාගේ ආගමට හරවගන්න* ඔයාලා මුහුදෙයි, ගොඩබිමෙයි දුර ඈත වුණත් ගමන් කරන්න ලෑස්තියි. ඒත් ඔයාලා එයාව හරවගත්තාට පස්සේ ඔයාලටත් වඩා අන්ත තත්වයකට පත් කරලා එයාව ගෙහෙන්නාවට* සුදුස්සෙක්* කරනවා. 16  “අන්ධ මඟ පෙන්වන්නෙනි,+ ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ‘කෙනෙක් දේවමාලිගාවේ නමින් දිවුරුවොත් ඒක ඉටු කරන්න ඕනෙ නැහැ’ කියලත් ‘දේවමාලිගාවේ රන්වල නමින් දිවුරුවොත් ඒක ඉටු කරන්න ඕනෙ කියලත්’+ ඔයාලා කියනවා. 17  ඔයාලා කොච්චර මෝඩද, අන්ධද! වැඩියෙන් වටින්නේ මොකක්ද? දේවමාලිගාවේ රන්ද නැත්නම් ඒ රන් ශුද්ධ තත්වයකට ගේන දේවමාලිගාවද? 18  ඒ වගේම ‘කෙනෙක් පූජාසනයේ නමින් දිවුරුවොත් ඒකෙන් කිසි වැඩක් නැහැ’ කියලත් ‘පූජාසනය උඩ තියන පූජාව නමින් දිවුරුවොත් ඒක අනිවාර්යයෙන්ම ඉටු කරන්න ඕනෙ’ කියලත් ඔයාලා කියනවා. 19  ඔයාලා කොච්චර අන්ධද! වැඩියෙන්ම වටින්නේ මොකක්ද? පූජාවද නැත්නම් පූජාව ශුද්ධ තත්වයකට ගේන පූජාසනයද? 20  ඇත්තටම පූජාසනයේ නමින් දිවුරන කෙනා දිවුරන්නේ පූජාසනය සහ ඒක උඩ තියන හැම දේකම නමින්. 21  දේවමාලිගාවේ නමින් දිවුරන කෙනා දිවුරන්නේ දේවමාලිගාවෙත් දේවමාලිගාවේ වාසය කරන තැනැත්තාගෙත් නමින්.+ 22  ස්වර්ගයේ නමින් දිවුරන කෙනා දෙවියන්ගේ සිංහාසනයේ නමිනුත් සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ නමිනුත් දිවුරනවා. 23  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, ඔයාලා කොච්චර කුහකද! ඔයාලට හුඟක් දරුණු විපතකට මුහුණ දෙන්න වෙනවා! මොකද ඔයාලා මිංචි, ඈඳුරු, සූදුරු කියන දේවලින් දහයෙන් කොටස දෙනවා.+ ඒත් යුක්තිය,+ දයාව,+ විශ්වාසවන්තකම කියන නීතියේ තියෙන ඊට වඩා වැදගත් දේවල් ගැන ඔයාලට ගාණක්වත් නැහැ. දහයෙන් කොටස දෙන්න ඕනෙ තමයි. ඒත් ඒවා නිසා නීතියේ තියෙන ඒ වඩා වැදගත් දේවල් නොසලකාහරින එක කොයි තරම් වැරදිද!+ 24  අන්ධ මඟ පෙන්වන්නෙනි,+ ඔයාලා මදුරුවාව අයින් කරනවා.+ ඒත් ඔයාලා කරන්නේ ඔටුවා ගිලිනවා වගේ වැඩක්!+ 25  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහකකමින් පිරුණු ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඔයාලා කුසලානයත් දීසියත් පිටින් පිරිසිදු කරනවා.+ ඒත් ඔයාලාගේ හිත් පාලනය කරගන්න බැරි ආශාවලින්+ සහ කෑදරකමින්* පිරිලා!+ 26  අන්ධ පරිසිවරුනි, කුසලානයත් දීසියත් පිටින් පිරිසිදු කරන්න කලින් ඒවා ඇතුළේ පිරිසිදු කරන්න. 27  “කුහකකමින් පිරුණු නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි,+ ඔයාලට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න වෙයිද! මොකද ඔයාලා හුණු ගාලා සුදු කරපු සොහොන් ගෙවල් වගේ.+ ඒවා පිටින් ලස්සනට පේන්න තිබුණත් ඒවා ඇතුළේ මැරුණ අයගේ ඇටකටුවලිනුයි, එක එක විදිහේ අපවිත්‍ර දේවලිනුයි පිරිලා තියෙනවා. 28  ඔයාලත් ඒ වගේමයි. ඔයාලව දැක්කාම මිනිස්සු හිතන්නේ ඔයාලා හරි ධර්මිෂ්ඨයි කියලා. ඒත් ඇත්තටම ඔයාලාගේ හිත් කුහකකම්වලින් සහ දුෂ්ටකම්වලින් පිරිලා!+ 29  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, ඔයාලා කොච්චර කුහකද!+ ඇත්තටම ඔයාලට දරුණු විපතකට මුහුණ දෙන්න වෙනවා! මොකද ඔයාලා අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල්* අලුත්වැඩියා කරනවා. ධර්මිෂ්ඨ අයගේ සොහොන් ගෙවලුත් සරසනවා.+ 30  එහෙම කරලා ඔයාලා කියනවා ‘අපි අපේ මුතුන්මිත්තන්ගේ කාලේ ජීවත් වුණා නම් අපි කවදාවත් අනාගතවක්තෘවරුන්ව මරන්න එයාලත් එක්ක හවුල් වෙන්නේ නැහැ’ කියලා. 31  ඒකෙන් ඔයාලා පිළිගන්නවා ඔයාලා අනාගතවක්තෘවරුන්ව මරපු අයගේ පුතාලා කියලා.+ 32  එහෙනම් ඔයාලාගේ මුතුන්මිත්තන් පටන්ගත්ත වැඩේ දැන් ඉවර කරන්න. 33  “සර්පයෙනි, පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි,+ ඔයාලව ගෙහෙන්නාවට* නියම කරද්දී+ ඔයාලා ඒකෙන් බේරිලා යන්නේ කොහොමද? 34  ඒ හේතුව නිසා මම ඔයාලා ගාවට අනාගතවක්තෘවරුන්වයි,+ ප්‍රඥාවන්ත අයවයි, ප්‍රසිද්ධියේ උගන්වන අයවයි+ එවනවා. එයාලාගෙන් සමහරදෙනෙක්ව ඔයාලා මරලා දාලා+ කණුවල ඇණ ගහයි. තවත් අයට ඔයාලා සිනගෝගවලදී කසයෙන් තළලා+ එයාලා යනයන හැම නගරයකටම ගිහින් එයාලට පීඩා කරයි.+ 35  ඒ විදිහට පොළොවේ මරලා දාපු හැම ධර්මිෂ්ඨ කෙනෙක්ගෙම ලේවලට ඔයාලට වග කියන්න වෙනවා. ධර්මිෂ්ඨ කෙනෙක් වුණ ආබෙල්ගේ ඉඳන්+ ශුද්ධස්ථානයත් පූජාසනයත් අතරේ ඔයාලා මරලා දාපු බරකියාගේ පුතා වුණ සෙකරියා වෙන කල් මරලා දාපු හැම කෙනෙක්ම වෙනුවෙන් ඔයාලට වන්දි ගෙවන්න වෙනවා.+ 36  ඇත්තමයි මං මේ කියන්නේ මේ පරම්පරාවේ අයට එයාලාගේ වැරදිවලට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. 37  “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරලා දාපු, තමන් ළඟට එවපු අයට ගල් ගහපු නුවර!+ කිකිළියක් ඇගේ පැටවුන්ව පියාපත් යටට එකතු කරගන්නවා වගේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී පාරක් නම් උත්සාහ කළාද! ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+ 38  බලන්න! දෙවියන් ඔබේ ගෘහය* අත්හැරලා දාලා!*+ 39  ඇත්තටම මං කියන්නේ ‘යෙහෝවාගේ* නමින් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා’ කියලා ඔබ කියන දවස එන කල් ඔබට ආයෙත් නම් මාව දකින්න ලැබෙන්නේ නැහැ.”+

පාදසටහන්

හෝ, “හොඳම ආසනවල.”
හෝ, “ගුරුතුමනි.”
යේසුස් මෙතන කියන්නේ ආගමික නායකයන්ට පදවි නමක් විදිහට “පියාණන්” කියලා අමතන්න එපා කියලයි.
උප. A3 බලන්න.
ඒ කියන්නේ යුදෙව් ආගමට හරවගන්න.
මූ.අ., “දෙගුණයකින් සුදුස්සෙක්.”
හෝ, “කොල්ල කෑම්වලින්.”
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙවල්.”
ඒ කියන්නේ දේවමාලිගාව.
හෝ සමහරවිට, “පාළුවට යන්න හැරලා.”
උප. A5 බලන්න.