මතෙව් 24:1-51

  • යේසුස් ආයෙත් පැමිණෙන කාලය දැනගන්න ලකුණක් (1-51)

    • යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා (7)

    • ශුභාරංචිය දේශනා කරයි (14)

    • මහත් පීඩාව (21, 22)

    • මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ (30)

    • අත්තික්කා ගහ (32-34)

    • නෝවාගේ කාලයට සමානයි (37-39)

    • සෝදිසියෙන් ඉන්න (42-44)

    • විශ්වාසවන්ත දාසයා සහ දුෂ්ට දාසයා (45-51)

24  යේසුස් දේවමාලිගාවෙන් පිට වෙලා යද්දී ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් දේවමාලිගාවට අයිති ගොඩනැඟිලි පෙන්නලා ඒවා ගැන කතා කරන්න පටන්ගත්තා.  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මේ හැම දේම ඔයාලට පේනවා නේද? ඇත්තටම මං ඔයාලට කියන්නේ ගලක් උඩ තව ගලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ හැම ගලක්ම බිමට ඇදලා දානවා.”+  ඔහු ඔලීව කන්දට ගිහින් එක තැනක වාඩි වෙලා ඉද්දී ගෝලයෝ විතරක් එතනට ඇවිත් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ඒ දේවල් වෙන්නේ කවදාද කියලා අපිට කියන්න. ඔබ ආයෙත් පැමිණෙන කාලය*+ දැනගන්නත් පවතින සමාජයේ* අවසාන කාලය+ පටන් අරන් කියලා දැනගන්නත් මොකක් හරි ලකුණක් තියෙනවාද?”  ඉතින් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “කාටවත් ඔයාලව රවට්ටන්න ඉඩ දෙන්න එපා.+  මොකද හුඟදෙනෙක් ඇවිත් බොරුවට මගේ නම පාවිච්චි කරලා ‘මම තමයි ක්‍රිස්තුස්’ කියලා කියයි. ඒකට ගොඩක් අය රැවටෙයි.+  ඒ වගේම ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් කලබල වෙන්න එපා. ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒත් ඒ වෙනකොටත් අවසානය ඇවිත් නැහැ.+  “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත්+ සටන් කරයි. කෑමත් හිඟ වෙයි.+ එක තැනක භූමිකම්පාවක් වෙලා ඒක ඉවර වෙද්දීම තවත් තැනක භූමිකම්පාවක් ඇති වෙයි.+  ඒ හැම දේකින්ම තේරෙයි හරිම අමාරු කාලයක්* පටන් අරන් කියලා.  “ඒ කාලේදී මිනිස්සු ඔයාලට පීඩා කරලා+ ඔයාලව මරලා දායි.+ ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැම ජාතියකටම අයිති අය ඔයාලට වෛර කරයි.+ 10  එතකොට හුඟක් අයගේ විශ්වාසය නැති වෙලා යයි.* එයාලා එකිනෙකාව පාවලා දෙයි. එකිනෙකාට වෛර කරයි. 11  බොරු අනාගතවක්තෘවරු හුඟදෙනෙක් ඇවිත් ගොඩක් අයව නොමඟ යවයි.+ 12  මිනිස්සුන්ගේ දුෂ්ටකම් එන්න එන්නම වැඩි වෙන නිසා වැඩිදෙනෙක්ගේ හිත්වල තියෙන ආදරය ටිකෙන් ටික අඩු වෙලා යයි. 13  ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.+ 14  රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි.+ ඊටපස්සේ අවසානය එයි. 15  “ඒ නිසා අනාගතවක්තෘ දානියෙල් කියපු, විනාශයක් ඇති කරන පිළිකුල් දේ ශුද්ධස්ථානයක තියෙනවා ඔයාලා දැක්කාම+ (කියවන කෙනා කියලා තියෙන දේ හොඳට තේරුම්ගන්න), 16  යුදයේ ඉන්න අය කඳුවලට පලා යන්න ඕනේ.+ 17  ගෙදර වහලේ* උඩ ඉන්න කෙනා පල්ලෙහට ඇවිල්ලා බඩු මුට්ටු ගන්න ගේ ඇතුළට යන එකෙනුත් 18  කෙතේ වැඩ කරකර ඉන්න කෙනා තමන්ගේ පිට වස්ත්‍රය ගන්න ආපහු ගෙදර යන එකෙනුත් වළකින්න ඕනේ. 19  ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් ඒක කොච්චර අමාරු කාලයක් වෙයිද! 20  ඔයාලට පලා යන්න සිද්ධ වෙන කාලය සීත කාලේදීවත් සබත් දවසකදීවත් එන්න එපා කියලා දිගටම යාච්ඤා කරන්න. 21  මොකද එදාට හිතාගන්න බැරි තරම් මහත් පීඩාවක්*+ ඇති වෙයි. ලෝකයේ පටන්ගැන්මේ ඉඳන් මේ වෙන කල් ඒ වගේ කාලයක් කවදාවත් ඇවිල්ලා නැහැ. ආයේ කවදාවත් ඒ වගේ කාලයක් එන්නෙත් නැහැ.+ 22  ඇත්තටම ඒ දවස් කෙටි කළේ නැත්නම් කිසිම කෙනෙක් බේරෙන්නේ නැහැ. ඒත් තෝරගත්ත අය වෙනුවෙන් ඒ දවස් කෙටි කරනවා.+ 23  “ඒ දවස්වල කෙනෙක් ඔයාලට කිව්වොත් ‘බලන්න! ක්‍රිස්තුස් මෙතන ඉන්නවා’+ නැත්නම් ‘අර බලන්න! ඔහු අතන ඉන්නවා’ කියලා ඒක විශ්වාස කරන්න එපා.+ 24  මොකද ක්‍රිස්තුස් කියලා බොරුවට කියාගන්න අයයි, බොරු අනාගතවක්තෘවරුයි+ ඇවිත් පුදුමාකාර දේවල් කරයි. ලකුණුත් පෙන්නයි. එයාලා එහෙම කරලා තෝරගත්ත අයවත් නොමඟ යවන්න හදයි.+ 25  මං කල්තියාම ඔයාලට මේ දේවල් ගැන අනතුරු අඟවලයි තියෙන්නේ. 26  ඒ නිසා මිනිස්සු ‘අන්න! ඔහු පාළුකරයේ ඉන්නවා’ කියලා කිව්වොත් එළියට යන්න එපා. ‘මෙන්න! ඔහු ඇතුල් කාමරයේ ඉන්නවා’ කියලා කිව්වත් ඒක විශ්වාස කරන්න එපා.+ 27  අකුණු ගහද්දී ඒ විදුලි සැරය නැඟෙනහිරෙන් ඇවිත් බස්නාහිර වෙන කල් ආලෝකය විහිදුවන විදිහ ඔයාලා දැකලා ඇති. මනුෂ්‍ය පුත්‍රයා ආයෙත් පැමිණෙන කාලයත්* ඒ වගේම වෙයි.+ 28  කොහේ හරි තැනක මළ සිරුර තියෙනවා නම් රාජාලීනුත් එතනට රැස් වෙනවා.+ 29  “ඒ දවස්වල ඇති වෙන පීඩාව ඉවර වුණ ගමන්ම ඉර අඳුරු වෙයි.+ හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ. තරු අහසෙන් කඩාගෙන වැටෙයි. අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි.+ 30  ඊටපස්සේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙයි. එතකොට පොළොවේ ඉන්න හැම ගෝත්‍රයකම මිනිස්සු ලොකු වේදනාවකින් එයාලාගේ පපුවට ගහගනියි.+ මනුෂ්‍ය පුත්‍රයා+ මහත් බලයක් සහ තේජසක් ඇතුව වලාකුළුවල එන විදිහ එයාලා දකියි.+ 31  ඔහු මහත් හොරණෑ ශබ්දයක් පතුරුවලා ඔහුගේ දූතයන්ව එවයි. ඒ දූතයන් පොළොවේ හතර කොනේ ඉන්න,* අහසේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කල් ඉන්න ඔහු තෝරගත්ත අයව රැස් කරයි.+ 32  “දැන් අත්තික්කා ගහේ උදාහරණෙන් මේ දේ ඉගෙනගන්න. ඒකේ ළපටි අතු ඇවිත් දලු ලියලද්දී ගිම්හාන කාලේ ළඟයි කියලා ඔයාලා දන්නවා.+ 33  ඒ වගේ ඔයාලා මේ හැම දෙයක්ම වෙනවා දකිද්දී ඔහු දොරකඩ ළඟටම ඇවිල්ලා කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්.+ 34  ඇත්තටම මං ඔයාලට කියන්නේ මේ හැම දෙයක්ම වෙන කල් මේ පරම්පරාව කොහොමටවත් නැති වෙලා යන්නේ නැහැ. 35  අහසයි, පොළොවයි නැති වෙලා යයි. ඒත් මගේ වචන කවදාවත් නැති වෙලා යන්නේ නැහැ.+ 36  “ඒ දවස හරි පැය හරි එන්නේ කවදාද කියලා කවුරුත් දන්නේ නැහැ.+ ස්වර්ගයේ ඉන්න දේවදූතයන්වත් පුතාවත් ඒක දන්නේ නැහැ. ඒක දන්නේ පියාණන් විතරයි.+ 37  මනුෂ්‍ය පුත්‍රයා ආයෙත් පැමිණෙන කාලයේ*+ සිද්ධ වෙන දේවල් නෝවාගේ කාලයේ+ වුණ දේවල්වලට සමානයි. 38  ජලගැල්මට කලින්, ඒ කියන්නේ නෝවා නැවට ඇතුල් වුණ දවස වෙන කල්ම මිනිස්සු කකා බිබී හිටියා. විවාහ වුණා. දුවලව විවාහ කරලා දුන්නා.+ 39  ජලගැල්ම ඇවිත් හැමෝවම ගහගෙන යන කල්+ එයාලා සිද්ධ වෙන දේවල් ගාණකටවත් ගත්තේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා ආයෙත් පැමිණෙන කාලයේදී වෙන්නෙත් ඒ දේමයි. 40  ඒ කාලේදී මිනිස්සු දෙන්නෙක් කෙතේ ඉඳියි. එක් කෙනෙක්ව අරන් යයි. අනිත් කෙනාව දාලා යයි. 41  කාන්තාවන් දෙන්නෙක් ඇඹරුම් ගලේ අඹරමින් ඉඳියි. එක් කෙනෙක්ව අරන් යයි. අනිත් කෙනාව දාලා යයි.+ 42  ඒ නිසා සෝදිසියෙන් ඉන්න. මොකද ඔයාලාගේ ස්වාමීන් එන දවස ඔයාලා දන්නේ නැහැ.+ 43  “ඒත් මේ දේ හිතට ගන්න. හොරා කොයි රැකවල් යාමේ* එනවාද කියලා ගෙදර අයිතිකරු දැනගෙන හිටියා නම්+ එයා අවදිව ඉඳලා එයාගේ ගේ බිඳින්න ඉඩ දෙන්නේ නැහැ.+ 44  ඒ නිසා ඔයාලත් සූදානමින් ඉන්න.+ මොකද මනුෂ්‍ය පුත්‍රයා එන්නේ ඔයාලා හිතන්නේ නැති පැයකදියි. 45  “තම සේවකයන්ව බලාගන්නත් එයාලට නියම වෙලාවට කෑම දෙන්නත් ස්වාමියා පත් කරපු විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?+ 46  ස්වාමියා එද්දී ඒ දාසයා තමන්ට භාර දුන්න වැඩේ කරනවා කියලා ස්වාමියා දකිනවා නම් ඒ දාසයාට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද!+ 47  ඇත්තටම මං ඔයාලට කියන්නේ, ස්වාමියා තමන්ට අයිති හැම දෙයක්ම බලා කියා ගන්න ඒ දාසයාව පත් කරයි. 48  “ඒත් ඒ දාසයා දුෂ්ට කෙනෙක් නම් ‘මගේ ස්වාමියා පරක්කුයි’+ කියලා එයා හිතන්න පටන් අරන් 49  එයාත් එක්ක වැඩ කරන අනිත් දාසයන්ට ගහලා බේබද්දන් එක්ක කකා බිබී හිටියොත් එයාට වෙන්නේ මේ දේයි. 50  ඒ දාසයාගේ ස්වාමියා එයා බලාපොරොත්තු වෙන්නේ නැති දවසක, හිතන්නේ නැති පැයකදී ඇවිත්+ 51  එයාට දරුණු විදිහට දඬුවම් කරලා කුහක අය ඉන්න තැනට ඇදලා දානවා. එහෙදී අඬඅඬ දත්මිටි කකා ඉන්න එයාට සිද්ධ වෙයි.+

පාදසටහන්

හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “ප්‍රසව වේදනා.”
හෝ, “මගේ නම දරන නිසා.”
මූ.අ., “හුඟක් අය වැටිලා යයි.”
හෝ, “පැතලි වහලේ.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.
ඒ කියන්නේ හිතාගන්න බැරි තරම් දුක් පීඩා තියෙන කාලයක්.
හෝ, “පැමිණ සිටින කාලයත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “සතර සුළඟේ ඉන්න.”
හෝ, “පැමිණ සිටින කාලයේ.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “රෑ කීයට.”