මතෙව් 25:1-46

  • යේසුස් ආයෙත් පැමිණෙන කාලය දැනගන්න ලකුණක් (1-46)

    • අවිවාහක තරුණියන් දහදෙනා ගැන උදාහරණය (1-13)

    • තලෙන්ත ගැන උදාහරණය (14-30)

    • බැටළුවන් සහ එළුවන් (31-46)

25  “පහන් අරගෙන+ මනාලයාව හම්බ වෙන්න ගිය අවිවාහක තරුණියන්* දහදෙනෙක්ට+ ස්වර්ග රාජ්‍යය සමාන කරන්න පුළුවන්.  එයාලාගෙන් පස්දෙනෙක් නුවණ නැති අය. අනිත් පස්දෙනා නුවණ ඇති අය.+  මොකද නුවණ නැති අය එයාලාගේ පහන් අරන් ගියත් තෙල් අරන් ගියේ නැහැ.  ඒත් නුවණ ඇති අය එයාලාගේ පහන් එක්ක තෙල් පුරවපු භාජනත් අරන් ගියා.  මනාලයා එන්න පරක්කු වුණ නිසා ඒ හැමෝටම නිදිමත හැදුණා. පස්සේ එයාලට නින්ද ගියා.  මහ රෑ එකපාරටම ‘මෙන්න මනාලයා ඇවිල්ලා! එයාව හම්බ වෙන්න යන්න’ කියලා කවුරු හරි හයියෙන් කියනවා එයාලට ඇහුණා.  එතකොට ඒ තරුණියන් හැමෝම නැඟිටලා එයාලාගේ පහන් ලෑස්ති කරගත්තා.+  ඒ වෙලාවේ නුවණ නැති අය, නුවණ ඇති අය ළඟට ගිහින් ‘අපේ පහන් නිවීගෙන යනවා. ඒ නිසා ඔයාලාගේ තෙල්වලින් ටිකක් අපිට දෙන්න’ කියලා කිව්වා.  එතකොට නුවණ ඇති අය මෙහෙම කිව්වා. ‘අපි ඔයාලට තෙල් දුන්නොත් අපි දෙගොල්ලන්ටම තෙල් මදි වෙයි. ඒ නිසා තෙල් විකුණන අය ළඟට ගිහින් තෙල් සල්ලිවලට ගන්න.’ 10  එයාලා තෙල් ගන්න ගිය අතරේ මනාලයා ආවා. සූදානම් වෙලා හිටිය තරුණියන් එයා එක්ක විවාහ උත්සවය පවත්වන තැනට ගියා.+ ඊටපස්සේ දොර වහලා දැම්මා. 11  පස්සේ අනිත් තරුණියන් ඇවිත් ‘අනේ මහත්මයා, දොර ඇරලා අපිව ඇතුළට ගන්න’+ කියලා කිව්වා. 12  එතකොට මනාලයා මෙහෙම කිව්වා. ‘ඇත්තටම මම ඔයාලව අඳුරන්නේ නැහැ.’ 13  “ඒ නිසා සෝදිසියෙන් ඉන්න.+ මොකද ඔයාලා ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.+ 14  “පිටරටකට යන්න ලෑස්ති වුණ කෙනෙක්ටත් ස්වර්ග රාජ්‍යය සමාන කරන්න පුළුවන්. ඒ කෙනා යන්න කලින් එයාගේ දාසයන්ට එන්න කියලා එයාට අයිති දේවල් එයාලට භාර දුන්නා.+ 15  එයා ඒවා භාර දුන්නේ එක් එක් කෙනාට තියෙන හැකියාවට අනුව. එයා එක් කෙනෙක්ට තලෙන්ත* පහක්, තව කෙනෙක්ට දෙකක්, තවත් කෙනෙක්ට එකක් ගාණේ දීලා පිටරට ගියා. 16  තලෙන්ත පහක් ලැබුණ කෙනා ඒ වෙලාවෙම ගිහින් ඒ තලෙන්තවලින් වෙළඳාම් කරලා තව පහක් හම්බ කරගත්තා. 17  තලෙන්ත දෙකක් ලැබුණ කෙනාත් තවත් දෙකක් හම්බ කරගත්තා. 18  ඒත් එක තලෙන්තයක් ලැබුණ කෙනා ගිහින් පොළොවේ වළක් හාරලා එයාගේ ස්වාමියා දුන්න සල්ලි* හැංගුවා. 19  “කාලයක් ගියාම ස්වාමියා ඒ දාසයන් එක්ක ගණන් හිලව් බලන්න ආවා.+ 20  එතකොට තලෙන්ත පහක් ලැබුණ කෙනා ඇවිත් තවත් තලෙන්ත පහක් දීලා මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, ඔබ මට තලෙන්ත පහක් භාර දුන්නා. බලන්න, මම තව තලෙන්ත පහක් හම්බ කරගත්තා.’+ 21  එතකොට ස්වාමියා මෙහෙම කිව්වා. ‘මට ඔයා ගැන ගොඩක් සතුටුයි! ඔයා හොඳ, විශ්වාසවන්ත දාසයෙක්! මම ඔයාට භාර දුන්න ටික ඔයා විශ්වාසවන්තව පාවිච්චි කළා. ඒ නිසා මං දැන් ගොඩක් දේවල් බලා කියා ගන්න ඔයාට භාර දෙනවා.+ දැන් ඔයාගේ ස්වාමියා එක්ක එකතු වෙලා සතුටු වෙන්න.’+ 22  ඊළඟට තලෙන්ත දෙකක් ලැබුණ කෙනා ඉස්සරහට ඇවිත් ‘ස්වාමීනි, ඔබ මට තලෙන්ත දෙකක් භාර දුන්නා. බලන්න, මම තව තලෙන්ත දෙකක් හම්බ කරගත්තා’ කියලා කිව්වා.+ 23  එතකොට ස්වාමියා එයාට මෙහෙම කිව්වා. ‘මට ඔයා ගැන ගොඩක් සතුටුයි! ඔයා හොඳ, විශ්වාසවන්ත දාසයෙක්! මම ඔයාට භාර දුන්න ටික ඔයා විශ්වාසවන්තව පාවිච්චි කළා. ඒ නිසා මං දැන් ගොඩක් දේවල් බලා කියා ගන්න ඔයාට භාර දෙනවා. දැන් ඔයාගේ ස්වාමියා එක්ක එකතු වෙලා සතුටු වෙන්න.’ 24  “අන්තිමට එක තලෙන්තයක් ලැබුණ කෙනා ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, ඔබ තද හිතක් තියෙන කෙනෙක් කියලා මං දන්නවා. ඔබ අනිත් අය වපුරපු තැන්වලින් අස්වැන්න නෙළාගන්න, අනිත් අය පොළපු ධාන්‍ය එකතු කරගන්න කෙනෙක් කියලත් මං දන්නවා.+ 25  ඉතින් ඒ බයට මං පොළොවේ වළක් හාරලා ඔබ දීපු තලෙන්තය හැංගුවා. මෙන්න, ඔබට අයිති දේ.’ 26  එතකොට ස්වාමියා එයාට මෙහෙම කිව්වා. ‘ඔයා මහා දුෂ්ට, කම්මැළි දාසයෙක්! මම අනිත් අය වපුරපු තැන්වලින් අස්වැන්න නෙළාගන්නවා කියලත් අනිත් අය පොළපු ධාන්‍ය එකතු කරගන්නවා කියලත් 27  ඔයා දැනගෙන හිටියා නම් මගේ සල්ලි* බැංකුකරුවන් ගාව තැන්පත් කරන්න තිබුණා නේද? එහෙම කළා නම් මං ආවාම පොලියත් එක්කම මට අයිති දේ ගන්න තිබුණා. 28  “‘ඒ නිසා මේ කෙනා ගාව තියෙන තලෙන්තය අරගෙන තලෙන්ත දහයක් තියෙන කෙනාට ඒක දෙන්න.+ 29  මොකද තියෙන කෙනාට තවත් වැඩියෙන් ලබා දෙයි. එතකොට ඒ කෙනාට ඇති තරම් දේවල් තියෙයි. ඒත් නැති කෙනාගෙන් එයාට තියෙන දේත් අරගන්නවා.+ 30  කිසි වැඩකට නැති මේ දාසයාව එළියට ඇදලා දාන්න. එතකොට එයාට අන්ධකාරයට වෙලා අඬඅඬ දත්මිටි කකා ඉන්න වෙයි.’ 31  “මනුෂ්‍ය පුත්‍රයා+ සියලුම දේවදූතයන් එක්ක ලොකු තේජසකින් එනවා.+ ඔහු ඇවිත් ඔහුගේ තේජවත් සිංහාසනයේ ඉඳගනියි. 32  සියලු ජාතීන් ඔහු ඉස්සරහට රැස් කරයි. ඊටපස්සේ, ඔහු එඬේරෙක් එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරනවා වගේ මිනිස්සුන්ව වෙන් කරනවා. 33  ඔහු බැටළුවන්ව+ ඔහුගේ දකුණු පැත්තටත් එළුවන්ව ඔහුගේ වම් පැත්තටත් දායි.+ 34  “එතකොට රජ ඔහුගේ දකුණු පැත්තේ ඉන්න අයට මෙහෙම කියයි. ‘මගේ තාත්තා ඔයාලට ආශීර්වාද කරලයි තියෙන්නේ! ඉතින් දැන් එන්න. පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් ඔයාලට සූදානම් කරලා තියෙන රාජ්‍යය උරුම කරගන්න. 35  මොකද මං බඩගින්නේ ඉද්දී ඔයාලා මට කන්න දුන්නා. තිබහෙන් ඉද්දී මට බොන්න දෙයක් දුන්නා. මං අමුත්තෙක් විදිහට ආවාම ඔයාලා මාව ආදරෙන් පිළිගත්තා.+ 36  අඳින්න ඇඳුමක් නැතුව ඉද්දී මට ඇඳුම් දුන්නා.+ මං අසනීපෙන් ඉද්දී ඔයාලා මාව බලාගත්තා. හිරේ ඉද්දීත් මාව බලන්න ආවා.’+ 37  එතකොට ධර්මිෂ්ඨ අය ඔහුට මෙහෙම කියයි. ‘ස්වාමීනි, ඔබ බඩගින්නේ ඉන්නවා දැකලා අපි ඔබට කන්න දුන්නේ කවද්ද? තිබහෙන් ඉන්නවා දැකලා බොන්න දෙයක් දුන්නේ කවද්ද?+ 38  ඔබ අමුත්තෙක් විදිහට ඉද්දී අපි ඔබව ආදරෙන් පිළිගත්තේ කවද්ද? අඳින්න ඇඳුම් නැතුව ඉද්දී ඔබට ඇඳුම් දුන්නේ කවද්ද? 39  ඔබ අසනීපෙන් ඉද්දී නැත්නම් හිරේ ඉද්දී අපි කවද්ද ඔබව බලන්න ආවේ?’ 40  ඒක අහලා රජ එයාලට මෙහෙම කියයි. ‘ඇත්තටම මං ඔයාලට කියන්නේ, මගේ මේ සහෝදරයන් අතරින් සුළුම කෙනාගෙන් එක් කෙනෙක්ට හරි ඔයාලා ඒ විදිහට සැලකුවා නම් ඔයාලා ඒ දේ කළේ මටයි.’+ 41  “ඊළඟට ඔහුගේ වම් පැත්තේ ඉන්න අයට ඔහු මෙහෙම කියයි. ‘දෙවියන් ඔයාලට ශාප කරලයි තියෙන්නේ! දැන් මගෙන් අහකට යන්න.+ යක්ෂයාටත් භූතයන්ටත්*+ සූදානම් කරලා තියෙන සදාකාල ගින්නට*+ ඔයාලත් යන්න. 42  මොකද මං බඩගින්නේ ඉද්දී ඔයාලා මට කන්න කිසිම දෙයක් දුන්නේ නැහැ. තිබහෙන් ඉද්දී කිසිම දෙයක් බොන්න දුන්නෙත් නැහැ. 43  අමුත්තෙක් විදිහට ඔයාලා ළඟට එද්දී ඔයාලා මාව ආදරෙන් පිළිගත්තේ නැහැ. අඳින්න ඇඳුම් නැතුව ඉද්දී මට ඇඳුම් දුන්නේ නැහැ. අසනීපෙන් ඉද්දී, හිරේ ඉද්දී ඔයාලා මාව බලාගත්තේ නැහැ.’ 44  ඒක ඇහුවාම එයාලා මෙහෙම කියයි. ‘ස්වාමීනි, අපි ඔබට උදව් කළේ නැහැ කියලා ඔබ කියන්නේ කොහොමද? ඔබ බඩගින්නේ හරි තිබහෙන් හරි ඉන්නවා අපි දැක්කේ නෑනේ! ඔබ අමුත්තෙක් විදිහට අපි ගාවට ආවේ කවද්ද? ඔබ ඇඳුම් නැතුව ඉන්නවාවත් අසනීපෙන් ඉන්නවාවත් හිරේ ඉන්නවාවත් අපි දැකලා නැහැ.’ 45  එතකොට ඔහු එයාලට මෙහෙම කියයි. ‘ඇත්තටම මං ඔයාලට කියන්නේ, මේ අය අතරින් සුළුම කෙනාගෙන් එක් කෙනෙක් වෙනුවෙන් හරි ඔයාලා ඒ දේවල් කළේ නැහැ කියන්නේ ඔයාලා මං වෙනුවෙන් ඒ දේවල් කළේ නැහැ කියන එකයි.’+ 46  ඒ නිසා එයාලට ලැබෙන දඬුවම, සදාකාල මරණයයි.*+ ඒත් ධර්මිෂ්ඨ අයට සදාකාල ජීවනය උරුම වෙනවා.”+

පාදසටහන්

මූ.අ., “කන්‍යාවන්.”
ග්‍රීක තලෙන්තයක බර කි.ග්‍රෑ. 20.4ක්. උප. B14 බලන්න.
මූ.අ., “රිදී.”
මූ.අ., “රිදී.”
මෙතන කතා කරන්නේ ආදම් සහ ඒවගේ දරුවන් ගැන.
මූ.අ., “ඔහුගේ දූතයන්ටත්.”
ඒ කියන්නේ හැමදාටම විනාශ වෙනවා කියන එක.
මූ.අ., “එයාලව කපලා ඉවත් කරයි; කප්පාදු කරයි.”