මතෙව් 27:1-66

  • යේසුස්ව පිලාත්ට භාර දෙයි (1, 2)

  • යූදස් එල්ලිලා මැරෙයි (3-10)

  • යේසුස්ව පිලාත් ඉස්සරහට අරන් යයි (11-26)

  • ප්‍රසිද්ධියේ ලැජ්ජා කරයි (27-31)

  • ගොල්ගොතාවලදී කණුවක ඇණ ගහයි (32-44)

  • යේසුස්ගේ මරණය (45-56)

  • යේසුස්ව තැන්පත් කරයි (57-61)

  • සොහොන ආරක්ෂා කරයි (62-66)

27  උදේ වෙද්දී නායක පූජකයෝ සහ සෙනඟ අතරේ හිටිය වැඩිමහල්ලෝ හැමෝම යේසුස්ව මරන්නේ කොහොමද කියලා කතා වුණා.+  එයාලා යේසුස්ව බැඳලා ආණ්ඩුකාරයා වුණ පිලාත් ළඟට අරන් ගිහින් භාර දුන්නා.+  යේසුස්ව මරණයට නියම කරලා තියෙනවා කියලා දැක්කාම ඔහුව පාවලා දුන්න එක ගැන යූදස් පසුතැවුණා. ඒ නිසා එයා නායක පූජකයන් සහ වැඩිමහල්ලන් ළඟට ගිහින් රිදී කාසි* 30 එයාලට දීලා+  මෙහෙම කිව්වා. “මං කළේ ලොකු වරදක්! මොකද මං ඔයාලට පාවලා දුන්නේ කිසිම වරදක් කළේ නැති කෙනෙක්ව.”* එතකොට එයාලා “ඉතින් අපිට මොකද? ඒක ඔයාගේ ප්‍රශ්නයක්” කියලා කිව්වා.  ඉතින් එයා රිදී කාසි ටික දේවමාලිගාව ඇතුළට වීසි කරලා එතනින් ගිහින් එල්ලිලා මැරුණා.+  නායක පූජකයෝ රිදී කාසි ටික අරගෙන “මේ සල්ලි මිනී මැරුමකට ගෙවපු කුලියක්. ඒ නිසා ඒවා දේවමාලිගාවේ භාණ්ඩාගාරයට දාන එක හරි නැහැ” කියලා කිව්වා.  පස්සේ එයාලා ඒ ගැන සාකච්ඡා කරලා ඒ සල්ලිවලින් කුඹල්කරුගේ පිට්ටනිය මිල දී ගන්න තීරණය කළා. ඒක මිල දී ගත්තේ විදේශිකයන්ව තැන්පත් කරන්න.  අද වෙන කල්ම ඒ පිට්ටනියට කියන්නේ “ලේ පිට්ටනිය”+ කියලයි.  ඒකෙන් අනාගතවක්තෘ යෙරෙමියා* කියපු මේ දේ ඉටු වුණා. “එයාලා ඒ මිනිසා වෙනුවෙන් නියම කරපු මුදල වන රිදී කාසි 30 (ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරදෙනෙක් ඔහු වෙනුවෙන් නියම කළේ ඒ ගාණයි) අරගෙන, 10  කුඹල්කරුගේ පිට්ටනියට ගෙව්වා. ඒක වුණේ යෙහෝවා* මට කියපු විදිහටයි.”+ 11  යේසුස්ව ආණ්ඩුකාරයා ඉස්සරහට අරන් ගියාම ආණ්ඩුකාරයා ඔහුගෙන් ඇහුවා “ඔයා යුදෙව්වන්ගේ රජද” කියලා. “ඔව්, ඒක හරි”* කියලා යේසුස් කිව්වා.+ 12  ඒත් නායක පූජකයෝයි, වැඩිමහල්ලෝයි ඔහුට විරුද්ධව චෝදනා කරද්දී ඔහු එයාලට කිසිම උත්තරයක් දුන්නේ නැහැ.+ 13  එතකොට පිලාත් “එයාලා ඔයාට කොච්චර චෝදනා කරනවාද කියලා ඔයාට ඇහෙන්නේ නැද්ද” කියලා ඇහුවා. 14  ඒත් යේසුස් වචනයකින්වත් උත්තර දුන්නේ නැහැ. ඒ ගැන ආණ්ඩුකාරයා ගොඩක් පුදුම වුණා. 15  ආණ්ඩුකාරයා සිරිතක් විදිහට හැම පාස්කු උත්සවයකදීම සෙනඟ නිදහස් කරන්න කියලා ඉල්ලන ඕනෙම හිරකරුවෙක්ව නිදහස් කළා.+ 16  ඒ දවස්වල හුඟක් දරුණු අපරාධකරුවෙක් වුණ බරබ්බස් කියලා කෙනෙක් එයාලාගේ හිරභාරයේ හිටියා. 17  ඉතින් රැස් වෙලා හිටපු සෙනඟගෙන් පිලාත් මෙහෙම ඇහුවා. “ඔයාලා කැමති මං කාව නිදහස් කරනවාටද? බරබ්බස්වද නැත්නම් ක්‍රිස්තුස් කියලා කියන යේසුස්වද?” 18  පිලාත් දැනගෙන හිටියා එයාලා යේසුස්ව තමන්ට භාර දුන්නේ එයාලා යේසුස්ට ඊර්ෂ්‍යා කරපු නිසයි කියලා. ඒ නිසයි එයා ඒ වගේ දෙයක් එයාලාගෙන් ඇහුවේ. 19  පිලාත් විනිශ්චයාසනයේ ඉඳගෙන ඉද්දී එයාගේ බිරිඳ එයාට මේ පණිවිඩය එව්වා. “ඒ ධර්මිෂ්ඨ මනුස්සයාට මුකුත්ම කරන්න යන්න එපා. මොකද ඊයේ රෑ මං එයා ගැන ගොඩක් බය හිතෙන හීනයක් දැක්කා. අද දවස තිස්සේම ඒක මගේ හිතට හුඟක් වධ දුන්නා.” 20  ඒත් නායක පූජකයෝ සහ වැඩිමහල්ලෝ, බරබ්බස්ව නිදහස් කරලා+ යේසුස්ව මරන්න+ කියලා ආණ්ඩුකාරයාගෙන් ඉල්ලන්න කියලා සෙනඟට කිව්වා. 21  ඊටපස්සේ ආණ්ඩුකාරයා සෙනඟගෙන් ඇහුවා “ඔයාලා කැමති මං මේ දෙන්නාගෙන් කාව නිදහස් කරනවාටද” කියලා. “බරබ්බස්ව නිදහස් කරන්න” කියලා එයාලා කිව්වා. 22  එතකොට පිලාත් මෙහෙම ඇහුවා. “එහෙනම් ක්‍රිස්තුස් කියලා කියන යේසුස්ට මං මොනවාද කරන්න ඕනේ?” “එයාව කණුවක ඇණ ගහලා මරන්න”+ කියලා සෙනඟ කෑගහලා කිව්වා. 23  එතකොට පිලාත් “ඇයි ඔයාලා එහෙම කියන්නේ? මොකක්ද එයා කරපු වරද” කියලා ඇහුවා. ඒත් එයාලා තවත් හයියෙන් “එයාව කණුවක ඇණ ගහලා මරන්න”+ කියලා කෑගැහුවා. 24  තමන්ගේ උත්සාහයෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලත් කෝලහලයක් ඇති වෙන්න පටන් අරන් කියලත් පිලාත් දැක්කා. ඒ නිසා එයා සෙනඟට පේන්න වතුර ටිකක් අරගෙන එයාගේ අත් දෙක හෝදන ගමන් මෙහෙම කිව්වා. “මේ මිනිසාගේ මරණයට* මං නම් වග කියන්නේ නැහැ. ඒකට වග කියන්න ඕනෙ ඔයාලයි.” 25  එතකොට ඒ හැමෝම “එයාගේ මරණයේ වගකීම අපියි, අපේ දරුවනුයි භාරගන්නවා”+ කියලා උත්තර දුන්නා. 26  ඉතින් පිලාත් සෙනඟ කියපු විදිහට බරබ්බස්ව නිදහස් කරලා යේසුස්ට කසයෙන් ගහන්න+ කියලා අණ කළා. ඊටපස්සේ ඔහුව කණුවක ඇණ ගහලා මරලා දාන්න+ සෙබළුන්ට භාර දුන්නා. 27  ආණ්ඩුකාරයාගේ සෙබළු ඔහුව ආණ්ඩුකාරයාගේ නිවසට අරන් ගිහින් අනිත් සෙබළු හැමෝවම එතනට රැස් කළා. ඒ සෙබළු හැමෝම යේසුස්ව වට කරගත්තා.+ 28  එයාලා යේසුස්ගේ පිට වස්ත්‍ර ගලවලා තද රතු පාට සළුවක්+ ඔහුට ඇන්දුවා. 29  ඊටපස්සේ එයාලා කටු අතුවලින් ඔටුන්නක් හදලා ඒක ඔහුගේ ඔළුවට දාලා ඔහුගේ දකුණු අතට බට දණ්ඩක් දුන්නා. එයාලා ඔහු ඉස්සරහා දණගහලා සමච්චලේට වගේ “යුදෙව්වන්ගේ රජ්ජුරුවෙනි, අපි ඔබට සුබ පතනවා”* කියලා ඔහුට කියන්න පටන්ගත්තා. 30  එයාලා ඔහුට කෙළ ගහලා+ ඔහුගේ අතේ තිබුණ බට දණ්ඩ අරන් ඔහුගේ ඔළුවට ගහන්න පටන්ගත්තා. 31  ඒ විදිහට ඔහුට ගොඩක් සමච්චල් කළාට පස්සේ එයාලා ඔහුට අන්දවපු සළුව ගලවලා ඔහුගේ පිට වස්ත්‍ර ආයෙත් ඔහුට ඇන්දුවා. ඊටපස්සේ එයාලා ඔහුව කණුවක ඇණ ගහන්න අරගෙන ගියා.+ 32  එයාලා නුවරෙන් පිට වෙලා යද්දී සිරේනිය කියන නගරේ වැසියෙක් වන සීමොන් කියන කෙනාව එයාලට හම්බ වුණා. යේසුස්ගේ වධකණුව* උස්සගෙන යන්න කියලා එයාලා එයාට බල කළා.+ 33  එයාලා හිස්කබල කියන තේරුම තියෙන ගොල්ගොතා කියන තැනට ආවා.+ 34  එතනදී එයාලා යේසුස්ට තිත්ත දෙයක්* මිශ්‍ර කරපු වයින් බොන්න දුන්නා.+ ඒත් ඒකේ රහ දැනුණාම ඔහු ඒක බොන්නේ නැතුව හිටියා. 35  එයාලා ඔහුව කණුවේ ඇණ ගැහුවාට පස්සේ දාදු දාලා ඔහුගේ පිට වස්ත්‍ර එයාලා අතරේ බෙදාගත්තා.+ 36  එයාලා එතන ඉඳගෙන ඔහුව මුර කළා. 37  ඒ වගේම ඔහුට දඬුවම් කරපු හේතුව සඳහන් වුණ ලියවිල්ලක් එයාලා ඔහුගේ ඔළුවට උඩින් සවි කළා. ඒකේ ලියලා තිබුණේ “මේ යුදෙව්වන්ගේ රජ වන යේසුස්” කියලයි.+ 38  ඊටපස්සේ එයාලා ඔහුගේ කණුවට දෙපැත්තෙන් හොරු දෙන්නෙක්වත් කණුවල එල්ලුවා.+ 39  ඒ ස්ථානය පහු කරගෙන යන එන අය තමන්ගේ ඔළුව වනවන+ ඔහුට මෙහෙම නින්දා කළා.+ 40  “ඔයා මහ ලොකුවට කිව්වේ දේවමාලිගාව කඩලා දාලා දවස් තුනකින් ඒක ආපහු හදනවා කියලා.+ ඉතින් දැන් ඔතනින් බේරිලා එන්න ඔයාට පුළුවන්නේ. ඔයා දෙවියන්ගේ පුතෙක් නම් ඔය වධකණුවෙන්* බැහැලා එන්න.”+ 41  ඒ විදිහටම නායක පූජකයෝයි, නීතිය පිටපත් කරන අයයි, වැඩිමහල්ලෝයි ඔහුට සමච්චල් කරන්න පටන්ගත්තා. එයාලා මෙහෙම කිව්වා.+ 42  “අනිත් අයව නම් එයා බේරගත්තා. හැබැයි එයාවම බේරගන්න එයාට බැහැ. එයා ඊශ්‍රායෙල්වරුන්ගේ රජ නේද!+ එයා වධකණුවෙන්* බැහැලා ආවොත් අපි අනිවාර්යයෙන්ම එයාව විශ්වාස කරනවා. 43  එයාගේ ජීවිතේ එයා දෙවියන්ට භාර දුන්නානේ. ඉතින් දෙවියන්ට ඕනෙ නම්, දෙවියන්ම ඇවිත් එයාව බේරගත්තදෙන්!+ මොකද එයා කිව්වානේ ‘මම දෙවියන්ගේ පුතා’ කියලා.”+ 44  යේසුස්ට දෙපැත්තෙන් කණුවල එල්ලලා හිටපු හොරු දෙන්නාත් ඔහුට අපහාස කළා.+ 45  හයවෙනි පැයේ* ඉඳන් මුළු පළාතම අන්ධකාරයෙන් වැහිලා ගියා. ඒ අන්ධකාරය නමවෙනි පැය* වෙන කල්ම තිබුණා.+ 46  නමවෙනි පැයේදී යේසුස් කෑගහලා මෙහෙම කිව්වා. “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” ඒකේ තේරුම “මගේ දෙවියනි, මගේ දෙවියනි, ඇයි ඔයා මාව අත්හැරියේ” කියන එකයි.+ 47  ඒක ඇහුණාම ළඟ හිටගෙන හිටපු සමහරු “එයා එලියාට අඬගහනවා” කියලා කිව්වා.+ 48  ඒ වෙලාවෙම එක් කෙනෙක් දුවගෙන ගිහින් ස්පොන්ජියක් වගේ දෙයක් අරගෙන ඒක ඇඹුල් වයින්වල පොඟවලා බට දණ්ඩක ගහලා යේසුස්ට බොන්න දුන්නා.+ 49  ඒත් එතන හිටපු අනිත් අය “එයාට ඔහොම ඉන්න දෙන්න! එයාව බේරගන්න එලියා එයිද කියලා අපි බලමු.” 50  යේසුස් ආයෙත් හයියෙන් කෑගහලා අවසන් හුස්ම* හෙළුවා.+ 51  ඒ වෙලාවේ එකපාරටම ශුද්ධස්ථානයේ තිරය+ උඩ ඉඳන් පල්ලෙහට ඉරිලා+ දෙකට වෙන් වුණා.+ භූමිකම්පාවක් ඇති වෙලා පර්වතත් පැළිලා ගියා. 52  ඒත් එක්කම සොහොන් ගෙවල් ඇරිලා, මරණ නින්දේ සැතපිලා හිටිය ශුද්ධ තැනැත්තන් හුඟදෙනෙක්ගේ මළ සිරුරු එළියට වීසි වුණා. 53  ඒ මළ සිරුරු හුඟක් අය දැක්කා. (යේසුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වාට පස්සේ සොහොන් ගෙවල් තිබුණ පැත්තේ හිටපු අය ශුද්ධ නුවරට ගියා.)* 54  හමුදා නිලධාරියා සහ එයාත් එක්ක යේසුස්ව මුර කරමින් හිටපු අය භූමිකම්පාවයි, සිද්ධ වුණ අනිත් දේවලුයි දැක්කාම හුඟක් බය වෙලා “ඇත්තටම මෙයා දෙවියන්ගෙම පුතා තමයි” කියලා කිව්වා.+ 55  දුර ඉඳන් කාන්තාවන් හුඟදෙනෙකුත් සිද්ධ වුණ දේවල් දිහා බලාගෙන හිටියා. ඒ, යේසුස්ගේ උදව්වට ගලීලයේ ඉඳන් ඔහුත් එක්ක ආපු අයයි.+ 56  එයාලා අතරේ මරියා මග්දලේනායි, යාකොබ් සහ යෝසෙස්ගේ අම්මා වුණ මරියායි, සෙබදීගේ පුතාලාගේ අම්මායි හිටියා.+ 57  හවස් වෙන්න ළං වෙලා තියෙද්දී අරිමාතිය කියන නගරයේ වැසියෙක් වුණ යෝසෙප් කියන කෙනා එතනට ආවා. යේසුස්ගේ ගෝලයෙක් වුණ එයා පොහොසත් කෙනෙක්.+ 58  එයා පිලාත් ළඟට ගිහින් යේසුස්ගේ දේහය අරගෙන යන්න අවසර ඉල්ලුවා.+ එතකොට පිලාත් ඒක එයාට දෙන්න කියලා අණ කළා.+ 59  යෝසෙප් යේසුස්ගේ දේහය අරගෙන පිරිසිදු, හොඳම ලිනන් රෙදිවලින් ඔතලා+ 60  අලුත් සොහොන් ගෙයක* ඒක තැන්පත් කළා.+ පර්වතයක් කපලා හදලා තිබුණ ඒ සොහොන් ගේ යෝසෙප්ට අයිති එකක්. සොහොන් ගෙට ඇතුල් වෙන තැනට ලොකු ගලක් පෙරළලා ඒක වහලා එයා එතනින් ගියා. 61  ඒත් මරියා මග්දලේනා සහ මරියා කියලා හඳුන්වපු අනිත් කාන්තාව දිගටම සොහොන් ගේ ඉස්සරහට වෙලා ඉඳගෙන හිටියා.+ 62  සූදානම් වෙන දවසට පහුවෙනිදා+ නායක පූජකයෝයි, පරිසිවරුයි පිලාත් ඉස්සරහා රැස් වෙලා 63  මෙහෙම කිව්වා. “උතුමාණෙනි, ඒ වංචාකාරයා ජීවතුන් අතරේ ඉද්දී කියපු දෙයක් අපිට මතක් වුණා. එයා කිව්වා ‘දවස් තුනකට පස්සේ මාව මරණයෙන් නැඟිට්ටවනවා’ කියලා.+ 64  ඒ නිසා දැන් තුන්වෙනි දවස වෙන කල් සොහොන් ගේ ළඟ ඉඳන් ඒක මුර කරන්න කියලා අණ කරන්න. නැත්නම් එයාගේ ගෝලයන් ඇවිල්ලා එයාගේ දේහය හොරකම් කරලා+ සෙනඟට කියයි ‘එයාව මරණයෙන් නැඟිට්ටෙව්වා’ කියලා. එහෙම වුණොත් අන්තිමට කරපු වංචාව මුලින් කරපු එකට වඩා ගොඩක් දරුණු වෙයි.” 65  එතකොට පිලාත් “ඔයාලා මේ මුරකරුවන්ව එක්කන් ගිහින් සොහොන් ගේ හොඳට ආරක්ෂා කරන්න” කියලා කිව්වා. 66  ඉතින් එයාලා ගිහින් ගල මුද්‍රා කරලා සොහොන් ගේ ආරක්ෂා කරන්න මුරකරුවන්ව දැම්මා.

පාදසටහන්

මූ.අ., “රිදී කෑලි.”
මූ.අ., “අහිංසක ලේ.”
මතෙව්ගේ කාලයේදී හැම අනාවැකි පොතක්ම හැඳින්නුවේ “යෙරෙමියා” කියන නමින් වෙන්න ඇති.
උප. A5 බලන්න.
මූ.අ., “ඔබම ඒකට උත්තරේ දුන්නා.” ඒක ප්‍රශ්නයකට “ඔව්” කියලා උත්තර දෙන විදිහක්.
මූ.අ., “ලේවලට.”
හෝ, “ජය වේවා!”
ශාකයකින් ලබාගත්ත තිත්ත දියරයක්.
ඒ කියන්නේ දවල් 12ට විතර.
ඒ කියන්නේ හවස 3ට විතර.
මූ.අ., “ජීවන හුස්ම.”
පේන විදිහට එයාලා නුවරට ආවේ එයාලා දැකපු දේ ගැන දැනුම් දෙන්නයි.
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙයක.”