මතෙව් 4:1-25

  • යක්ෂයා යේසුස්ව වරදකට පොලඹවන්න උත්සාහ කරයි (1-11)

  • යේසුස් ගලීලයේ දේශනා කරන්න පටන්ගනියි (12-17)

  • මුල්ම ගෝලයන්ව කැඳවයි (18-22)

  • යේසුස් දේශනා කරයි, උගන්වයි, සුව කරයි (23-25)

4  ඊටපස්සේ දෙවියන්ගේ බලය යේසුස්ට පාළුකරයට යන්න මඟ පෙන්නුවා. එහෙදී යක්ෂයා+ ඔහුව වරදකට පොලඹවන්න උත්සාහ කළා.+  යේසුස් දවස් 40ක් තිස්සේ රෑ දවල් දෙකේම නිරාහාරව හිටිය නිසා ඔහුට බඩගින්නක් දැනුණා.  ඒ වෙලාවේ වරදට පොලඹවන කෙනා+ ඇවිත් ඔහුට මෙහෙම කිව්වා. “ඔයා දෙවියන්ගේ පුතෙක් නම් මේ ගල් රොටි කරන්න.”  ඒත් ඔහු මෙහෙම උත්තර දුන්නා. “‘මිනිස්සු එයාලාගේ ජීවිත පවත්වගෙන යන්න ඕනෙ කෑමවලින් විතරක් නෙමෙයි, යෙහෝවා* කියන හැම දෙයක්මත් ඒකට අත්‍යවශ්‍යයි’+ කියලා ලියලා තියෙනවා.”  ඊටපස්සේ යක්ෂයා ඔහුව ශුද්ධ නුවරට අරන් ගියා.+ එහෙදී යක්ෂයා යේසුස්ව දේවමාලිගාවේ පවුර උඩටම* එක්කන් ගිහින්,+  මෙහෙම කිව්වා. “ඔයා දෙවියන්ගේ පුතෙක් නම් මෙතනින් පනින්න. මොකද ‘දෙවියන් ඔහුගේ දූතයන්ට ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි. ඔවුන් කිසිම අවස්ථාවක ඔබේ පය ගලක වදින්න දෙන්නේ නැතුව ඔවුන්ගේ අත්වලින් ඔබව උසුලන් යයි’+ කියලා ලියලා තියෙනවා.”  එතකොට යේසුස් යක්ෂයාට මෙහෙම උත්තර දුන්නා. “‘ඔයාලාගේ දෙවි යෙහෝවාව* සැක කරලා ඔහුට ඔයාලව රැකබලා ගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න එපා’+ කියලත් ලියලා තියෙනවා.”  ඊළඟට යක්ෂයා හිතාගන්න බැරි තරම් උස කන්දකට ඔහුව අරන් ගියා. එහෙදී ලෝකයේ තියෙන හැම රාජ්‍යයක්මත් ඒවාවල තේජසත් ඔහුට පෙන්නලා,+  “මං ඉස්සරහා වැඳ වැටිලා මට එක පාරක් නමස්කාර කළොත් මම මේ හැම දෙයක්ම ඔයාට දෙනවා” කියලා යක්ෂයා යේසුස්ට කිව්වා. 10  එතකොට යේසුස් මෙහෙම කිව්වා. “සාතන්, මගෙන් අහකට යන්න! මොකද ‘ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි.*+ පරිශුද්ධ සේවයක් කරන්න ඕනෙ ඔහුට විතරයි’+ කියලා ලියලා තියෙනවා.” 11  ඊටපස්සේ යක්ෂයා එතනින් යන්න ගියා.+ ඒත් එක්කම දේවදූතයෝ ඇවිත් යේසුස්ට ඕනෙ කරන දේවල් දීලා ඔහුව ශක්තිමත් කළා.+ 12  යොහන්ව අත්අඩංගුවට අරන්+ කියලා යේසුස්ට ආරංචි වුණාම ඔහු ආයෙත් ගලීලයට ගියා.+ 13  පස්සේ ඔහු නාසරෙත්වලින් පිට වෙලා කපර්ණවුමට ගිහින් එහේ නැවතිලා හිටියා.+ කපර්ණවුම තිබුණේ සෙබ්‍යූලන් සහ නෆ්තලී ප්‍රදේශවලට අයිති ගලීල මුහුද ළඟ. 14  යේසුස් එහෙම කළේ අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කියපු මේ දේ ඉටු වෙන්නයි. 15  “විදේශිකයන් ජීවත් වෙන ගලීලයේ වැසියෙනි, යොර්දාන් ගඟෙන් එහා* පැත්තේ, මුහුද පැත්තට යන මාර්ගයේ තියෙන සෙබ්‍යූලන් සහ නෆ්තලී දේශවල වැසියෙනි, 16  අඳුරේ ඉන්න ජනයා ලොකු ආලෝකයක් දැක්කා. මරණය ගෙන දෙන ඝන අන්ධකාරයෙන් වැහිලා ගිය දේශයේ වැසියන්ට ආලෝකය+ උදා වුණා.”+ 17  ඒ කාලේ ඉඳන් යේසුස් “පසුතැවිලි වෙන්න. මොකද ස්වර්ග රාජ්‍යය ළඟටම ඇවිත්”+ කියලා දේශනා කරන්න පටන්ගත්තා. 18  ඔහු ගලීල මුහුද ළඟ ඇවිදන් යද්දී පේතෘස් කියලා හඳුන්වපු සීමොන්වයි,+ එයාගේ සහෝදරයා වුණ අන්දෘවයි දැක්කා. ධීවරයන් වුණ එයාලා ඒ වෙලාවේ මුහුදට මාළු දැලක් එළමින් හිටියේ.+ 19  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මගේ පිටිපස්සෙන් එන්න. මම ඔයාලව මිනිසුන් අල්ලන්නන් කරනවා.”+ 20  එයාලා ඒ වෙලාවෙම දැල් පැත්තකින් තියලා ඔහුගේ පිටිපස්සෙන් ගියා.+ 21  ඔහු තව ටිකක් ඉස්සරහට යද්දී සහෝදරයන් දෙන්නෙක් වුණ යාකොබ්වයි, යොහන්වයි දැක්කා.+ එයාලා සෙබදීගේ පුතාලා. එයාලා බෝට්ටුවේ ඉඳන් එයාලාගේ තාත්තා වුණ සෙබදීත් එක්ක දැල්වල ඉරුණු තැන් හදහදයි හිටියේ. ඔහු ඒ දෙන්නාටත් අඬගැහුවා.+ 22  එයාලා ඒ වෙලාවෙම බෝට්ටුවෙන් බැහැලා තාත්තාට සමු දීලා ඔහු පස්සෙන් ගියා. 23  ඊටපස්සේ යේසුස් ගලීලය පුරාම+ ගිහින් එහේ තිබුණ සිනගෝගවල*+ ඉගැන්නුවා. ඔහු රාජ්‍යය ගැන ශුභාරංචියත් දේශනා කළා. ඒ වගේම මිනිස්සුන්ට හැදිලා තිබුණ හැම ලෙඩක්ම, හැම ආබාධයක්ම ඔහු සුව කළා.+ 24  සිරියාව පුරාම හිටපු අය ඔහු ගැන කතා වෙන්න පටන්ගත්තා. ඒ නිසා මිනිස්සු එක එක අසනීප, ආබාධ සහ වේදනා+ නිසා දුක් වින්ද අයව ඔහු ළඟට අරන් ආවා. භූතයන් වැහිලා හිටපු අයවත්+ මීමැස්මොර රෝගීන්වත්+ අත පය පණ නැති අයවත් ඔහු ළඟට අරන් ආවා. ඔහු ඒ හැමෝවම සුව කළා. 25  ගලීලයෙන්, දෙකපොලිසයෙන්,* යෙරුසලමෙන්, යුදයෙන් සහ යොර්දාන් ගඟ එගොඩින් විශාල සෙනඟක් ඇවිත් ඔහු පස්සෙන් ගියා.

පාදසටහන්

උප. A5 බලන්න.
හෝ, “උසම තැනට.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
ඒ කියන්නේ බස්නාහිර පැත්තේ.
හෝ, “නගර දහයක් තියෙන ප්‍රදේශයෙන්.”