මතෙව් 5:1-48

  • කන්ද උඩ දේශනාව (1-48)

    • යේසුස් කන්ද උඩදී උගන්වයි (1, 2)

    • සතුටට හේතු වෙන දේවල් නවයක් (3-12)

    • ලුණු සහ ආලෝකය (13-16)

    • යේසුස් ආවේ නීතිය ඉටු කරන්න (17-20)

    • කේන්ති යන එක (21-26), අනාචාරය (27-30), දික්කසාදය (31, 32), දිවුරුම් දෙන එක (33-37), පළිගන්න එක (38-42), සතුරන්ට ආදරේ කරන එක ගැන දුන්න මඟ පෙන්වීම් (43-48)

5  ඒ සෙනඟව දැක්කාම යේසුස් කන්ද උඩට ගිහින් එක තැනක ඉඳගත්තා. ඔහුගේ ගෝලයොත් ඔහු ළඟට ආවා.  ඊටපස්සේ යේසුස් ඒ අයට මෙහෙම උගන්වන්න පටන්ගත්තා.  “දෙවියන්ගේ මඟ පෙන්වීම් තමන්ට නිතරම ඕනෙ කියලා තේරුම් අරන් ඉන්න අය* සන්තෝෂවත්.+ මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි.  “වැලපෙන අය සන්තෝෂවත්. මොකද එයාලට සැනසීම ලැබෙනවා.+  “නිහතමානී අය* සන්තෝෂවත්.+ මොකද එයාලට පොළොව උරුම වෙනවා.+  “දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ලොකු ආශාවක් තියෙන අය* සන්තෝෂවත්.+ මොකද දෙවියන් එයාලාගේ ආශාව තෘප්තිමත් කරනවා.+  “දයාවන්ත අය සන්තෝෂවත්.+ මොකද අනිත් අය* එයාලටත් දයාව පෙන්වනවා.  “පවිත්‍ර හිත් තියෙන අය සන්තෝෂවත්.+ මොකද එයාලට දෙවියන්ව දකින්න ලැබෙනවා.  “සාමය ඇති කරන්න වෙහෙසෙන අය සන්තෝෂවත්.+ මොකද එයාලව දෙවියන්ගේ පුතාලා විදිහට හඳුන්වයි. 10  “දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා පීඩා විඳින අය සන්තෝෂවත්.+ මොකද ස්වර්ග රාජ්‍යය අයිති ඒ අයටයි. 11  “මං නිසා මිනිස්සු ඔයාලට නින්දා+ පීඩා කරද්දී,+ දුෂ්ට විදිහට ඔයාලා ගැන එක එක විදිහේ බොරු චෝදනා කරද්දී ඔයාලා සන්තෝෂවත්.+ 12  සතුටු වෙන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ මොකද ස්වර්ගයේ ඔයාලට වටිනා තෑග්ගක් තියෙනවා.+ ඔයාලට කලින් හිටපු අනාගතවක්තෘවරුන්ටත් එයාලා ඒ විදිහටම පීඩා කළා.+ 13  “පොළොවේ ලුණු ඔයාලයි.+ ඒත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ රස ආයෙත් ගන්න පුළුවන්ද? ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඒක එළියට වීසි කරලා දාන්න වෙනවා.+ අන්තිමට වෙන්නේ ඒක මිනිස්සුන්ගේ පයට පෑගිලා යන එකයි. 14  “ලෝකයේ ආලෝකය ඔයාලයි.+ කන්දක් මුදුනේ නුවරක් තියෙද්දී ඒක හංගන්න බැහැ. 15  මිනිස්සු පහනක් දල්වලා ඒක කූඩයකින්* වහලා තියන්නේ නැහැ. ඒ වෙනුවට ඒක තියන්නේ පහන් රුකක් උඩ. එතකොට ඒකෙන් ගෙදර ඉන්න හැමෝටම ආලෝකය ලැබෙනවා.+ 16  ඒ විදිහට ඔයාලත් මිනිස්සු ඉස්සරහා ඔයාලාගේ ආලෝකය විහිදුවන්න.+ එතකොට ඒ අය ඔයාලා කරන හොඳ දේවල් දැකලා+ ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්ට ප්‍රශංසා කරයි.+ 17  “මං ආවේ නීතියවත් අනාගතවක්තෘවරුන් කියපු දේවල්වත් නැති කරලා දාන්න කියලා හිතන්න එපා. මං ආවේ ඒවා ඉටු කරන්න. ඒවා නැති කරලා දාන්න නෙමෙයි.+ 18  ඇත්තටම මං කියන්නේ, අහස පොළොව පහ වෙලා ගියත් නීතියේ තියෙන කිසිම දෙයක් පහ වෙලා යන්නේ නැහැ. ඒකේ තියෙන පුංචිම අකුරක් වුණත් අකුරකට අයිති පුංචිම ලකුණක් වුණත් පහ වෙලා යන්නේ නැහැ. නීතියේ තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+ 19  ඒ නිසා මේ අණපනත්වලින් සුළුම එකක් වුණත් කඩ කරන, එහෙම නැත්නම් ඒවා කඩ කරන්න අනුන්ව පොලඹවන ඕනෙම කෙනෙක්ව හඳුන්වන්නේ ස්වර්ග රාජ්‍යයට සුදුසු නැති* කෙනෙක් විදිහටයි. ඒත් කෙනෙක් ඒවා පිළිපදිනවා නම්, අනිත් අයට ඒවා ගැන උගන්වනවා නම් ඒ කෙනාව හඳුන්වන්නේ ස්වර්ග රාජ්‍යයට සුදුසු* කෙනෙක් විදිහටයි. 20  මං ඔයාලට කියන්නේ නීතිය පිටපත් කරන අයටයි, පරිසිවරුන්ටයි වඩා ඔයාලා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ඕනෙ කියලයි.+ එහෙම කළේ නැත්නම් ඔයාලට කවදාවත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ.+ 21  “‘මිනී මරන්න එපා’+ කියලත් ‘මිනී මරන ඕනෙම කෙනෙක් අධිකරණය ඉස්සරහට එන්න ඕනෙ’+ කියලත් අතීතයේ හිටපු අයට කිව්වා කියලා ඔයාලා අහලා තියෙනවා. 22  ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. තමන්ගේ සහෝදරයා එක්ක දිගින් දිගටම කේන්තියෙන් ඉන්න+ හැම කෙනෙක්ම අධිකරණය ඉස්සරහා පෙනී ඉන්න ඕනේ. ඒ වගේම, අන්තිම පහත් වචන පාවිච්චි කරලා තමන්ගේ සහෝදරයාට අපහාස කරන ඕනෙම කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය* ඉස්සරහා පෙනී ඉන්න ඕනේ. කෙනෙක්ට ‘කිසි කමකට නැති මෝඩයා’ කියලා කියන ඕනෙම කෙනෙක් ඇවිළෙන ගෙහෙන්නාවට* සුදුස්සෙක් වෙනවා.+ 23  “ඒ නිසා පූජා කරන්න යම් දෙයක් පූජාසනය ළඟට අරන් යද්දී+ ඔයාගේ සහෝදරයා ඔයා එක්ක අමනාපයෙන් ඉන්නවා කියලා මතක් වුණොත්, 24  පූජා කරන්න අරන් ආපු දේ පූජාසනය ඉස්සරහා තියලා ඔයාගේ සහෝදරයාව හොයාගෙන යන්න. ඉස්සෙල්ලාම ඔයාගේ සහෝදරයා එක්ක සමාදාන වෙන්න. ඊටපස්සේ ඇවිත් ඔයාගේ පූජාව ඔප්පු කරන්න.+ 25  “කවුරු හරි ඔයාට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා නම් නඩුවට යන්න කලින්* ඉක්මනින්ම එයාව හම්බ වෙලා ප්‍රශ්නය විසඳගන්න. එහෙම කළේ නැත්නම් එයා ඔයාව විනිශ්චයකරු ඉස්සරහට අරන් යයි. විනිශ්චයකරු ඔයාව හිරගෙදරට දාන්න කියලා අධිකරණයේ නිලධාරියාට භාර දෙයි.+ 26  ඇත්තටම මං කියන්නේ, ඔයා ළඟ තියෙන අන්තිම සතය* ගෙවන කල් ඔයාට කොහොමටවත් එතනින් එළියට එන්න ලැබෙන්නේ නැහැ. 27  “‘අනාචාරයේ* යෙදෙන්න එපා’+ කියන ආඥාව ඔයාලා අහලා තියෙනවා. 28  ඒත් මං ඔයාලට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දිහා දිගින් දිගටම බලන+ හැම කෙනෙක්ම ඒ වෙද්දීත් ඒ ස්ත්‍රිය එක්ක හිතින් අනාචාරයේ යෙදිලා ඉවරයි.+ 29  ඉතින් ඔයාගේ දකුණු ඇහැ වරදක් කරන්න ඔයාව පොලඹවනවා නම්* ඒක උගුල්ලලා වීසි කරලා දාන්න.+ මොකද ඔයා මුළු ශරීරය එක්කම ගෙහෙන්නාවට* යනවාට වඩා ඔයාගේ එක අවයවයක් නැතුව ඉන්න එක හොඳයි.+ 30  ඔයාගේ දකුණු අත වරදක් කරන්න ඔයාව පොලඹවනවා නම්* ඒක කපලා වීසි කරලා දාන්න.+ මොකද ඔයා මුළු ශරීරය එක්කම ගෙහෙන්නාවට* යනවාට වඩා ඔයාගේ එක අවයවයක් නැතුව ඉන්න එක හොඳයි.+ 31  “ඒ වගේම ‘කෙනෙක් එයාගේ බිරිඳව දික්කසාද කරනවා නම් එයා දික්කසාද ලියවිල්ලක් හදලා බිරිඳට දෙන්න ඕනෙ’+ කියලත් කියලා තියෙනවා. 32  ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. කෙනෙක්ට එයාගේ බිරිඳව දික්කසාද කරන්න පුළුවන් බිරිඳ ලිංගික දුරාචාරයේ* යෙදිලා තියෙනවා නම් විතරයි. ඒ හේතුව හැරෙන්න වෙන කිසිම හේතුවක් නිසා කෙනෙක් එයාගේ බිරිඳව දික්කසාද කරනවා නම් එයා කරන්නේ අනාචාරයේ යෙදෙන්න බිරිඳට ඉඩ සලස්සලා දෙන එකයි. ඒ විදිහට දික්කසාද කරපු කාන්තාවක්ව වෙන කෙනෙක් විවාහ කරගන්නවා නම් ඒ කෙනාව සලකන්නෙත් අනාචාරයේ යෙදෙන කෙනෙක් විදිහටයි.+ 33  “අතීතයේ හිටපු අයට මෙහෙම කිව්වා කියලත් ඔයාලා අහලා තියෙනවා. ‘දිවුරුමක් දුන්නාම ඒක කඩ කරන්න එපා.+ ඔයාලා යෙහෝවා* දෙවියන්ට වුණ භාරය ඉටු කළ යුතුයි.’+ 34  ඒත් මං ඔයාලට කියන්නේ කොහොමටවත් දිවුරන්න එපා කියලයි.+ ස්වර්ගය දෙවියන්ගේ සිංහාසනය නිසා ඒ නමින් දිවුරන්න එපා. 35  පොළොව ඔහුගේ පා පුටුව නිසා+ ඒ නමින්වත් යෙරුසලම ශ්‍රේෂ්ඨ රජුගේ නුවර නිසා+ ඒ නමින්වත් දිවුරන්න එපා. 36  ඔයාලාගේ ඔළුවට අත තියලා දිවුරන්නත් එපා. මොකද එක කෙස් ගහක්වත් සුදු කරන්න හරි කලු කරන්න හරි ඔයාලට බැහැ. 37  ඔයාලා දෙයක් ‘කරන්නම්’ කිව්වොත් ඒක කරන්න. දෙයක් ‘කරන්නේ නැහැ’ කිව්වොත් ඒක කරන්න එපා.*+ මොකද කෙනෙක් ඊට වඩා දෙයක් කියන්න පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.+ 38  “‘ඇසකට ඇසක්, දතකට දතක්’+ කියන නීතිය ඔයාලා අහලා තියෙනවා. 39  ඒත් මං ඔයාලට කියන්නේ දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් කරන්න එපා කියලයි. කවුරු හරි කෙනෙක් ඔයාගේ දකුණු කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න එයාට ඉඩ දෙන්න.+ 40  කෙනෙක් ඔයාට විරුද්ධව නඩු කියලා ඔයාගේ ඇතුල් වස්ත්‍රය අයිති කරගන්න හදනවා නම් ඔයාගේ පිට වස්ත්‍රයත් එයාට ගන්න දෙන්න.+ 41  නිලධාරියෙක් මොනවා හරි වැඩකට එයාත් එක්ක හැතැක්මක්* යන්න එන්න කියලා ඔයාට අණ කළොත් එයාත් එක්ක හැතැක්ම දෙකක් යන්න. 42  කෙනෙක් ඔයාගෙන් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් ඒක එයාට දෙන්න. කවුරු හරි ඔයාගෙන් ණයක්* ඉල්ලුවොත් එයාගේ ඉල්ලීම අහක දාන්න එපා.+ 43  “‘ඔබේ අසල්වැසියාට ආදරේ කරන්න’+ කියලත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’ කියලත් කියනවා ඔයාලා අහලා තියෙනවා. 44  ඒත් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. ඔයාලාගේ සතුරන්ට දිගටම ආදරේ කරන්න.+ ඔයාලට පීඩා කරන අය වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+ 45  එහෙම කරන එකෙන් ඔයාලා ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්ගේ දරුවන්* කියලා ඔප්පු වෙනවා.+ මොකද ඔහු දුෂ්ට අයටත් යහපත් අයටත් හිරු උදා කරවනවා. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්සවනවා.+ 46  ඔයාලට ආදරේ කරන අයට විතරක් ඔයාලා ආදරේ කරනවා නම් ඒකෙන් කිසි යහපතක් වෙනවාද?+ බදු එකතු කරන අයත් කරන්නේ ඒ දේම නේද? 47  ඔයාලා සුබ පතන්නේ ඔයාලාගේ සහෝදරයන්ට විතරක් නම් ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද? වෙනත් ජාතීන්වල අය කරන්නෙත් ඒ දේම නේද? 48  ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් පරිපූර්ණව ඉන්නවා වගේ ඔයාලත් පරිපූර්ණව ඉන්න ඕනේ.*+

පාදසටහන්

හෝ, “හිඟන්නන් වගේ දෙවියන්ගෙන් මඟ පෙන්වීම් යදින අය.”
මූ.අ., “මෘදු ගති තියෙන අය.”
මූ.අ., “ධර්මිෂ්ඨකම ගැන කුසගින්නකින්, පිපාසයකින් ඉන්න අය.”
මෙතන “අනිත් අය” කියද්දී දෙවියනුත් ඇතුළත්.
හෝ, “මනින්න පාවිච්චි කරන කූඩයකින්.”
මූ.අ., “ස්වර්ග රාජ්‍යයේ උතුම්.”
මූ.අ., “ස්වර්ග රාජ්‍යයේ සුළුම.”
හෝ, “මන්ත්‍රණ සභාව.”
යෙරුසලමෙන් පිට කසළ පුච්චපු තැන. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “නඩුවට යන අතරතුරේ.”
මූ.අ., “ක්වොඩ්‍රන් කාසිය.” උප. B14 බලන්න.
ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
මූ.අ., “වැටෙන්න සලස්සනවා නම්.”
මූ.අ., “වැටෙන්න සලස්සනවා නම්.”
ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
හෝ, “‘ඔව්’ කියලා කියන්න ඕනෙ වෙලාවලදී ‘ඔව්’ කියලත් ‘නැහැ’ කියලා කියන්න ඕනෙ වෙලාවලදී ‘නැහැ’ කියලත් කිව්වාම ඇති.”
උප. B14 බලන්න.
ඒ කියන්නේ පොලී නැති ණයක්.
මූ.අ., “පුතාලා.”
ඒ කියන්නේ පියාණන් වගේ කිසිම අඩුවක් නැති ආදරයක් පෙන්නන්න ඕනෙ කියලයි.