මතෙව් 6:1-34

  • කන්ද උඩ දේශනාව (1-34)

    • අනිත් අයට පේන්න හොඳ දේවල් කරන්න එපා (1-4)

    • යාච්ඤා කරන විදිහ (5-15)

      • ආදර්ශ යාච්ඤාව (9-13)

    • නිරාහාරව ඉන්න එක (16-18)

    • ස්වර්ගයේ සහ මේ ලෝකේ වස්තු (19-24)

    • කනස්සලු වෙන එක නවත්තන්න (25-34)

      • දිගටම දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙන්න (33)

6  “මේ ගැන පරෙස්සම් වෙන්න. ඔයාලා හොඳ දෙයක් කරද්දී ඒක අනිත් අයට පේන්න කරන්න එපා.+ මොකද එහෙම කළොත් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්ගෙන් කිසිම තෑග්ගක් ඔයාලට ලැබෙන්නේ නැහැ.  ඔයාලා දුප්පත් අයට දෙයක් දෙද්දී කුහක අය වගේ ඒක කරන්න එපා. එයාලා කරන්නේ කාට හරි දෙයක් දෙන්න කලින් ඒ ගැන අඬ බෙර ගහලා* ප්‍රසිද්ධ කරන එකයි. එයාලා මිනිස්සුන්ගෙන් ගෞරවය ලබාගන්න සිනගෝගවලදීත් වීථිවලදීත් එහෙම කරනවා. ඇත්තටම මං කියන්නේ, එයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග දැනටමත් ලැබිලයි තියෙන්නේ.  ඒත් ඔයාලා දුප්පත් අයට දෙයක් දෙද්දී ඔයාලාගේ දකුණු අත කරන දේ වම් අතට දැනගන්න ඉඩ දෙන්න එපා.  ඒ විදිහට, දුප්පත් අය වෙනුවෙන් කරන ඒ දේ අනිත් අයට පේන්නේ නැති වෙන්න කරන්න. එතකොට ස්වර්ගයේ ඉඳන් කාටවත් නොපෙනෙන්න බලාගෙන ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලට ආශීර්වාද කරයි.+  “ඔයාලා යාච්ඤා කරද්දී, කුහකයන් වගේ ඒක කරන්න එපා.+ මොකද එයාලා කැමති සිනගෝගවලදීත් ප්‍රධාන හන්දිවලදීත් හිටගෙන යාච්ඤා කරන්නයි. එයාලා යාච්ඤා කරන්නේ මිනිස්සුන්ට පේන්නයි.+ ඇත්තටම මං කියන්නේ, එයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග දැනටමත් ලැබිලයි තියෙන්නේ.  ඔයාලා යාච්ඤා කරද්දී ඔයාලාගේ කාමරේට ගිහින් දොර වහගෙන කාටවත් පේන්නේ නැති, ඔයාලාගේ පියාණන්ට යාච්ඤා කරන්න.+ එතකොට ස්වර්ගයේ ඉඳන් කාටවත් නොපෙනෙන්න බලාගෙන ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලට ආශීර්වාද කරයි.  ඔයාලා යාච්ඤා කරද්දී වෙනත් ජාතීන් කරනවා වගේ එකම දේ ආයේ ආයේ කියන්න එපා. එයාලා හිතන්නේ ගොඩක් දේවල් කියකිය යාච්ඤා කළොත් දෙවියන් එයාලට සවන් දෙයි කියලයි.  ඒත් ඔයාලා ඒ අය වගේ වෙන්න එපා. මොකද දෙයක් ඉල්ලන්නත් කලින් ඔයාලට ඕනෙ මොනවාද කියලා ඔයාලාගේ පියාණන් දන්නවා.+  “ඔයාලා යාච්ඤා කරන්න ඕනෙ මෙහෙමයි.+ “‘ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම+ හැමදාටම ශුද්ධව පවතීවා!*+ 10  ඔබේ රාජ්‍යය+ පැමිණේවා! ඔබේ කැමැත්ත+ ස්වර්ගයේ ඉටු වෙනවා වගේ පොළොවෙත් ඉටු වේවා!*+ 11  අද දවසට ඕනෙ කරන කෑම අපිට ලබා දෙන්න.+ 12  අපිට වැරදි කරපු අයට* අපි සමාව දීලා තියෙන විදිහටම අපේ වැරදිවලටත්* සමාව දෙන්න.+ 13  වැරදි පෙලඹීම්වලට අහු වෙන්න අපිට ඉඩ දෙන්න එපා.+ දුෂ්ටයාගෙන් අපිව බේරගන්න.’+ 14  “ඔයාලා අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලටත් සමාව දෙයි.+ 15  ඒත් ඔයාලා අනිත් අයගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔයාලාගේ පියාණන් ඔයාලාගේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.+ 16  “ඔයාලා නිරාහාරව ඉද්දී+ කුහකයන් වගේ ඒක කරන්න එපා. එයාලා ඒක කරද්දී දුකින් ඉන්නවා වගේ* මවාපානවා. එයාලා නිරාහාරව ඉන්නවා කියලා මිනිස්සුන්ට පෙන්නන්න එයාලාගේ පෙනුම ගැනවත් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ.+ ඇත්තටම මං කියන්නේ එයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග දැනටමත් ලැබිලයි තියෙන්නේ. 17  ඒත් ඔයාලා නිරාහාරව ඉද්දී ඔයාලාගේ ඔළුවේ තෙල් ආලේප කරලා මූණ හෝදගෙන ඉන්න. 18  එහෙම කරද්දී ඔයාලා නිරාහාරව ඉන්නවා කියලා දකින්නේ මිනිස්සු නෙමෙයි, කිසි මිනිසෙක්ට පේන්නේ නැති ඔයාලාගේ පියාණන් විතරයි. එතකොට ස්වර්ගයේ ඉඳන් කාටවත් නොපෙනෙන්න බලාගෙන ඉන්න ඔයාලාගේ පියාණන් ඔයාලට ආශීර්වාද කරයි. 19  “මේ ලෝකේ වස්තු රැස් කරගන්න එක නවත්තන්න.+ මොකද කාවෝ සහ මලකඩ නිසා ඒවා නාස්ති වෙලා යනවා. හොරු ඇවිත් ඒවා හොරකම් කරනවා. 20  ඒ වෙනුවට ස්වර්ගයේ වස්තු රැස් කරගන්න.+ එහෙදී කාවන්ටවත් මලකඩවලටවත් ඒවා නාස්ති කරන්න බැහැ.+ හොරුන්ටවත් ඇවිත් ඒවා හොරකම් කරන්න බැහැ. 21  ඔයාලාගේ වස්තුව තියෙන්නේ කොහෙද ඔයාලාගේ හිත තියෙන්නෙත් එතනමයි. 22  “ඇහැ ශරීරයේ පහනයි.+ ඒ නිසා ඔයාලාගේ ඇහැ එක දෙයක් දිහාවටම යොමු කරලා තියෙනවා නම්* ඔයාලාගේ මුළු ශරීරයම ආලෝකවත් වෙයි. 23  ඒත් ඔයාලාගේ ඇහැ කෑදර* විදිහට දේවල් දිහා බලනවා නම්+ ඔයාලාගේ මුළු ශරීරයම අඳුරු වෙයි. ඇහැ නිසා ඔයාලාගේ ශරීරය ආලෝකවත් වෙනවා වෙනුවට අඳුරු වෙනවා නම් ඒක කොච්චර භයානක දෙයක්ද! 24  “ස්වාමිවරුන් දෙන්නෙක්ට දාසයෙක් වෙන්න කාටවත් බැහැ. මොකද එයා එක් කෙනෙක්ට වෛර කරලා අනිත් කෙනාට ආදරේ කරන්න පෙලඹෙයි.+ එහෙම නැත්නම් එයා එක් කෙනෙක්ට ඇලුම් වෙලා අනිත් කෙනාව හෙළා දකියි. ඒ නිසා, දෙවියන්ට සේවය කරන ගමන් ඔයාලට සල්ලි පස්සේ යන්න බැහැ.*+ 25  “ඉතින් මං ඔයාලට කියන්නේ මෙහෙමයි. කන්නේ බොන්නේ මොනවාද කියලා හිතහිත ඔයාලාගේ ජීවිත ගැනත් අඳින්නේ මොනවාද කියලා+ හිතහිත ඔයාලාගේ ශරීර ගැනත් කනස්සලු වෙන එක නවත්තන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වටින්නේ නැද්ද?+ 26  අහසේ කුරුල්ලන් දිහා හොඳට බලන්න.+ උන් බීජ වපුරන්නෙවත් කපන්නෙවත් ගබඩාවලට රැස් කරන්නෙවත් නැහැ. ඒත් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් උන්ව පෝෂණය කරනවා. උන්ට වඩා ඔයාලා වටින්නේ නැද්ද? 27  කනස්සලු වුණා කියලා ඔයාලාගේ ආයු කාලය එක මොහොතකින් හරි* දික් කරගන්න ඔයාලාගෙන් කාට හරි පුළුවන්ද?+ 28  ඔයාලා ඇඳුම් ගැන කනස්සලු වෙන්නේ මොකටද? තණබිම්වල ලිලී මල් වැවෙන විදිහෙන් පාඩමක් ඉගෙනගන්න. ඒවා මහන්සි වෙලා වැඩ කරන්නෙවත් ඇඳුම් මහගන්නෙවත් නැහැ.* 29  ඒත් මං ඔයාලට කියන්නේ, ඉස්තරම්ම වර්ගයේ ඇඳුම් ඇඳගෙන හිටිය සලමොන් රජවත්+ කවදාවත් මේ මල් තරම් ලස්සනට ඇඳ පැලඳගෙන හිටියේ නැහැ. 30  ඉතින් ඇයි ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දෙන්නේ? අද තිබිලා හෙට ගිනි උදුනේ පුච්චලා දාන තණබිමේ පැළෑටි දෙවියන් ඒ විදිහට සරසනවා නම් ඔහු ඔයාලව ඇඳුම්වලින් සරසන්න ඊටත් වඩා සතුටු වෙන්නේ නැද්ද? 31  ඒ නිසා කවදාවත් ‘කන්නේ බොන්නේ මොනවාද’ කියලවත් ‘අඳින්නේ මොනවාද’+ කියලවත් හිතහිත කනස්සලු වෙන්න එපා.+ 32  වෙනත් ජාතීන් නම් ඒ හැම දේම ලබාගන්න එයාලාගේ මුළු ජීවිතේම කැප කරනවා. ඒත් ඒ හැම දෙයක්ම ඔයාලට අවශ්‍යයි කියලා ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන් දන්නවා. 33  “ඒ නිසා දිගටම දෙවියන්ගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එතකොට ඔයාලට ඕනෙ කරන අනිත් හැම දේම ඔහු ඔයාලට දෙනවා.+ 34  ඉතින් කවදාවත් හෙට දවස ගැන කනස්සලු වෙන්න එපා.+ මොකද අද වගේම හෙට දවසෙත් කරදර තියෙයි. හැම දවසකම කරදර තියෙනවා කියලා මතක තියාගන්න.

පාදසටහන්

මූ.අ., “හොරණෑව පිඹලා.”
හෝ, “ඔබේ නම ශුද්ධ දෙයක් විදිහට සලකනු ලැබේවා!; ඔබේ නමට ලැබිය යුතු ගෞරවය දෙනු ලැබේවා!”
හෝ, “ඔබේ කැමැත්ත ස්වර්ගයේ වගේම පොළොවෙත් ඉටු වේවා!”
මූ.අ., “අපේ ණයකාරයන්ට.”
මූ.අ., “ණයවලටත්.”
මූ.අ., “දුක්මුසු මූණක්.”
හෝ, “පැහැදිලිව පේනවා නම්.” මූ.අ., “ඇහැ සරලයි නම්.”
මූ.අ., “නපුරු; දුෂ්ට.”
මූ.අ., “දෙවියන්ගේ දාසයෙක් වෙන ගමන් ධන සම්පත්වලට දාසකම් කරන්න බැහැ.”
මූ.අ., “රියනකින්වත්.” උප. B14 බලන්න.
මූ.අ., “රෙදි වියන්නෙවත් නැහැ.”