මතෙව් 9:1-38

  • යේසුස් අංශභාග රෝගියෙක්ව සුව කරයි (1-8)

  • යේසුස් මතෙව්ට ඔහුගේ අනුගාමිකයෙක් වෙන්න කියයි (9-13)

  • නිරාහාරව ඉන්න එක ගැන අහපු ප්‍රශ්න (14-17)

  • යායිරස්ගේ දුව; කාන්තාවක් යේසුස්ගේ ඇඳුමේ වාටිය අල්ලයි (18-26)

  • යේසුස් අන්ධ අයවත් ගොළු අයවත් සුව කරයි (27-34)

  • අස්වැන්න ලොකුයි. වැඩකරුවන් ටිකදෙනායි (35-38)

9  ඉතින් ඔහු බෝට්ටුවට නැඟලා එගොඩට ගිහින් ඔහුගේ නුවරට ගියා.+  එහෙදී පිරිසක් ඇඳක හිටිය අංශභාග රෝගියෙක්ව ඔහු ළඟට අරන් ආවා. යේසුස් එයාලාගේ විශ්වාසය දැකලා අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “පුතේ, හිතට ධෛර්යය ගන්න. ඔයාගේ පව්වලට සමාව ලැබිලයි තියෙන්නේ.”+  එතන හිටිය නීතිය පිටපත් කරන අය කීපදෙනෙක් “මේ මනුස්සයා දෙවියන්ට අපහාස කරනවානේ” කියලා හිතුවා.  යේසුස් එයාලා හිතුව දේ දැනගෙන මෙහෙම කිව්වා. “ඔයාලා ඔය වගේ දුෂ්ට දේවල් හිතන්නේ ඇයි?+  ලේසිම දේ මොකක්ද? ‘ඔයාගේ පව්වලට සමාව ලැබිලා’ කියන එකද? නැත්නම් ‘නැඟිටලා ඇවිදින්න’ කියන එකද?+  මනුෂ්‍ය පුත්‍රයාට මේ පොළොවේ පව්වලට සමාව දෙන්න බලය තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕනෙ නිසා . . .” ඊටපස්සේ ඔහු අංශභාග රෝගියාට මෙහෙම කිව්වා. “නැඟිටින්න, ඔයාගේ ඇඳත් අරන් ගෙදර යන්න.”+  එතකොට එයා නැඟිටලා ගෙදර ගියා.  ඒක දැක්කාම සෙනඟට බයක් ඇති වෙලා ඒ වගේ බලයක් මිනිස්සුන්ට දෙන දෙවියන්ට ප්‍රශංසා කළා.  ඊළඟට යේසුස් එතනින් යද්දී, මතෙව් කියලා කෙනෙක් බදු එකතු කරන කාර්යාලයේ ඉඳගෙන ඉන්නවා දැක්කා. යේසුස් එයාට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න.” ඒ වෙලාවෙම එයා නැඟිටලා යේසුස්ගේ පිටිපස්සෙන් ගියා.+ 10  පස්සේ යේසුස් මතෙව්ගේ ගෙදර කෑම කකා ඉද්දී වැරදි දේවල් කරන, බදු එකතු කරන ගොඩක් අය එතනට ඇවිත් යේසුස් සහ එයාගේ ගෝලයන් එක්ක කෑම ගත්තා.+ 11  පරිසිවරු ඒක දැකලා “ඔයාලාගේ ගුරුතුමා බදු එකතු කරන අයයි, පව්කාරයනුයි එක්ක කෑම කන්නේ ඇයි”+ කියලා යේසුස්ගේ ගෝලයන්ගෙන් ඇහුවා. 12  ඒක ඇහුණාම යේසුස් එයාලට මෙහෙම කිව්වා. “දොස්තර කෙනෙක් ඕනෙ ලෙඩින් ඉන්න අයටයි. නිරෝගී අයට දොස්තර කෙනෙක්ගෙන් වැඩක් නැහැ.+ 13  ගිහින් ‘මට වටින්නේ දයාව මිසක් පූජාවන් නෙමෙයි’+ කියන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මොකද මම ආවේ වැරදි කරන අයට උදව් කරන්න මිසක් ධර්මිෂ්ඨයන්ට උදව් කරන්න නෙමෙයි.” 14  ඊටපස්සේ යොහන්ගේ ගෝලයෝ යේසුස් ළඟට ඇවිත් මෙහෙම ඇහුවා. “අපියි, පරිසිවරුනුයි චාරිත්‍රයක් විදිහට නිරාහාරව ඉන්නවා. ඒත් ඔබේ ගෝලයන් එහෙම කරන්නේ නැත්තේ ඇයි?”+ 15  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මනාලයා තමන් එක්ක ඉද්දී+ මනාලයාගේ යාළුවෝ මොකටද දුකින් ඉන්නේ? ඒත් මනාලයාව එයාලාගෙන් වෙන් කරන දවස එනවා.+ ඒ දවසේදී එයාලා නිරාහාරව ඉඳියි. 16  පරණ ඇඳුමක ඉරුණු තැනක් මහද්දී කවුරුත් එතනට අලුත් රෙදි කෑල්ලක්* තියලා මහන්නේ නැහැ නේද? එහෙම කළොත් අලුත් රෙදි කෑල්ල ඇකිළෙන නිසා පරණ ඇඳුම ඇදිලා ඉරුණ තැන තවත් ලොකු වෙයි.+ 17  ඒ වගේම, කිසිම කෙනෙක් අලුත් වයින් පරණ හම් භාජනවලට දාන්නෙත් නැහැ. එහෙම කළොත් ඒ හම් භාජන පැළිලා වයින් ටික හැලිලා යයි. හම් භාජනත් නාස්ති වෙයි. ඒ නිසා අලුත් වයින් දාන්නේ අලුත් හම් භාජනවලට. එතකොට ඒ දෙකම ආරක්ෂා වෙනවා.” 18  ඔහු ඒ දේවල් කියකිය ඉද්දී ප්‍රධානියෙක් ඇවිත් ඔහු ඉස්සරහා දණින් වැටිලා මෙහෙම කිව්වා. “මේ වෙද්දීත් මගේ දුව මැරිලා ඇති. ඒත් ඔබ ඇවිත් එයාව ඇල්ලුවොත් එයා ආයෙත් ජීවත් වෙයි.”+ 19  ඉතින් යේසුස් නැඟිටලා එයාත් එක්ක ගියා. ඔහුගේ ගෝලයොත් ඔහු පිටිපස්සෙන් ගියා. 20  ඔය අතරේ, අවුරුදු 12ක් තිස්සේ ලේ ගැලීමක් නිසා ගොඩක් දුක් විඳපු කාන්තාවක්+ යේසුස් පිටිපස්සෙන් ඇවිත් ඔහුගේ ඇඳුමේ වාටිය ඇල්ලුවා.+ 21  මොකද එයා හිතුවා “එයාගේ ඇඳුම ඇල්ලුවත් ඇති, මාව සුව වෙයි” කියලා. 22  එතකොට යේසුස් හැරිලා බැලුවා. එයාව දැක්කාම ඔහු එයාට මෙහෙම කිව්වා. “දුවේ, බය වෙන්න එපා. ඔයාගේ විශ්වාසය නිසා ඔයා සුව වුණා.”+ ඒ වෙලාවෙම* ඒ කාන්තාව සුව වුණා.+ 23  ඔහු ප්‍රධානියාගේ ගෙදරට ඇතුල් වුණාම බටනළාවලින් දුක්මුසු ගී වාදනය කරන අයවයි, කෑගගහා අඬන සෙනඟවයි ඔහු දැක්කා.+ 24  එතකොට යේසුස් “හැමෝම එළියට යන්න. මේ පුංචි දුව මැරිලා නැහැ. එයා නිදාගෙනයි ඉන්නේ” කියලා කිව්වා.+ ඒක අහලා එයාලා ඔහුට හිනා වෙන්න පටන්ගත්තා. 25  සෙනඟව එළියට යැව්ව ගමන්ම ඔහු ගේ ඇතුළට ගිහින් දරුවාගේ අත අල්ලගත්තා.+ එතකොටම පුංචි දුව නැඟිට්ටා.+ 26  සිද්ධ වුණ දේ ගැන ඒ පළාතේ ඉන්න හැමෝටම දැනගන්න ලැබුණා. 27  යේසුස් එතනින් පිට වෙලා යද්දී අන්ධ මිනිස්සු දෙන්නෙක්+ ඔහු පස්සෙන් ඇවිත් “දාවිත්ගේ පුතා, අපිට අනුකම්පා කරන්න”* කියලා කෑගගහා කිව්වා. 28  ඔහු ගේකට ගියාම ඒ අන්ධ මිනිස්සු දෙන්නාත් ඔහු ළඟට ආවා. යේසුස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “මට මේ දේ කරන්න පුළුවන් කියලා ඔයාලට විශ්වාසද?”+ එයාලා “ඔව්, ස්වාමීනි” කියලා කිව්වා. 29  එතකොට ඔහු එයාලාගේ ඇස් අල්ලලා+ “ඔයාලාගේ විශ්වාසය නිසා දැන් ඔයාලට පෙනීම ලැබෙයි” කියලා කිව්වා. 30  ඒ වෙලාවෙම එයාලට පෙනීම ලැබුණා. “මේ ගැන කාටවත් කියන්න එපා”+ කියලා යේසුස් එයාලට තදින්ම කිව්වා. 31  ඒත් එතනින් එළියට ගියාට පස්සේ එයාලා යේසුස් කරපු දේ ගැන ඒ පළාත පුරාම ප්‍රසිද්ධ කළා. 32  එයාලා එතනින් පිට වෙලා යද්දී භූතයෙක් වැහිලා හිටපු ගොළු මිනිසෙක්ව යේසුස් ළඟට අරන් ආවා.+ 33  ඔහු භූතයාව එළෙව්වාට පස්සේ ගොළු මිනිසා කතා කරන්න පටන්ගත්තා.+ ඒක දැකලා සෙනඟ පුදුම වෙලා “ඊශ්‍රායෙල් දේශයේ මේ වගේ දෙයක් නම් කවදාවත් වෙලා නැහැ” කියලා කිව්වා.+ 34  ඒත් පරිසිවරු මෙහෙම කියන්න පටන්ගත්තා. “එයා භූතයන්ව එළවන්නේ භූතයන්ගේ නායකයාගේ උදව්වෙන්.”+ 35  පස්සේ යේසුස් හැම නගරයකටම, ගමකටම ගිහින් එයාලාගේ සිනගෝගවල උගන්වන්නත් රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්නත් පටන්ගත්තා. මිනිස්සුන්ට හැදිලා තිබුණ හැම ලෙඩක්ම, හැම ආබාධයක්ම ඔහු සුව කළා.+ 36  සෙනඟව දැක්කාම ඔහුට එයාලා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා.+ මොකද එඬේරෙක් නැති බැටළුවෝ වගේ එයාලා දරුණු විදිහට හිරිහැර විඳිනවා කියලත් එයාලව අත්හැරලා දාලා* කියලත් ඔහු තේරුම්ගත්තා.+ 37  ඒ නිසා යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “නෙළන්න ලොකු අස්වැන්නක් තියෙනවා. ඒත් වැඩකරුවන් ඉන්නේ ටිකදෙනායි.+ 38  ඒ නිසා අස්වැන්න නෙළන්න තව වැඩකරුවන්ව එවන්න කියලා අස්වැන්න අයිති ස්වාමියාගෙන් දිගටම ඉල්ලන්න.”+

පාදසටහන්

ඒ කියන්නේ හෝදලවත් නැති, අලුත්ම රෙදි කෑල්ලක්.
මූ.අ., “ඒ පැයේදීම.”
මූ.අ., “දයාව පෙන්නන්න.”
මූ.අ., “ලොම් ගලවලා සීසීකඩ වීසි කරපු බැටළුවෝ වගේ.”