මලාකි 2:1-17

  • පූජකයන් සෙනඟට හරි දේ කියලා දෙන්නේ නැහැ (1-9)

    • දැනුම ලබා දෙන එක පූජකයන්ට තියෙන වගකීමක් (7)

  • පුරුෂයන් අසාධාරණ විදිහට එයාලාගේ භාර්යාවන්ව දික්කසාද කරයි (10-17)

    • ‘“දික්කසාද වෙන එක මම හෙළා දකිනවා” කියලා යෙහෝවා කියයි’ (16)

2  “පූජකයෙනි, මම දෙන මේ අණට ඇහුම්කන් දෙන්න.+  ඔයාලා දැන් මං කියන දේ හිතට අරන් මගේ නමට ප්‍රශංසාව ලැබෙන විදිහට වැඩ කරන්න අදිටන් කරගන්න. ඔයාලා එහෙම කළේ නැත්නම් ඔයාලා පිටට ශාපයක් එයි.+ ඔයාලා සෙනඟට ආශීර්වාද කළත් ඒක ශාපයකට හැරෙයි.*+ මං කියන දේ හිතට ගත්තේ නැති නිසා දැනටමත් ඔයාලා කරන ආශීර්වාද ශාපවලට හැරිලා.” එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.  “ඔයාලා කරන දේවල් නිසා ඔයාලා වපුරපු බීජ මම නාස්ති වෙලා යන්න සලස්වනවා.+ උත්සවවලදී ඔප්පු කරන්න අරන් එන සතුන්ගේ අසූචි මම ඔයාලාගේ මූණටම වීසි කරනවා. ඊටපස්සේ ඔයාලවත් අසූචි ගොඩගහන තැනට අරන් යනවා.  එතකොට ඔයාලා දැනගනියි මං ඔයාලට මේ ආඥාව දෙන්නේ ලෙවී එක්ක මං ඇති කරගත්ත ගිවිසුම අවසන් වෙනවා දකින්න මං අකමැති නිසයි කියලා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.  “මම එයා එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුම නිසා එයාගේ ජීවිතය රැකුණා. එයා සමාදානයෙන් ජීවත් වුණා. එයාගේ හිතේ මං ගැන ගරුබියක්* ඇති වුණා. එයාට මගේ නම ගැන ලොකු ගෞරවයක් තිබුණ නිසා මගේ හිතට දුකක් දෙන්න එයා කැමති වුණේ නැහැ.  එයා හැම වෙලාවෙම සත්‍යය* ඉගැන්නුවා.+ එයාගේ කටින් කොයි වෙලාවකවත් දුෂ්ට දෙයක් පිට වුණේ නැහැ. එයා මාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන සමාදානයෙන් සහ අවංකකමින් වැඩ කළා.+ වැරදි මාර්ගයෙන් ඉවත් වෙන්න එයා හුඟක් අයට උදව් කළා.  මොකද සෙනඟට දෙවියන් ගැන දැනුම ලබා දෙන එක පූජකයෙක්ට තියෙන වගකීමක්. නීතියේ තියෙන දේවල් ගැන දැනගන්න සෙනඟ යන්න ඕනෙ එයා ළඟටයි.+ මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ පණිවිඩකරු එයායි.  “ඒත් පූජකයෙනි, ඔයාලා හරි මාර්ගයෙන් ඉවත් වෙලා ගියා. ඔයාලා නිසා හුඟක් අය නීතිය පිළිපදින්නේ නැහැ.*+ මං ලෙවී එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔයාලා කඩ කළා”+ කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.  “ඔයාලා මං කියන විදිහට වැඩ කළේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරද්දී අසාධාරණ විදිහට පැති ගත්තා. ඒ නිසා හැමෝම ඉස්සරහා මම ඔයාලව නින්දාවට පත් කරනවා. ඒ අය ඔයාලව පහත් කරලා සලකයි.”+ 10  “අපි හැම කෙනෙක්ටම ඉන්නේ එකම තාත්තා කෙනෙක් නෙමෙයිද?+ අපි හැමෝවම නිර්මාණය කළේ එකම දෙවියන් නෙමෙයිද? එහෙනම් ඇයි අපි එකිනෙකාට ද්‍රෝහි වෙලා+ අපේ මුතුන්මිත්තන් එක්ක දෙවියන් ඇති කරගත්ත ගිවිසුම කඩ කරන්නේ? 11  යූදා සෙනඟ ද්‍රෝහිකම් කරනවා. ඊශ්‍රායෙල් දේශයේ ඉන්න අයත් යෙරුසලමේ ඉන්න අයත් නින්දිත විදිහට වැඩ කරනවා. එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන්ව විවාහ කරගෙන+ ශුද්ධකමට* ප්‍රිය කරන යෙහෝවා දෙවියන්ට නින්දා කරනවා.+ 12  එහෙම කරන හැමෝවම යෙහෝවා යාකොබ්ගේ කූඩාරම්වලින් පන්නලා දාලා එයාලව විනාශ කරනවා. ඒ වරද කරන කෙනා කවුරු වුණත් එයා* ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට පූජාවක් ගෙනාවත් දෙවියන් එයාව විනාශ කරනවා.”+ 13  “ඔයාලා තවත් වරදක් කරනවා. ඒ වරද නිසා යෙහෝවාගේ පූජාසනය කඳුළුවලින් තෙත් වෙලා. මිනිසුන් සුසුම්ලන හඬත් අඬා වැලපෙන හඬත් පූජාසනයෙන් දෙවියන් වෙතට නැඟ යනවා. ඒ නිසා ඔයාලා ඔප්පු කරන කිසිම තෑග්ගක් දෙවියන් පිළිගන්නේ නැහැ. ඔයාලා දෙන කිසිම දේකින් ඔහු සතුටු වෙන්නේ නැහැ.+ 14  ඒත් ඔයාලා අහනවා ‘අපි කරන වරද මොකක්ද’ කියලා. තරුණ කාලේදී විවාහ කරගත්ත බිරිඳට ඔයාලා ද්‍රෝහි වුණා. එයාව සහකාරියක් විදිහට තෝරගෙන ජීවිත කාලේ පුරාම එයා එක්ක ඉන්නවා කියලා ඔයාලා පොරොන්දු වුණා* නේද? ඒත් ඔයාලා ඒ පොරොන්දුව කඩ කළා+ කියලා යෙහෝවා දෙවියන්ම ඔයාලට විරුද්ධව සාක්ෂි දෙනවා. 15  ඒත් ඔයාලා අතරේ ඉන්න ටිකදෙනෙක් ඒ වරද නොකර ඉන්න අදිටන් කරගෙන ඉන්නවා. එයාලා එහෙම කරන්නේ දෙවියන්ගේ සෙනඟ අතරේ ඔහුට අවංකව සේවය කරන දරුවන්* බිහි කරන්න එයාලට තියෙන ආශාව නිසයි. ඒ අය තවමත් දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට අනුව වැඩ කරනවා. දැන් ඔයාලත් ඔයාලාගේ හිත් සෝදිසි කරගෙන ඔයාලා හිතන විදිහ නිවැරදි කරගන්න. තරුණ කාලේදී ඔයාලා විවාහ කරගත්ත බිරිඳට ද්‍රෝහි නොවී ඉන්න අදිටන් කරගන්න. 16  මොකද දික්කසාද වෙන එක මම හෙළා දකිනවා”+ කියලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියනවා. “දුෂ්ටකම් කරන කෙනාවත්* මම හෙළා දකිනවා. ඒ නිසා ඔයාලා හිතන විදිහ නිවැරදි කරගෙන ඔයාලාගේ බිරිඳට ද්‍රෝහි නොවී ඉන්න අදිටන් කරගන්න”+ කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා. 17  “ඔයාලා කියන දේවල් නිසා යෙහෝවා ඉන්නේ හුඟක් කලකිරිලා.+ ඒත් ඔයාලා අහනවා ‘දෙවියන්ට එහෙම දැනෙන්න අපි මොනවාද කිව්වේ’ කියලා. දෙවියන් කලකිරිලා ඉන්නේ ඔයාලා මෙහෙම කියන නිසයි. ‘යෙහෝවා දුෂ්ටකම් කරන අයව සලකන්නේ යහපත් අය විදිහට. දෙවියන් ඒ වගේ අයට ආදරෙයි.+ යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක් ඇත්තටම ඉන්නවාද?’”

පාදසටහන්

හෝ, “ආශීර්වාද වෙනුවට ඔයාලා ශාප අද්දකියි.”
හෝ, “ලොකු ගෞරවයක්; භක්තියක්.”
මූ.අ., “සත්‍යය කියන නීතිය.”
හෝ සමහරවිට, “ඔයාලා දෙන මඟ පෙන්වීම් හුඟක් අයට වැටෙන්න හේතුවක් වෙලා.”
හෝ සමහරවිට, “ශුද්ධස්ථානයට.”
මූ.අ.,”අවදියෙන් ඉන්න කෙනාත් උත්තර දෙන කෙනාත්.”
හෝ, “නීත්‍යනුකූලව එයාව විවාහ කරගත්තා.”
මූ.අ., “දෙවියන්ගෙන් පැවතෙන අය.”
මූ.අ., “තමන්ගේ ඇඳුම දුෂ්ටකම්වලින් පුරවගෙන ඉන්න අයවත්.”