මලාකි 4:1-6

  • යෙහෝවාගේ දවස එන්න කලින් එලියාව එවයි (1-6)

    • “ධර්මිෂ්ඨකම කියන හිරු උදා වෙයි” (2)

4  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! ඒ දවස එනවා. ඒක හරියට දැවෙන ගිනි උදුනක් වගේ.+ ඒ දවසේදී අහංකාරකමින් ඉදිමිලා ඉන්න හැමෝමත් දුෂ්ටකම් කරන හැමෝමත් පිදුරු වගේ පිච්චිලා යයි. ඒ දවසේදී එයාලා විනාශ වෙලාම යයි. ගහේ මුල්වත් අතුවත් එයාලට ඉතුරු වෙන්නේ නැහැ.  ඒත් මගේ නමට ගෞරව කරන* ඔයාලා ඉස්සරහා ධර්මිෂ්ඨකම කියන හිරු උදා වෙයි. ඒකේ රැස්වලින්* ඔයාලට සුවයක් ලැබෙයි. ඔයාලා හොඳට වැඩුණු මහත වහු පැටව් වගේ සතුටින් දුව පැන යයි.”  “ඔයාලා දුෂ්ටයන්ව පාගලා දානවා. මොකද මං පියවර ගන්න දවසේදී එයාලා ඔයාලාගේ පයට පෑගෙන දූවිලි වගේ වෙයි” කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.  “හොරෙබ් කන්දේදී මගේ සේවකයා වන මෝසෙස් මාර්ගයෙන් මං මුළු ඊශ්‍රායෙල් සෙනඟට දුන්න නීතිය සිහි කරන්න. මං ඔයාලට පිළිපදින්න කිව්ව තීන්දු සහ ආඥා මතක් කරගන්න.+  “බලන්න! යෙහෝවා වන මගේ ගරුබිය ඇති කරවන මහත් දවස එන්න කලින්+ මම අනාගතවක්තෘ එලියාව ඔයාලා ළඟට එවනවා.+  ඔහු පියවරුන්ගේ හිත් දරුවන්ගේ හිත් වගේ වෙන්නත්+ දරුවන්ගේ හිත් පියවරුන්ගේ හිත් වගේ වෙන්නත් සලස්වයි.* ඔහු එහෙම කරන්නේ මං ඇවිත් පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කරන එක වළක්වන්නයි.”

පාදසටහන්

මූ.අ., “ගරුබිය පෙන්වන.”
මූ.අ., “තටුවලින්.”
හෝ, “දරුවන් එක්ක සමාදාන වෙන්න පියවරුන්ගේ හිත් පොලඹවයි. පියවරුන් එක්ක සමාදාන වෙන්න දරුවන්ගේ හිත් පොලඹවයි.”