මාක් 1:1-45

  • යොහන් බව්තීස්ත දේශනා කරයි (1-8)

  • යේසුස්ගේ බව්තීස්මය (9-11)

  • සාතන් යේසුස්ව පරීක්ෂා කරයි (12, 13)

  • යේසුස් ගලීලයේ දේශනා සේවය පටන්ගනියි (14, 15)

  • මුලින්ම ගෝලයන් වුණ අය (16-20)

  • භූතයෙක් වැහුණ මනුස්සයෙක්ව සුව කරයි (21-28)

  • කපර්ණවුමේදී යේසුස් හුඟදෙනෙක්ව සුව කරයි (29-34)

  • පාළු තැනකට ගිහින් යාච්ඤා කරයි (35-39)

  • ලාදුරු රෝගියෙක්ව සුව කරයි (40-45)

1  දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය පටන්ගන්නේ මේ විදිහටයි.  අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලේ කියලා තියෙන මේ දේ ඉටු වුණා. “(බලන්න! මම මගේ පණිවිඩකරුව ඔබට ඉදිරියෙන් යවනවා. ඔහු ඔබේ මඟ සූදානම් කරයි.)*+  පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.’”+  පාළුකරයේ හිටපු යොහන් බව්තීස්ත* සෙනඟට දේශනා කළා එයාලා පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න බව්තීස්ම වෙන්න ඕනෙ කියලා. ඒක වැරදිවලට සමාව ලබාගන්න උදව් වෙනවා කියලත් එයා කිව්වා.+  යුදය පුරා හිටපු හැමෝමත් යෙරුසලමේ ජීවත් වුණ හැමෝමත් එයා ළඟට ගිහින් තමන්ගේ වැරදි ගැන ප්‍රසිද්ධියේ පිළිගත්තා. යොහන් එයාලව යොර්දාන් ගඟේ බව්තීස්ම කළා.*+  යොහන් ඇන්දේ ඔටු රෝමවලින් හදපු ඇඳුමක්. එයා ඉණ වටේට හම් පටියක් බැඳගෙන හිටියා.+ පළඟැටියන් සහ කැලේ තියෙන මීපැණි තමයි එයා කෑමට ගත්තේ.+  එයා මෙහෙම දේශනා කළා. “මට වඩා බලවත් කෙනෙක් මට පස්සේ එනවා. බිමට නැමිලා, ඔහුගේ පාවහන්වල පටි ලිහන්නවත් මං වටින්නේ නැහැ.+  මං ඔයාලව බව්තීස්ම කළේ වතුරෙන්. ඒත් ඔහු ඔයාලව බව්තීස්ම කරන්නේ දෙවියන්ගේ බලයෙන්.”+  ඒ කාලේදී යේසුස් ගලීලයේ නාසරෙත්වල ඉඳන් යොහන් හිටපු තැනට ආවා. යොහන් ඔහුව යොර්දාන් ගඟේ බව්තීස්ම කළා.+ 10  වතුරෙන් උඩට එනවාත් එක්කම අහස විවර වෙලා දෙවියන්ගේ බලය පරෙවියෙක් වගේ තමන් පිටට එනවා ඔහු* දැක්කා.+ 11  ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “ඔයා තමයි මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම ඔයා ගැන සතුටු වෙනවා.”*+ 12  ඒ වෙලාවෙම දෙවියන්ගේ බලය පාළුකරයට යන්න ඔහුව පෙලඹුවා. 13  වනසතුන් හිටපු ඒ පාළුකරයේ ඔහු දවස් 40ක් හිටියා. එහෙදී වරදක් කරන්න ඔහුව පොලඹවන්න සාතන් උත්සාහ කළා.+ ඊටපස්සේ දේවදූතයෝ ඇවිත් ඔහුව ශක්තිමත් කළා.+ 14  යොහන්ව අත්අඩංගුවට ගත්තාට පස්සේ දෙවියන්ගේ ශුභාරංචිය+ දේශනා කරන්න යේසුස් ගලීලයට ගියා.+ 15  ඔහු මෙහෙම කිව්වා. “නියමිත කාලය දැන් ඇවිල්ලා. දෙවියන්ගේ රාජ්‍යය ළඟයි. පසුතැවිලි වෙලා+ ශුභාරංචිය ගැන විශ්වාසය තියන්න.” 16  ඔහු ගලීල මුහුද ළඟින් ඇවිදගෙන යද්දී ධීවරයන්+ වුණ සීමොන් සහ එයාගේ සහෝදරයා වුණ අන්දෘ+ එයාලට අයිති දැල් මුහුදට එළමින්+ ඉන්නවා දැක්කා. 17  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “මගේ පිටිපස්සෙන් එන්න. මම ඔයාලව මිනිස්සුන්ව අල්ලන්නන් කරනවා.”+ 18  ඒ වෙලාවෙම එයාලා දැල් පැත්තකට දාලා ඔහු පස්සෙන් ගියා.+ 19  ඔහු තව ටිකක් ඉස්සරහට යද්දී සෙබදීගේ පුතාලා දෙන්නා වුණ යාකොබ්වයි, යොහන්වයි දැක්කා. එයාලා තමන්ගේ බෝට්ටුවේ ඉඳන් දැල්වල ඉරුණු තැන් හදහදයි හිටියේ.+ 20  ඔහු ඒ මොහොතෙම එයාලටත් අඬගැහුවා. ඉතින් එයාලා බෝට්ටුවේ හිටපු එයාලාගේ තාත්තා වුණ සෙබදීව කුලීකරුවන් එක්ක තියලා ඔහු පිටිපස්සෙන් ගියා. 21  ඊටපස්සේ එයාලා කපර්ණවුමට ගියා. සබත් දවස පටන්ගන්නවත් එක්කම ඔහු සිනගෝගයට* ගිහින් උගන්නන්න පටන්ගත්තා.+ 22  මිනිස්සු ඔහු උගන්නපු විදිහ දැකලා පුදුම වුණා. මොකද ඔහු ඉගැන්නුවේ නීතිය පිටපත් කරන අය* වගේ නෙමෙයි. ඔහු උගන්නපු දේවල් දෙවියන්ගෙන් ලැබුණු දේවල් කියලා එයාලට තේරුණා.+ 23  එතකොටම එයාලාගේ සිනගෝගයේ හිටපු භූතයෙක් වැහුණ මනුස්සයෙක් මෙහෙම කෑගහන්න පටන්ගත්තා. 24  “නාසරෙත්වලින් ආපු යේසුස්,+ අපිට කරදර කරන්නේ ඇයි? අපිව නැති කරලා දාන්නද ඔයා ආවේ? ඔයා කවුද කියලා මං හොඳට දන්නවා. ඔයා තමයි දෙවියන්ගේ ශුද්ධ තැනැත්තා!”+ 25  ඒත් යේසුස් භූතයාට තදින් මෙහෙම අණ කළා. “කට වහගන්න! ඔය මනුස්සයාගෙන් එළියට එන්න!” 26  එතකොට භූතයා ඒ මනුස්සයාව හොඳටම ගැහෙන්න සලස්වලා යටි ගිරියෙන් කෑගහලා එයාගෙන් එළියට ආවා. 27  ඒක දැකලා ගොඩක් පුදුම වුණ මිනිස්සු මෙහෙම කතා වෙන්න පටන්ගත්තා. “මොකක්ද මේ? මේක උගන්නන අලුත් විදිහක්ද? මෙයාට භූතයන්ව එළවන්නත් බලය තියෙනවා. භූතයනුත් එයා කියන දේ අහනවා.” 28  ඉතින් ඉක්මනින්ම ඔහු ගැන ආරංචිය හැම තැනටම පැතිරුණා. ගලීලය පුරාම ඒ ආරංචිය පැතිරුණා. 29  ඊටපස්සේ යේසුස් සහ ඔහු එක්ක හිටපු යාකොබ්, යොහන්, සීමොන් සහ අන්දෘ සිනගෝගයෙන් පිටත් වුණා. එයාලා ගියේ සීමොන් සහ අන්දෘගේ ගෙදරට.+ 30  සීමොන්ගේ නැන්දම්මාට+ උණ හැදිලා ඇඳට වෙලයි හිටියේ. යේසුස් එහෙට ගිය ගමන්ම එයා ගැන එයාලා ඔහුට කිව්වා. 31  ඔහු සීමොන්ගේ නැන්දම්මා හිටපු තැනට ගිහින් එයාගේ අතින් අල්ලලා එයාට නැඟිටින්න උදව් කළා. එතකොට එයාගේ උණ බැහැලා ගියා. ඊටපස්සේ එයා ඒ අය වෙනුවෙන් කෑමක් ලෑස්ති කරන්න පටන්ගත්තා. 32  හවස ඉර බැහැලා ගියාට පස්සේ මිනිස්සු අසනීප වෙලා හිටපු හැමෝවමයි, භූතයන් වැහිලා හිටපු හැමෝවමයි ඔහු ළඟට ගේන්න පටන්ගත්තා.+ 33  ඒ ගෙදර දොරකඩ ළඟට නගරයේ හිටපු හැමෝම ඇවිල්ලා හිටියා. 34  ඔහු එක එක විදිහේ ලෙඩ රෝග තිබුණ අයව සුව කළා.+ භූතයන් වැහුණ හුඟදෙනෙක්වත් සුව කළා. ඒත් ඔහු භූතයන්ට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. මොකද ඔහු ක්‍රිස්තුස්* කියලා භූතයන් දැනගෙන හිටියා. 35  පහුවෙනිදා එළිය වැටෙන්නත් කලින් උදේ පාන්දරින්ම නැඟිට්ට ඔහු පාළු තැනකට ගිහින් යාච්ඤා කරන්න පටන්ගත්තා.+ 36  ඒත් සීමොන් සහ එයාත් එක්ක හිටපු අනිත් අය ඔහුව හැම තැනම හෙව්වා. 37  එයාලට ඔහුව හම්බ වුණාම “හැමෝම ඔයාව හොයනවා” කියලා ඔහුට කිව්වා. 38  ඒත් ඔහු එයාලට මෙහෙම කිව්වා. “අපි වෙන තැනකට යමු. මේ ළඟ තියෙන නගරවලටත් ගිහින් මං දේශනා කරන්න ඕනේ. මොකද මං ආවේ ඒකටයි.”+ 39  ඉතින් ඔහු ගලීලය පුරාම ගිහින් එයාලාගේ සිනගෝගවල දේශනා කළා. භූතයන් වැහිලා හිටපු අයවත් සුව කළා.+ 40  ඔය අතරේ ලාදුරු රෝගියෙක් ඔහු ළඟට ඇවිත් දණින් වැටිලා හරිම බැගෑපත්ව ඔහුට මෙහෙම කිව්වා. “ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න. ඔබ කැමතිද ඒක කරන්න?”+ 41  එතකොට යේසුස්ට එයා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. ඔහු තමන්ගේ අත දික් කරලා එයාව අල්ලලා මෙහෙම කිව්වා. “ඔව්, මං කැමතියි. පවිත්‍ර වෙන්න.”+ 42  ඒ මොහොතෙම එයාගේ ලාදුරු රෝගය නැති වෙලා ගියා. එයා සම්පූර්ණයෙන්ම සුව වුණා.* 43  ඒ වෙලාවෙම එයාව පිටත් කරලා යවපු යේසුස් එයාට තදින් අවවාද කරලා 44  මෙහෙම කිව්වා. “මේ ගැන කාටවත් මුකුත් කියන්න එපා. ඒත් පූජකයා ළඟට ගිහින් ඔයා සුව වෙලා කියලා පෙන්නන්න. මෝසෙස්ගේ නීතියේ කියලා තියෙන විදිහට පවිත්‍ර වෙන්න ඕනෙ කරන දේවල් ඔප්පු කරන්න.+ ඔයා සුව වෙලා කියන්න ඒක සාක්ෂියක් වෙයි.”+ 45  ඒත් එතනින් ගියාට පස්සේ ඒ මනුස්සයා වෙච්ච දේ ගැන හැම තැනම, එයා ගියගිය තැන්වල ප්‍රචාරය කළා. ඒකෙන් පස්සේ යේසුස්ට ප්‍රසිද්ධියේ කිසිම නගරයකට ඇතුල් වෙන්න බැරි වුණා. ඒ නිසා ඔහු නගරවලට ඇතුල් වෙන්නේ නැතුව කවුරුත් නැති තැන්වල හිටියා. ඒත් හැම තැනින්ම සෙනඟ ඔහුව හම්බ වෙන්න ආවා.+

පාදසටහන්

මලා 3:1 බලන්න. වරහන්වල තියෙන කොටස අරගෙන තියෙන්නේ එතනින්.
උප. A5 බලන්න.
මූ.අ., “බව්තීස්ම කරන කෙනා.”
හෝ, “වතුරේ ගිල්ලුවා.”
පේන විදිහට මෙතන කතා කරන්නේ යේසුස් ගැනයි.
හෝ, “මම ඔයාව පිළිගන්නවා; අනුමත කරනවා.”
හෝ සමහරවිට, “ඔහු කවුද.”
මූ.අ., “එයා පවිත්‍ර වුණා.”