මාක් 14:1-72

  • පූජකයන් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි (1, 2)

  • සුවඳ තෙලක් යේසුස්ගේ ආලේප කරයි (3-9)

  • යූදස් යේසුස්ව පාවලා දෙයි (10, 11)

  • අන්තිම පාස්කුව (12-21)

  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙයි (22-26)

  • පේතෘස් යේසුස්ව ප්‍රතික්ෂේප කරන එක කලින්ම කියයි (27-31)

  • යේසුස් ගෙත්සෙමන උයනට ගිහින් යාච්ඤා කරයි (32-42)

  • යේසුස්ව අත්අඩංගුවට ගනියි (43-52)

  • මන්ත්‍රණ සභාව ඉස්සරහා කරපු නඩු විභාගය (53-65)

  • පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියයි (66-72)

14  පාස්කු උත්සවයටයි,+ මුහුන් නොදැමූ රොටි උත්සවයටයි+ තිබුණේ තව දවස් දෙකක් විතරයි.+ නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය යේසුස්ව අල්ලගන්න* පුළුවන් කපටි විදිහක් ගැන හිතහිතයි හිටියේ. එයාලට ඕනෙ වුණේ ඔහුව මරලා දාන්න.+  ඒත් “අපි එයාව උත්සව දවස්වලදී අල්ලගන්න එක හොඳ නැහැ. එහෙම කළොත් මිනිස්සු ඇවිස්සෙන්න පුළුවන්” කියලා එයාලා කතා වුණා.  යේසුස් කෑමකට බෙතානියේ හිටපු සීමොන් කියන කෙනාගේ ගෙදරට ආවා. එයා කලින් ලාදුරු රෝගියෙක්. යේසුස් කෑමට ඉඳගෙන ඉද්දී ස්ත්‍රියක් හරිම සුවඳ, ඉස්තරම්ම ජටාමාංස තෙල් තියෙන ඇලබැස්ටර් බඳුනක් අරගෙන එතනට ආවා. ඒක ගොඩක් ගණන් එකක්. එයා ඒ බඳුන ඇරලා යේසුස්ගේ ඔළුවට තෙල් වක් කරන්න පටන්ගත්තා.+  ඒක දැකලා සමහරු තරහෙන් මෙහෙම කතා වුණා. “මේ සුවඳ තෙල් මෙහෙම නාස්ති කරන්නේ ඇයි?  මේ සුවඳ තෙල් බඳුන ඩිනාරි* 300කටත් වඩා වැඩි ගාණකට විකුණන්න තිබුණානේ. එහෙම කළා නම් ඒ සල්ලි ටික දුප්පත් අයට දෙන්න තිබුණා.” ඇත්තටම එයාලට ඒ ස්ත්‍රිය එක්ක ගොඩක් කේන්ති ගියා.*  ඒත් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා එයාට කරදර කරන්නේ ඇයි? එයාට ඉන්න දෙන්න. එයා මං වෙනුවෙන් කළේ හොඳ දෙයක්.+  දුප්පත් අය ඔයාලා එක්ක හැමදාම ඉන්නවා.+ ඔයාලා කැමති ඕනෙ වෙලාවක එයාලට උදව් කරන්න ඔයාලට පුළුවන්. ඒත් මං ඔයාලා එක්ක හැමදාම ඉන්නේ නැහැ.+  එයා කළේ එයාට කරන්න පුළුවන් දේ. එයා මගේ ශරීරයට සුවඳ තෙල් වක් කරලා කල්තියාම මාව තැන්පත් කරන්න සූදානම් කළා.+  ඇත්තටම මං ඔයාලට කියන්නේ ලෝකේ පුරාම ශුභාරංචිය දේශනා කරන හැම තැනකදීම+ මේ ස්ත්‍රිය කරපු දේ ගැන කියලා එයාව මතක් කරනවා.”+ 10  දොළොස්දෙනාගෙන් කෙනෙක් වුණ යූදස් ඉස්කාරියොත් නායක පූජකයන්ව හම්බ වෙන්න ගියා. එයා එහෙම ගියේ යේසුස්ව එයාලට පාවලා දෙන්නයි.+ 11  යූදස්ගේ අදහස අහලා නායක පූජකයෝ ගොඩක් සතුටු වුණා. එයාට සල්ලි* දෙන්නත් එයාලා පොරොන්දු වුණා.+ ඉතින් යේසුස්ව පාවලා දෙන්න හොඳ අවස්ථාවක් එන කල් යූදස් බලාගෙනයි හිටියේ. 12  චාරිත්‍රයට අනුව පාස්කු පූජාව ඔප්පු කරපු,+ මුහුන් නොදැමූ රොටි උත්සවයේ පළවෙනි දවසේ+ යේසුස්ගේ ගෝලයෝ ඔහුගෙන් මෙහෙම ඇහුවා. “ඔයාට පාස්කු කෑම වේල ගන්න අපි කොහෙද ලෑස්ති කරන්න ඕනේ?”+ 13  ඉතින් ඔහු ගෝලයෝ දෙන්නෙක්ට මේ මඟ පෙන්වීම් දීලා එයාලව පිටත් කරලා යැව්වා. “දැන් නගරෙට යන්න. එහෙදී වතුර පුරවන මැටි භාජනයක් අරගෙන යන මනුස්සයෙක්ව ඔයාලට හම්බ වෙයි. එයා පස්සෙන් යන්න.+ 14  එයා යන ගෙදර අයිතිකාරයාව හම්බ වෙලා මෙහෙම කියන්න. ‘ගුරුතුමා ඔයාගෙන් අහනවා “මගේ ගෝලයෝ එක්ක පාස්කුව සමරන්න පුළුවන් කාමරේ තියෙන්නේ කොහෙද” කියලා.’ 15  එයා ඔයාලට ලොකු, උඩුමහල් කාමරයක් පෙන්නයි. අපිට ඕනෙ කරන දේවල් ඒකේ තියෙනවා. අපිට පාස්කුව සමරන්න එතන ලෑස්ති කරන්න.” 16  ඉතින් ඒ ගෝලයෝ දෙන්නා ගිහින් නගරයට ඇතුල් වුණාම යේසුස් කියපු විදිහටම දේවල් වුණා. ඊටපස්සේ පාස්කුව සමරන්න ඕනෙ කරන හැම දෙයක්ම ඒ දෙන්නා ලෑස්ති කළා. 17  අඳුර වැටීගෙන එද්දී ඔහු දොළොස්දෙනාත් එක්ක එහෙට ආවා.+ 18  එයාලා මේසේ වටේට ඉඳගෙන කෑම කකා ඉද්දී යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාලට කියන්නේ මාත් එක්ක මෙතන ඉඳගෙන කෑම කන ඔයාලාගෙන් එක් කෙනෙක් මාව පාවලා දෙනවා.”+ 19  ඒක ඇහුවාම එයාලට ලොකු දුකක් දැනුණා. ඉතින් එයාලා එක් එක් කෙනා “ඒ මමද” කියලා යේසුස්ගෙන් අහන්න පටන්ගත්තා. 20  ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් ඒක කරනවා. ඒ කෙනා මාත් එක්ක එකම බඳුනට අත දාලා කෑම කනවා.+ 21  ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන විදිහටම මනුෂ්‍ය පුත්‍රයා ඔයාලාගෙන් වෙන් වෙලා යනවා. ඒත් මනුෂ්‍ය පුත්‍රයාව පාවලා දෙන කෙනාට හරිම දරුණු දෙයක් වෙයි.+ ඇත්තටම එයා ඉපදෙන්නේ නැතුව හිටියා නම් ඊට වැඩිය හොඳයි.”+ 22  එයාලා කෑම කකා ඉද්දී යේසුස් රොටියක් අරගෙන යාච්ඤාවක් කළා. එයා රොටිය කඩලා ඒක එයාලට දීලා මෙහෙම කිව්වා. “මේක අරන් කන්න. මේකෙන් මගේ ශරීරය නියෝජනය වෙනවා.”+ 23  ඊටපස්සේ ඔහු වයින් තිබුණ කුසලානයක් අරගෙන යාච්ඤාවක් කරලා එයාලට ඒක දුන්නා. එයාලා හැමෝම ඒකෙන් බිව්වා.+ 24  ඔහු එයාලට මෙහෙම කිව්වා. “මේ වයින්වලින් මගේ ලේ නියෝජනය වෙනවා.+ මගේ ‘ලේවලින් තමයි ගිවිසුම ස්ථිර වෙන්නේ.’+ හුඟදෙනෙක්ව බේරගන්න ඒ ලේ වගුරුවනවා.+ 25  ඇත්තටම මං ඔයාලට කියන්නේ දෙවියන්ගේ රාජ්‍යයේදී අලුත් වයින් බොන කල් මං ආයේ වයින් බොන්නේ නැහැ.” 26  අන්තිමට එයාලා ප්‍රශංසා ගී* ගායනා කළාට පස්සේ ඔලීව කන්දට යන්න පිටත් වුණා.+ 27  යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා හැමෝම මාව අතහැරලා යනවා.* මොකද ‘මම එඬේරාට පහර දෙනවා.+ එතකොට බැටළුවන් හැම තැනටම විසිරිලා යයි’+ කියලා ලියලා තියෙනවා. 28  ඒත් මාව ආපහු නැඟිට්ටෙව්වාට පස්සේ මං ගලීලයට යනවා. ඔයාලා එන කල් මං එහෙට වෙලා බලන් ඉන්නවා.”+ 29  ඒත් පේතෘස් ඔහුට මෙහෙම කිව්වා. “අනිත් හැමෝම ඔයාව අතහැරලා* ගියත් මං නම් එහෙම කරන්නේ නැහැ.”+ 30  එතකොට යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ඇත්තටම මං ඔයාට කියන්නේ අද රෑම ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කියනවා. කුකුළෙක් දෙපාරක් හඬලන්න කලින් ඔයා ඒක අනිවාර්යයෙන්ම කියනවා.”+ 31  ඒත් පේතෘස් එකහෙළාම කිව්වේ “මට ඔයාත් එක්ක මැරෙන්න සිද්ධ වුණත් මං ඔයාව අඳුරන්නේ නැහැ කියලා නම් කොහොමටවත් කියන්නේ නැහැ” කියලයි. අනිත් හැමෝමත් ඒ දේම කියන්න පටන්ගත්තා.+ 32  එයාලා ගෙත්සෙමනය කියන තැනට ආවා. එතකොට යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “මං යාච්ඤා කරන්න යනවා. ඔයාලා මෙතන ඉඳගෙන ඉන්න.”+ 33  ඔහු පේතෘස්වයි, යාකොබ්වයි, යොහන්වයි ඔහුත් එක්ක එක්කගෙන ගියා.+ ඒ වෙලාවේ ඔහුගේ මනසට ලොකු බරක් දැනුණා. ඔහුගේ හිතට ලොකු වේදනාවකුත් දැනුණා. 34  ඔහු එයාලට මෙහෙම කිව්වා. “මට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා.+ මට දැනෙන්නේ මං මැරෙන්න යනවා වගේ. ඔයාලා මෙතනට වෙලා දිගටම අවදියෙන් ඉන්න.”+ 35  ඔහු එයාලාගෙන් ටිකක් එහාට ගිහින් දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරලා යාච්ඤා කරන්න පටන්ගත්තා. මේ අමාරු අවස්ථාවට මුහුණ දෙන එක පුළුවන් නම් ඔහුගෙන් අයින් කරන්න කියලා ඔහු ඉල්ලුවා. 36  ඔහු මෙහෙම කිව්වා. “අබ්බා,* තාත්තේ,+ ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+ 37  යේසුස් ඇවිත් බැලුවාම එයාලා නිදාගෙන ඉන්නවා දැක්කා. ඉතින් ඔහු පේතෘස්ට මෙහෙම කිව්වා. “සීමොන්, ඔයා නිදිද? ඔයාලට එක පැයක්වත් ඇහැරිලා ඉන්න බැරිද?+ 38  වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න නම් දිගටම අවදියෙන් ඉන්න.+ අතහරින්නේ නැතුව යාච්ඤා කරන්න. හරි දේ කරන්න හිත කොච්චර කැමති වුණත් පව්කාර ශරීරය ඒකට ඉඩ දෙන්නේ නැහැ.”+ 39  ඔහු ආපහු සැරයක් ගිහින් කලින් ඉල්ලපු දේම ඉල්ලලා යාච්ඤා කළා.+ 40  ඊටපස්සේ ඔහු ආයෙත් සැරයක් එයාලා හිටපු තැනට එද්දීත් එයාලා හිටියේ නිදාගෙන. ඇස් ඇරගන්නවත් බැරි තරමට නිදිමතේ හිටපු එයාලට යේසුස්ට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි වුණා. 41  ඔහු තුන්වෙනි පාරට එයාලා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “මේ වගේ වෙලාවක ඔයාලා නිදාගෙන විවේක ගන්නවාද? දැන් නිදාගත්තා ඇති. මනුෂ්‍ය පුත්‍රයාව පව්කාරයන්ගේ අතට පාවලා දෙන වෙලාව ඇවිත්.+ 42  දැන් නැඟිටින්න, අපි යමු. බලන්න, මාව පාවලා දෙන කෙනා දැන් ළඟටම ඇවිල්ලා.”+ 43  යේසුස් කතා කරකර ඉද්දීම දොළොස්දෙනාගෙන් කෙනෙක් වුණ යූදස් එතනට ආවා. එයාත් එක්ක කඩු, පොලු අරගෙන ලොකු සෙනඟකුත් ආවා. නායක පූජකයන්, නීතිය පිටපත් කරන අය සහ වැඩිමහල්ලන් තමයි ඒ පිරිසව එවලා තිබුණේ.+ 44  යේසුස්ව පාවලා දෙන කෙනා එයාලට මේ වගේ ලකුණක් දෙනවා කියලා කලින්ම කියලා තිබුණා. “මං ගිහින් ඉඹින කෙනාව තමයි ඔයාලා අල්ලගන්න ඕනේ. එයාව අත්අඩංගුවට ගන්න. එයාව අරන් යද්දී පැනලා යන්න දෙන්න එපා.” 45  යූදස් කෙළින්ම යේසුස් ළඟට ගිහින් “ගුරුතුමනි”* කියලා ඔහුගේ මූණ ඉම්බා. 46  එතකොට එයාලා යේසුස්ව අත්අඩංගුවට ගත්තා. 47  ඒත් එතන හිටපු අයගෙන් කෙනෙක් එයාගේ කඩුව අරගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නා. ඒ දාසයාගේ කන කැපිලා ගියා.+ 48  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා මාව අත්අඩංගුවට ගන්න කඩු, පොලු අරගෙන ආවේ මං හොරෙක් කියලා හිතාගෙනද?+ 49  මං හැම දවසකම දේවමාලිගාවේ උගන්න උගන්න හිටියා කියලා ඔයාලා දන්නවා.+ ඇයි ඔයාලා මාව එතකොට අත්අඩංගුවට ගත්තේ නැත්තේ? කොහොමවුණත් මේ විදිහට වුණේ ශුද්ධ ලියවිලිවල ලියලා තියෙන දේ ඉටු වෙන්නයි.”+ 50  ඔහුගේ ගෝලයෝ හැමෝම ඔහුව අතහැරලා එතනින් පැනලා ගියා.+ 51  ඒත් එක තරුණයෙක් යේසුස්ට ටිකක් කිට්ටුවෙන් ඔහු පිටිපස්සෙන් ගියා. ඒ වෙලාවේ එයා උඩින් දාගෙන හිටියේ හොඳම ලිනන්වලින් මහපු ඇඳුමක් විතරයි. සෙනඟ ඒ තරුණයාව අල්ලගන්න හැදුවා. 52  ඒත් ඒ තරුණයා එයාගේ ලිනන් ඇඳුම දාලා* පැනලා ගියා. 53  ඊටපස්සේ එයාලා යේසුස්ව උත්තම පූජකයා ළඟට අරගෙන ගියා.+ නායක පූජකයන්, වැඩිමහල්ලන් සහ නීතිය පිටපත් කරන හැමෝම එතනට රැස් වෙලා හිටියා.+ 54  පේතෘස් යේසුස්ට ටිකක් ඈතින් ඔහු පිටිපස්සෙන් උත්තම පූජකයාගේ ගෙදර මැද මිදුල වෙන කල්ම ගියා. ඊටපස්සේ එයා එතන තිබුණ ගිනිමැලයක් ළඟට ගිහිල්ලා ගෙදර සේවකයන් එක්ක ඉඳගෙන ගිනි තපින්න පටන්ගත්තා.+ 55  ඔය අතරේ නායක පූජකයෝයි, මුළු මන්ත්‍රණ සභාවයි* යේසුස්ට විරුද්ධව සාක්ෂි දෙන්න පුළුවන් අයව හොයහොය හිටියා. එයාලට ඕනෙ වුණේ ඔහුව මරණයට නියම කරන්නයි. ඒත් එයාලට කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා.+ 56  ගොඩක් අය ඇවිල්ලා ඔහුට විරුද්ධව බොරු සාක්ෂි දුන්නා.+ ඒත් එයාලාගේ සාක්ෂි එකකට එකක් ගැළපුණේ නැහැ. 57  ඒ වගේම තවත් අය ඉස්සරහට ඇවිත් ඔහුට විරුද්ධව බොරු සාක්ෂි දුන්නා. එයාලා මෙහෙම කිව්වා. 58  “අපිට ඇහුණා මෙයා කියනවා ‘මිනිස්සු හදපු මේ දේවමාලිගාව මං කඩලා දාලා තවත් එකක් දවස් තුනකින් හදනවා’ කියලා. ‘හැබැයි ඒක හදන්නේ මිනිස්සු නෙමෙයි’ කියලත් මෙයා කිව්වා.”+ 59  ඒත් ඒ කාරණය ගැන එයාලා දීපු සාක්ෂිත් එකකට එකක් ගැළපුණේ නැහැ. 60  ඊටපස්සේ උත්තම පූජකයා ඒ හැමෝම ඉස්සරහා නැඟිටලා යේසුස්ගෙන් මෙහෙම ප්‍රශ්න කළා. “මේ මිනිස්සු ඔයාට විරුද්ධව කියන දේවල් ඇහෙනවා නේද? ඒ ගැන ඔයාට කියන්න මුකුත් නැද්ද?”+ 61  ඒත් යේසුස් කිසිම පිළිතුරක් දුන්නේ නැහැ.+ ඉතින් උත්තම පූජකයා ආයෙත් ඔහුගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එයා මෙහෙම ඇහුවා. “ඔයා ශ්‍රේෂ්ඨ දෙවියන්ගේ පුතා ක්‍රිස්තුස්ද?” 62  එතකොට යේසුස් මෙහෙම උත්තර දුන්නා. “ඔව්, ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාගේ දකුණු පැත්තේ ඉඳගෙන ඉන්න විදිහත්+ අහසේ වලාකුළු එක්ක ඔහු එන විදිහත්+ ඔයාලා දකියි.” 63  ඒක අහලා උත්තම පූජකයා එයාගේ ඇඳුම් ඉරාගෙන මෙහෙම කිව්වා. “අපිට තවත් සාක්ෂිකාරයන් මොකටද?+ 64  ඔයාලටම ඇහුණා නේද දෙවියන්ට කරපු අපහාසේ? මොකක්ද ඔයාලා දෙන තීන්දුව?”* ඔහුට මරණ දණ්ඩනය නියම කරන්න ඕනෙ කියලා එයාලා හැමෝම එකඟ වුණා.+ 65  සමහරු ඔහුට කෙළ ගැහුවා.+ එයාලා ඔහුගේ මූණ වහලා මිට මොළවලා ඔහුට ගහලා මෙහෙම කිව්වා. “ඔයා අනාගතවක්තෘවරයෙක්නේ. දැන් කියන්න කවුද ඔයාට ගැහුවේ කියලා.” අධිකරණයේ නිලධාරීන් ඔහුගේ කම්මුලට ගහලා ඔහුව අරගෙන ගියා.+ 66  පේතෘස් පල්ලෙහා මැද මිදුලේ ඉද්දී උත්තම පූජකයාගේ සේවිකාවක් එතනට ආවා.+ 67  ගිනිමැලය ළඟ පේතෘස් ඉන්නවා දැකලා එයා පේතෘස් දිහා හොඳට බලලා මෙහෙම කිව්වා. “ඔයාත් අර නාසරෙත්වලින් ආපු යේසුස් එක්ක හිටපු කෙනෙක් නේද?” 68  ඒක එහෙම නෙමෙයි කියලා පෙන්නන්න පේතෘස් මෙහෙම කිව්වා. “ඔයා මේ මොනවා කියනවාද මං දන්නෑ. මං එයාව දන්නෙවත් නැහැ.” එහෙම කියලා පේතෘස් දොරටුව තියෙන පැත්තට ගියා. 69  එතනදීත් ඒ සේවිකාව පේතෘස්ව දැකලා ළඟ හිටපු අයට මෙහෙම කියන්න පටන්ගත්තා. “මෙයා අරයාගේ ගෝලයෙක් තමයි.” 70  පේතෘස් ඒක එහෙම නෙමෙයි කියලා ආයෙත් සැරයක් කිව්වා. ටික වෙලාවකට පස්සේ එතන හිටපු අය “ඔයා එයාලාගෙන් කෙනෙක් තමයි. ඔයා ගලීලයෙන් ආපු කෙනෙක් නේද” කියලා පේතෘස්ට ආයේ කියන්න පටන්ගත්තා. 71  ඒත් පේතෘස් දිවුරලා* මෙහෙම කිව්වා. “ඔයාලා කියන ඔය මනුස්සයාව මං දන්නේ නෑ.” 72  එහෙම කියනවාත් එක්කම කුකුළෙක් දෙවෙනි පාරට හැඬලුවා.+ එතකොට පේතෘස්ට මතක් වුණා “කුකුළෙක් දෙපාරක් හඬලන්න කලින් ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක් කියනවා” කියලා යේසුස් කියපු දේ.+ දැනුණ වේදනාව දරාගන්න බැරුව එයා හොඳටම අඬන්න පටන්ගත්තා.

පාදසටහන්

හෝ, “අත්අඩංගුවට ගන්න.”
උප. B14 බලන්න.
හෝ, “එයාලා කේන්තියෙන් ඒ ස්ත්‍රියට කතා කළා; එයාට බැන්නා.”
මූ.අ., “රිදී.”
හෝ, “ගීතිකා.”
මූ.අ., “ඔයාලාගේ පය පැටලිලා වැටෙනවා.”
මූ.අ., “වැටිලා.”
හෙබ්‍රෙව් නැත්නම් ඇරමයික වචනයක්. ඒක දරුවෝ තාත්තාට ආදරෙන් කතා කරද්දී කියන වචනයක්. ගෞරවනීය හැඟීමකුත් ඒ වචනේ ඇතුළේ තියෙනවා.
මූ.අ., “රබ්බි.”
හෝ, “යට ඇඳුම පිටින්.”
හෝ, “ඔයාලා මොකක්ද හිතන්නේ?”
හෝ, “තමන්ට නරකක් වෙන්න කියලා ශාප කරගන්න ගමන්.”