මාක් 4:1-41

  • දේවරාජ්‍යය ගැන උදාහරණ (1-34)

    • වපුරන්නා (1-9)

    • යේසුස් උදාහරණ පාවිච්චි කරපු හේතුව (10-12)

    • වපුරන්නා ගැන උදාහරණය පැහැදිලි කරයි (13-20)

    • පහන කූඩයකින් වහන්නේ නැහැ (21-23)

    • ඔයා මනින මිම්ම (24, 25)

    • වපුරන්නා නින්දට ගියාම වෙන දේ (26-29)

    • අබ ඇටය (30-32)

    • උදාහරණ පාවිච්චි කරයි (33, 34)

  • යේසුස් කුණාටුවක් නිශ්චල කරයි (35-41)

4  යේසුස් ආයෙත් මුහුද* ළඟ උගන්නන්න පටන්ගත්තා. විශාල සෙනඟක් ඔහු ළඟට රැස් වුණ නිසා ඔහු බෝට්ටුවකට නැඟලා ඒකේ ඉඳගත්තා. ඊටපස්සේ ඒක වෙරළෙන් ටිකක් ඈතට අරන් ගියා. ඒත් සෙනඟ හිටියේ වෙරළේ.+  ඔහු උදාහරණ පාවිච්චි කරලා එයාලට ගොඩක් දේවල් ඉගැන්නුවා.+ උගන්නන අතරේදී ඔහු එයාලට මෙහෙම කිව්වා.+  “ඇහුම්කන් දෙන්න. එක මනුස්සයෙක් බීජ වපුරන්න පිටත් වෙලා ගියා.+  එයා බීජ වපුරද්දී සමහර බීජ පාර දිගේ වැටුණා. කුරුල්ලෝ ඇවිත් ඒවා කාලා දැම්මා.  තවත් බීජ වැටුණේ පස් එච්චර නැති ගල් බිමක. ගැඹුරු පස් තට්ටුවක් තිබුණේ නැති නිසා ඒවා ඉක්මනින්ම පැළ වුණා.+  ඒත් හොඳට මුල් ඇදලා තිබුණේ නැති නිසා ඉර පෑව්වාට පස්සේ ඒවා අව්වට පිච්චිලා මැරිලා ගියා.  තවත් බීජ වැටුණේ කටු ගස් අතරේ. කටු ගස් වැවිලා ඒවා යට කරලා දැම්ම නිසා ඒවා පල දැරුවේ නැහැ.+  ඉතුරු බීජ සරු පසේ වැටුණා. ඒවා පැළ වෙලා, හොඳට වැඩිලා පල දරන්න පටන්ගත්තා. සමහර බීජවලින් 30 ගුණයක, තව ඒවාවලින් 60 ගුණයක, තවත් බීජවලින් 100 ගුණයක පලදාවක් ලැබුණා.”+  ඊටපස්සේ ඔහු මෙහෙමත් කිව්වා. “ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.”+ 10  ඔහු තනියම ඉද්දී නියෝජිතයන් දොළොස්දෙනායි, තව ගෝලයන් කීපදෙනෙකුයි ඔහු ළඟට ඇවිත් ඒ උදාහරණ ගැන ඔහුගෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්තා.+ 11  ඔහු එයාලට මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය ගැන පරිශුද්ධ රහස+ තේරුම්ගන්න දෙවියන් ඔයාලට තමයි උදව් කරලා තියෙන්නේ. ඒත් අනිත් අයට ඒවා නිකම්ම උදාහරණ විතරයි.+ 12  ඒ නිසයි එයාලා කොච්චර බැලුවත් එයාලට පේන්නේ නැත්තේ. කොච්චර ඇහුණත් එයාලට තේරෙන්නේ නැත්තේ. එයාලා කවදාවත් දෙවියන් ළඟට ආපහු හැරිලා එන්නේ නැහැ. ඒ නිසා එයාලට සමාව ලබාගන්න බැහැ.”+ 13  ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “ඔයාලට මේ උදාහරණය තේරුම්ගන්න බැරි නම් අනිත් උදාහරණ තේරුම්ගන්නේ කොහොමද? 14  “වපුරන කෙනා වපුරන්නේ රාජ්‍යය ගැන පණිවිඩයයි.*+ 15  සමහර මිනිස්සුන්ට වෙන්නේ පාර දිගේ වපුරපු බීජවලට වුණ දේ. එයාලා පණිවිඩය අහපු ගමන්ම එයාලාගේ හිත්වල වපුරපු ඒ බීජය සාතන් ඇවිත්+ අරන් යනවා.+ 16  තවත් සමහර අයට වෙන්නේ ගල් බිම්වල වපුරපු බීජවලට වෙන දේ. එයාලා පණිවිඩය අහලා හරිම සතුටින් ඒක පිළිගන්නවා.+ 17  ඒත් ඒ පණිවිඩය එයාලාගේ හිත්වල මුල් බැහැලා නැති නිසා එයාලා ඉන්නේ ටික කාලෙකට විතරයි. පණිවිඩය පිළිගත්ත නිසා මොකක් හරි අමාරු ප්‍රශ්නයක්, පීඩාවක් ආව ගමන්ම එයාලාගේ විශ්වාසය නැති වෙලා යනවා.* 18  තවත් සමහරුන්ට වෙන්නේ කටු ගස් අතරේ වපුරපු බීජවලට වෙන දේ. එයාලා පණිවිඩය අහනවා.+ 19  ඒත් මේ සමාජයේ* ජීවත් වෙද්දී එදිනෙදා ඇති වෙන කනස්සල්ල,+ හුඟදෙනෙක්ව නොමඟ යවන සල්ලි හම්බ කරන්න තියෙන ආසාව*+ වගේම වෙන වෙන ආශාවන්+ හිතට රිංගලා පණිවිඩය යටපත් කරනවා. ඒ නිසා එයාලා පල දරන්නේ නැති තත්වයකට පත් වෙනවා. 20  අන්තිම කට්ටියට වෙන්නේ සරු පසේ වපුරපු බීජවලට වෙන දේ. එයාලා පණිවිඩයට ඇහුම්කන් දීලා ඒක සතුටින් පිළි අරන් පල දරනවා. එයාලාගෙන් සමහර අය 30 ගුණයක්, තවත් අය 60 ගුණයක්, තවත් සමහර අය 100 ගුණයක් පල දරනවා.”+ 21  ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “කෙනෙක් පහනක් දල්වලා ඒක කූඩයකින් වහලා තියනවාද? නැත්නම් ඇඳක් යට තියනවාද? එයා ඒක තියන්නේ පහන් රුකක් උඩ නෙමෙයිද?+ 22  හංගලා තියෙන හැම දෙයක්ම එළි වෙනවා. පරෙස්සමින් හංගලා තියෙන හැම දෙයක් ගැනම දැනගන්න ලැබෙනවා.+ 23  ඇහුම්කන් දෙන්න කැමති අය ඇහුම්කන් දෙන්න.”+ 24  යේසුස් එයාලට මෙහෙමත් කිව්වා. “මං දැන් කියන දේවල්වලට හොඳින් ඇහුම්කන් දෙන්න.+ ඔයා මනින මිම්මෙන්ම තමයි ඔයාටත් මැනලා දෙන්නේ. ඇත්තටම ඊටත් වඩා වැඩියෙන් ඔයාට හම්බ වෙයි. 25  මොකද අවබෝධයක් තියෙන කෙනාට තවත් අවබෝධය ලබා දෙනවා.+ ඒත් අවබෝධයක් නැති කෙනාගෙන් තියෙන අවබෝධයත් ගන්නවා.”+ 26  යේසුස් සෙනඟට මෙහෙම කිව්වා. “දෙවියන්ගේ රාජ්‍යය, බීජ වපුරන මනුස්සයෙක්ට සමාන කරන්න පුළුවන්. 27  එයා හැමදාම රෑට නිදාගෙන උදේට නැඟිටිනවා. ඔය අතරේ බීජ පැළ වෙලා උසට වැඩෙනවා. ඒත් ඒක වෙන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. 28  පැළේ ටිකෙන් ටික පොළොවේ වැඩිලා පල දරනවා. මුලින්ම කඳ පුංචියට මතු වෙනවා. ඊටපස්සේ ධාන්‍ය කරලක් මතු වෙනවා. අන්තිමට සම්පූර්ණයෙන් පැහුණු ධාන්‍ය කරලක් ඒකේ දකින්න ලැබෙනවා. 29  ධාන්‍ය පැහුණු ගමන්ම ඒ මනුස්සයා දෑකැත්තෙන් ඒවා කපාගන්නවා. මොකද අස්වැන්න නෙළන කාලය ඇවිත් කියලා එයා දන්නවා.” 30  ඔහු මෙහෙමත් කිව්වා. “අපිට දෙවියන්ගේ රාජ්‍යය සමාන කරන්න පුළුවන් මොනවාටද? ඒ ගැන පැහැදිලි කරන්න පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ උදාහරණයක්ද? 31  ඒක අබ ඇටයකට සමාන කරන්න පුළුවන්. අබ ඇටයක් පොළොවේ වපුරද්දී ඒක තමයි පොළොවේ තියෙන පුංචිම බීජය.+ 32  වැපුරුවාට පස්සේ ඒක වැඩිලා ලොකු ගහක් වගේ වෙනවා. අතු විහිදිලා යනවා. කුරුල්ලෝ එතනට ඇවිත් කූඩු හදාගෙන ඉර එළියෙන් ආරක්ෂාව ලබනවා.” 33  එයාලට තේරුම්ගන්න පුළුවන් ප්‍රමාණයට අනුව ඔහු ඒ වගේ උදාහරණ පාවිච්චි කරලා+ දෙවියන්ගේ වචනය ගැන කතා කළා. 34  ඔහු හැම වෙලාවෙම උදාහරණ පාවිච්චි කරලා තමයි කතා කළේ. ඒත් ගෝලයන් විතරක් ඔහු ළඟ ඉද්දී ඒ හැම දෙයක්ම ඔහු එයාලට පැහැදිලි කරලා දුන්නා.+ 35  එදා හවස් වුණාට පස්සේ ඔහු එයාලට “අපි එගොඩට යං”+ කියලා කිව්වා. 36  ඉතින් සෙනඟව පිටත් කරලා යැව්වාට පස්සේ එයාලා ඒ ගමන්ම යේසුස් එක්ක බෝට්ටුවේ යන්න පිටත් වුණා. තවත් බෝට්ටු කීපයකුත් ඒකත් එක්ක යන්න පිටත් වුණා.+ 37  ටික වෙලාවකින් හරිම දරුණු කුණාටුවක් ඇති වුණා. හුළං පාරත් එක්ක රළ වේගයෙන් බෝට්ටුවට ගහන්න පටන්ගත්තා. ඉතින් බෝට්ටුව ගිලෙන තරමට වතුර පිරුණා.+ 38  ඒත් බෝට්ටුව පිටිපස්සේම කොටසේ යේසුස් ඔළුවට කොට්ටයක් තියාගෙන නිදාගෙනයි හිටියේ. ඉතින් එයාලා ඔහුව ඇහැරවලා “ගුරුතුමනි, අපි මැරෙන්නයි යන්නේ. ඔයාට ඒ ගැන ගාණක්වත් නැද්ද” කියලා ඇහුවා. 39  එතකොට ඔහු නැඟිටලා හුළඟට තදින් කතා කරලා මුහුදට මෙහෙම කිව්වා. “නිහඬ වෙන්න! නිශ්චල වෙන්න.”+ ඊටපස්සේ හුළඟ නතර වෙලා මුහුද සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා. 40  ඔහු එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයාලා මෙච්චර බය වුණේ? ඔයාලට තාමත් කිසිම විශ්වාසයක් නැද්ද?” 41  ඒ වෙලාවේ එයාලට ලොකු බයක් දැනුණා. එයාලා මෙහෙම කතා වුණා. “ඇත්තටම මෙයා කවුද? හුළඟ, මුහුද පවා එයා කියන දේ අහනවා.”+

පාදසටහන්

ඒ කියන්නේ ගලීල මුහුද.
මූ.අ., “වචනයයි.”
මූ.අ., “එයාලා වැටිලා යනවා.”
හෝ, “පොහොසත් වුණොත් සතුටක් ලැබෙනවා කියන මුළාව.”