මාක් 5:1-43

  • යේසුස් ඌරු රැළට වැහෙන්න භූතයන්ට ඉඩ දෙයි (1-20)

  • යායිරස්ගේ දුව; ස්ත්‍රියක් යේසුස්ගේ ඇඳුම අල්ලයි (21-43)

5  ඊටපස්සේ එයාලා මුහුදේ* එහා පැත්තට ඒ කියන්නේ ගෙරසීනවරුන්ගේ පළාතට ගියා.+  යේසුස් බෝට්ටුවෙන් බැස්ස ගමන්ම සොහොන් ගෙවල් තිබුණ පැත්තේ ඉඳන් භූතයෙක් වැහුණ මනුස්සයෙක් ඔහු ඉස්සරහට ආවා.  එයා ජීවත් වුණේ සොහොන් ගෙවල් අතරේ. මේ වෙන කල් දම්වැල්වලින්වත් එයාව බැඳලා තියන්න කාටවත් බැරි වුණා.  මිනිස්සු එයාට විලංගු දාලා දම්වැල්වලින් එයාව බැඳලා තියන්න කොච්චර උත්සාහ කළත් එයා දම්වැල් කඩලා දාලා විලංගු පොඩි කරලා දැම්මා. එයාව පාලනය කරන්න තරම් ශක්තියක් කාටවත් තිබුණේ නැහැ.  රෑ දවල් දෙකේම සොහොන් ගෙවල් සහ කඳුකරයේ ගැවසුණු ඒ මනුස්සයා මහ හයියෙන් කෑගැහුවා. ගල්වලින් එයාගේ ඇඟ කපාගත්තා.  ඒත් ඒ මනුස්සයා ඈත තියාම යේසුස්ව දැකලා දුවගෙන ඇවිත් ඔහු ළඟ දණින් වැටුණා.+  ඊටපස්සේ එයා හයියෙන් කෑගහලා මෙහෙම කිව්වා. “උසස්ම දෙවියන්ගේ පුතා යේසුස්, ඔබට මොනවාද මගෙන් ඕනේ? දෙවියන් ගැන දිවුරලා කියන්න මට වධ දෙන්නේ නෑ කියලා.”+  එයා එහෙම කෑගැහුවේ “මම ඔය භූතයාටයි කියන්නේ, මේ මනුස්සයාගෙන් එළියට එන්න” කියලා යේසුස් කියපු නිසයි.+  යේසුස් එයාගෙන් ඇහුවා “ඔයාගේ නම මොකක්ද” කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. “මෙතන අපි හුඟදෙනෙක් ඉන්න නිසා මට කියන්නේ සේනාංකය කියලා.” 10  භූතයන්ව ඒ ප්‍රදේශයෙන් පිටත් කරලා යවන්න එපා කියලා එයා යේසුස්ගෙන් දිගින් දිගටම බැගෑපත්ව ඉල්ලුවා.+ 11  ඔය අතරේ විශාල ඌරු රැළක්+ කන්දක කෑම කකා හිටියා.+ 12  ඉතින් ඒ භූතයෝ “අර ඌරු රැළට වැහෙන්න අපිට ඉඩ දෙන්න” කියලා යේසුස්ට බැගෑපත් වුණා. 13  ඔහු එයාලට එහෙම කරන්න ඉඩ දුන්නා. ඉතින් ඒ භූතයෝ මනුස්සයාගෙන් එළියට ඇවිල්ලා ඌරු රැළට වැහුණා. ඒ රැළේ ඌරෝ 2,000ක් විතර හිටියා. උන් වේගයෙන් දුවගෙන ගිහින් කන්දෙන් පහළ තිබුණ මුහුදට වැටිලා ගිලිලා මැරුණා. 14  එතකොට ඒ රැළ බලාගත්ත අය දුවගෙන ගිහින් සිද්ධ වුණ දේ ගැන නගරයේ සහ ඒ අවට හිටපු මිනිස්සුන්ට දැනුම් දුන්නා. ඉතින් ඒක බලන්න මිනිස්සු ආවා.+ 15  එයාලා යේසුස් ළඟට ආවාම භූතයන් සේනාංකය වැහිලා හිටපු මනුස්සයා ඇඳුම් ඇඳගෙන හොඳ සිහිකල්පනාවෙන් ඉඳගෙන ඉන්නවා දැක්කා. ඒක දැකලා එයාලා හොඳටම බය වුණා. 16  ඒ සිද්ධිය දැක්ක අය භූතයෙක් වැහිලා හිටපු මනුස්සයා හොඳ වුණ විදිහත් ඌරන්ට වෙච්ච දේත් එයාලට කිව්වා. 17  ඉතින් ඒ මිනිස්සු යේසුස්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා එයාලාගේ ප්‍රදේශයෙන් පිටත් වෙලා යන්න කියලා.+ 18  යේසුස් එහෙන් පිටත් වෙන්න බෝට්ටුවට නඟිද්දී කලින් භූතයා වැහිලා හිටපු මනුස්සයා එයාටත් යේසුස් එක්ක එන්න ඉඩ දෙන්න කියලා ඉල්ලුවා.+ 19  ඒත් යේසුස් ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ ගම් පළාතේ ඉන්න ඔයාගේ නෑදෑයන් ළඟට ගිහිල්ලා යෙහෝවා* දෙවියන් ඔයා වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම එයාලට කියන්න. ඔහු ඔයාට දයාව පෙන්නපු විදිහ ගැනත් එයාලට කියන්න.” 20  ඒ මනුස්සයා එතනින් ගිහිල්ලා එයා වෙනුවෙන් යේසුස් කරපු හැම දෙයක් ගැනම දෙකපොලිසයේ* හිටපු මිනිස්සුන්ට කියන්න පටන්ගත්තා. එයා කියපු දේවල් අහලා හැමෝම පුදුම වුණා. 21  යේසුස් බෝට්ටුවෙන් ආපහු සැරයක් එගොඩට ගියාම ඔහු ළඟට විශාල සෙනඟක් ආවා. ඒ වෙලාවේ ඔහු හිටියේ මුහුද ළඟ.+ 22  එතකොට සිනගෝගයේ හිටපු නායකයන්ගෙන් කෙනෙක් වුණ යායිරස් කියන කෙනා එතනට ආවා. එයා යේසුස්ව දැක්ක ගමන්ම ඔහු ළඟ දණින් වැටුණා.+ 23  එයා ගොඩක් සැරයක් බැගෑපත්ව යේසුස්ගෙන් මෙහෙම ඉල්ලුවා. “මගේ චූටි දුවට හොඳටම අසනීපයි.* අනේ, ඇවිත් එයාට අත තියලා+ එයාව සුව කරන්න.” 24  ඉතින් යේසුස් එයාත් එක්ක යන්න පිටත් වුණා. ලොකු සෙනඟකුත් ඔහු පිටිපස්සෙන් ගියා. කොච්චරද කියනවා නම් සෙනඟ ඔහුගේ ඇඟේ පවා වැදුණා. 25  අවුරුදු 12ක් තිස්සේ+ ලේ ගැලීමක්+ නිසා දුක් විඳපු එක කාන්තාවක් හිටියා. 26  එයා ගොඩක් වෛද්‍යවරුන් ළඟට ගිහින් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඒ ප්‍රතිකාර නිසා එයා සෑහෙන්න දුක් වින්දා. එයාට තිබුණ හැම දෙයක්ම එයා ඒ අසනීපය වෙනුවෙන් වියදම් කරලා තිබුණත් කිසිම සුවයක් ලැබුණේ නැහැ. ඇත්තටම වුණේ අසනීපය තවත් දරුණු වුණ එක විතරයි. 27  එයාට යේසුස් ගැන ආරංචි වෙලා තිබුණා. ඉතින් එයා සෙනඟ මැද්දෙන් රිංගලා යේසුස් ළඟට ගිහින් ඔහුගේ පිටිපස්සේ ඉඳන් ඔහුගේ ඇඳුම ඇල්ලුවා.+ 28  මොකද “ඔහුගේ ඇඳුම ඇල්ලුවත් ඇති මාව සුව වෙයි” කියලා එයා හිතුවා.+ 29  ඒ වෙලාවෙම ලේ ගලන එක නතර වුණා. එයාට තිබුණ බරපතළ අසනීපය සුව වුණා කියලා එයාට දැනුණා. 30  ඒ මොහොතේදීම යේසුස්ට තේරුණා තමන්ගෙන් ශක්තිය*+ පිට වුණා කියලා. ඉතින් ඔහු සෙනඟ පැත්තට හැරිලා මෙහෙම ඇහුවා. “මගේ ඇඳුම ඇල්ලුවේ කවුද?”+ 31  ඒත් ඔහුගේ ගෝලයෝ මෙහෙම කිව්වා. “අපි මේ සෙනඟ මැද්දේ තෙරපෙන විදිහ ඔබට පේනවා නේද? ඉතින් ඔබ අහනවා ‘මාව ඇල්ලුවේ කවුද’ කියලා.” 32  ඒත් ඒක කළේ කවුද කියලා දැනගන්න ඔහු වටපිට බැලුවා. 33  තමන් සුව වුණා කියලා තේරුම්ගත්ත ඒ කාන්තාව බයෙන් වෙවුල වෙවුල ඔහු ළඟට ඇවිත් දණින් වැටිලා වෙච්ච හැම දෙයක්ම ඔහුට කිව්වා. 34  ඔහු එයාට මෙහෙම කිව්වා. “දුවේ, ඔයා සුව වුණේ ඔයාගේ විශ්වාසය නිසයි. ඔයාගේ බරපතළ අසනීපය දැන් සුව වෙලා.+ ඉතින් දැන් හිතේ නිදහසෙන් යන්න.”+ 35  ඔහු කතා කරකර ඉද්දීම යායිරස්ගේ ගෙදරින් කීපදෙනෙක් ඇවිල්ලා මෙහෙම කිව්වා. “ඔබේ දුව නැති වුණා. ඉතින් ගුරුතුමාට තවත් කරදර කරන්න එපා.”+ 36  ඒත් එයාලා කියපු දේ ඇහිලා යේසුස් යායිරස්ට මෙහෙම කිව්වා. “කලබල වෙන්න එපා. දිගටම විශ්වාසයෙන් ඉන්න.”+ 37  ඔහු පේතෘස්ටයි, යාකොබ්ටයි, යාකොබ්ගේ සහෝදරයා වුණ යොහන්ටයි ඇර වෙන කාටවත් ඔහුත් එක්ක එන්න ඉඩ දුන්නේ නැහැ.+ 38  එයාලා යායිරස්ගේ ගෙදරට ආවා. එතකොට සෙනඟ කෑගගහා අඬා වැලපෙන විදිහ යේසුස් දැක්කා.+ 39  ඔහු ගෙට ඇතුල් වුණාට පස්සේ මෙහෙම කිව්වා. “ඔයාලා කෑගගහා මේ විදිහට අඬන්නේ ඇයි? දරුවා මැරිලා නෑ. එයා නිදාගෙනයි ඉන්නේ.”+ 40  එතකොට එයාලා ඔහුට හිනා වෙන්න පටන්ගත්තා. ඔහු ඒ හැමෝවම ගෙදරින් එළියට යැව්වාට පස්සේ දරුවාගේ අම්මායි, තාත්තායි, ඔහුත් එක්ක හිටපු ගෝලයෝයි එක්ක දරුවා හිටපු තැනට ගියා. 41  ඊටපස්සේ ඔහු දැරියගේ අත අල්ලගෙන “තලිතා කූමි” කියලා එයාට කිව්වා. ඒකේ තේරුම “චූටි දුවේ, දැන් නැඟිටින්න”+ කියන එකයි. 42  එතකොටම දැරිය නැඟිටලා ඇවිදින්න පටන්ගත්තා. (එයාට අවුරුදු 12යි.) ඒක අදහාගන්න බැරුව ඒ වෙලාවේ එයාගේ දෙමාපියන් සතුටින් කෑගැහුවා. 43  ඒත් සිද්ධ වුණ දේ ගැන කාටවත් මුකුත් කියන්න එපා කියලා යේසුස් එයාලට කීප සැරයක්ම කිව්වා.*+ දැරියට මොනවා හරි කන්න දෙන්න කියලත් ඔහු එයාලට කිව්වා.

පාදසටහන්

ඒ කියන්නේ ගලීල මුහුදේ.
උප. A5 බලන්න.
හෝ, “නගර දහයක් තියෙන ප්‍රදේශයේ.”
හෝ, “දුව මැරෙන්න ආසන්නයි.”
හෝ, “බලය.”
හෝ, “අණ කළා.”