මාක් 6:1-56

  • යේසුස්ගේ ගම් පළාතේදී ඔහුට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ (1-6)

  • සේවයට කලින් දොළොස්දෙනාට දුන්න මඟ පෙන්වීම් (7-13)

  • යොහන් බව්තීස්තගේ මරණය (14-29)

  • යේසුස් 5,000කට කන්න දෙයි (30-44)

  • යේසුස් වතුර මත ඇවිදියි (45-52)

  • ගෙනසරෙත්වලදී හුඟදෙනෙක්ව සුව කරයි (53-56)

6  ඔහු එතනින් පිටත් වෙලා ඔහුගේ ගම් පළාතට ගියා.+ ඔහුගේ ගෝලයනුත් ඔහු එක්ක ගියා.  සබත් දවසේදී ඔහු සිනගෝගයේ උගන්නන්න පටන්ගත්තා. ඔහුට ඇහුම්කන් දුන්න හුඟක් අය පුදුම වෙලා මෙහෙම කිව්වා. “මේ මනුස්සයා කොහෙන්ද මේවා ඉගෙනගත්තේ?+ එයාට මෙච්චර ප්‍රඥාවක් ලැබුණේ කොහොමද? මේ වගේ ආශ්චර්යයන් කරන්න එයාට පුළුවන් වුණේ කොහොමද?+  මේ අර වඩුවා නේද?+ මේ මරියාගේ පුතානේ.+ යාකොබ්,+ යෝසෙප්, යූදස්, සීමොන්+ එයාගේ මල්ලිලා නේද? එයාගේ නංගිලා ඉන්නෙත් මෙහෙනේ.” ඉතින් ඒ මිනිස්සු ඔහුව පිළිගන්න කැමති වුණේ නැහැ.  එතකොට යේසුස් එයාලට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරයෙක්ට අනිත් හැම තැනකදීම ගෞරවය ලැබෙනවා. එයාගේ ගම් පළාතේ ඉන්න අයගෙනුයි, නෑදෑයන්ගෙනුයි, පවුලේ අයගෙනුයි තමයි කිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැත්තේ.”+  ඒ නිසා අසනීපෙන් හිටපු කීපදෙනෙක් මත අත තියලා එයාලව සුව කළා ඇරෙන්න ඔහු වෙන කිසිම ආශ්චර්යයක් එහෙදී කළේ නැහැ.  එයාලට කිසිම විශ්වාසයක් නැහැ කියලා දැක්කාම ඇත්තටම ඔහු පුදුම වුණා. ඊටපස්සේ ඔහු ඒ අවට තිබුණ හැම ගමකටම ගිහිල්ලා ඉගැන්නුවා.+  ඔහු දොළොස්දෙනාට එන්න කියලා එයාලව දෙන්නා දෙන්නා ගාණේ යැව්වා.+ ඒ විදිහට එයාලව යවන වැඩේ එදා ඔහු පටන්ගත්තා. එයාලට භූතයන්ව එළවන්න බලයත් දුන්නා.+  සැරයටියක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගමනට ගෙනියන්න එපා කියලා ඔහු එයාලට කිව්වා. රොටිවත් කෑම මල්ලක්වත් ඉඟපටිවල දාගෙන සල්ලිවත්* ගෙනියන්න එපා කියලා ඔහු කිව්වා.+  වැඩිපුර ඇඳුමක් ගෙනියන්න* එපා කියලත් එයාලා දාගෙන හිටපු පාවහන් පිටින්ම යන්න කියලත් ඔහු කිව්වා. 10  ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “ඔයාලා කොහෙට හරි ගියාම කවුරු හරි ඔයාලව පිළිගත්තොත් එයාගේ ගෙදර නතර වෙන්න. ඒ ප්‍රදේශයෙන් යන කල්ම ඒ ගෙදර නතර වෙලා ඉන්න.+ 11  කොහේ හරි ප්‍රදේශයක ඉන්න මිනිස්සු ඔයාලව පිළිගන්නෙවත් ඔයාලා කියන දේවල් අහන්නෙවත් නැත්නම් එහෙන් පිට වෙද්දී ඔයාලාගේ කකුල්වල තියෙන දූවිලි ගසලා දාන්න. ඒක එයාලට අනතුරු ඇඟවීමක් වෙයි.”+ 12  ඉතින් එයාලා පිටත් වෙලා ගිහින් පසුතැවිලි වෙන්න කියලා මිනිස්සුන්ට දේශනා කළා.+ 13  භූතයන් වැහිලා හිටපු හුඟදෙනෙක්ව සුව කරපු එයාලා+ ලෙඩින් හිටපු හුඟදෙනෙක්වත් තෙල් ආලේප කරලා සුව කළා. 14  හැම තැනම ඉන්න මිනිස්සු යේසුස් ගැන කතා වුණ නිසා ඔහු ගැන හෙරොද් රජටත් ආරංචි වුණා. මිනිස්සු මෙහෙම කතා වුණා. “යොහන් බව්තීස්තව මරණයෙන් නැඟිට්ටවලා. ඒකයි මෙයාට දැන් බලවත් දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.”+ 15  තවත් අය කිව්වා “මේ නම් ඇවිත් ඉන්නේ එලියා” කියලා. තවත් සමහරු කිව්වා “මෙයාත් කලින් හිටපු අනාගතවක්තෘවරයෙක් වගේ කෙනෙක්” කියලා.+ 16  ඒත් හෙරොද්ට යේසුස් ගැන ආරංචි වුණාම එයා මෙහෙම කිව්වා. “මෙයා නම් මං හිස ගසා දාපු යොහන්ම වෙන්න ඕනේ. එයාව මරණයෙන් නැඟිට්ටවලා.” 17  හෙරොද් එයාගේ සහෝදරයාගේ, ඒ කියන්නේ ෆිලිප්ගේ භාර්යාව වුණ හෙරෝදියස්ව විවාහ කරගෙන තිබුණා. එයා හෙරෝදියස්ගේ කීමට යොහන්ව අත්අඩංගුවට අරන් හිරේ දාලා එයාව බැඳලා තිබ්බා.+ 18  මොකද යොහන් හෙරොද්ට කීප සැරයක්ම මෙහෙම කියලා තිබුණා. “ඔබේ සහෝදරයාගේ බිරිඳව තියාගන්න එක නීතියට විරුද්ධයි.”+ 19  ඉතින් හෙරෝදියස් යොහන් එක්ක වෛර බැඳගත්තා. යොහන්ව මරලා දාන්න එයාට ඕනෙ වුණත් ඒක කරගන්න එයාට බැරි වුණා. 20  මොකද යොහන්ට අනතුරක් කරන්න හෙරොද් කාටවත් ඉඩ දුන්නේ නැහැ. යොහන් දෙවියන්ට ළැදි, නිර්දෝෂ* කෙනෙක්+ නිසා හෙරොද් එයාට බය වුණා. ඒ වගේම යොහන් කියපු දේවල් අහගෙන ඉන්නත් හෙරොද් කැමති වුණා. ඉතින් යොහන් කියන දේවල් අහගෙන ඉද්දී එයාට දෙන්න ඕනෙ මොන වගේ තීන්දුවක්ද කියලා හෙරොද්ට හිතාගන්න බැරි වුණා. 21  ඒත් හෙරොද් තමන්ගේ උපන් දිනය+ වෙනුවෙන් උත්සවයක් ලෑස්ති කළාම හෙරෝදියස් බලාගෙන හිටපු අවස්ථාව උදා වුණා. හෙරොද් ඒකට එයාගේ උසස් නිලධාරීන්ටයි, හමුදාවේ ප්‍රධානීන්ටයි, ගලීලයේ හිටපු ප්‍රසිද්ධ අයටයි ආරාධනා කළා.+ 22  ඒ උත්සවයේදී හෙරෝදියස්ගේ දුව ඇවිත් හැමෝම ඉස්සරහා නැටුවා. ඒක බලලා හෙරොද් සහ එයාත් එක්ක හිටපු අය ගොඩක් සතුටු වුණා. ඉතින් රජ තරුණියට මෙහෙම කිව්වා. “ඔයා කැමති ඕනෙම දෙයක් ඉල්ලන්න. මම ඒක ඔයාට දෙනවා.” 23  එයා දිවුරලා මෙහෙම කිව්වා. “ඔයා ඉල්ලන ඕනෙම දෙයක් මම දෙනවා. මගේ රාජ්‍යයෙන් භාගයක් වුණත් මං දෙනවා.” 24  ඉතින් එයා අම්මා ළඟට ගිහින් “මම මොනවාද ඉල්ලන්නේ” කියලා ඇහුවා. “යොහන් බව්තීස්තගේ ඔළුව ඉල්ලන්න” කියලා අම්මා කිව්වා. 25  එයා ඉක්මනින්ම රජ ළඟට දුවගෙන ගිහින් මෙහෙම ඉල්ලුවා. “යොහන් බව්තීස්තගේ ඔළුව තැටියක තියලා මට දැන්මම දෙනවාට මං කැමතියි.”+ 26  ඒක අහලා රජට ලොකු දුකක් දැනුණත් අමුත්තන් ඉස්සරහා තමන් කරපු දිවුරුම නිසා එයාගේ ඉල්ලීම අහක දාන්න රජට බැරි වුණා. 27  ඉතින් රජ ඉක්මනින්ම ආරක්ෂක භටයෙක්ව පිටත් කරලා යැව්වා. රජ එයාට අණ කළා යොහන්ගේ ඔළුව අරගෙන එන්න කියලා. ඒ භටයා ගිහින් හිරේ හිටපු යොහන්ගේ හිස ගසා දැම්මා. 28  ඊටපස්සේ එයා ඒ හිස තැටියක තියලා තරුණියට ගෙනත් දුන්නා. තරුණිය ඒක එයාගේ අම්මාට දුන්නා. 29  සිද්ධ වුණ දේ යොහන්ගේ ගෝලයන්ට ආරංචි වුණාම එයාලා ඇවිත් යොහන්ගේ මළ සිරුර අරගෙන ගිහින් සොහොන් ගෙයක* තැන්පත් කළා. 30  නියෝජිතයන් ආපහු යේසුස් ළඟට ඇවිල්ලා එයාලා කරපු හැම දෙයක්ම ගැනත් එයාලා උගන්නපු දේවල් ගැනත් ඔහුට කිව්වා.+ 31  ඔහු එයාලට මෙහෙම කිව්වා. “එන්න, අපි පාළු තැනකට ගිහින් ටිකක් විවේක ගමු.”+ මොකද එයාලා හිටපු තැනට ගොඩක් අය ආව ගිය නිසා එයාලට කෑම කන්නවත් විවේකයක් ලැබුණේ නැහැ. 32  ඉතින් විවේකයක් ගන්න පුළුවන් පාළු තැනකට එයාලා බෝට්ටුවෙන් පිටත් වෙලා ගියා.+ 33  එයාලා පිටත් වෙලා යනවා සෙනඟ දැක්කා. තව හුඟදෙනෙක්ටත් ඒ ගැන ආරංචි වුණා. හැම නගරයකින්ම ආපු ඒ සෙනඟ දුවගෙන ගිහින් එයාලටත් කලින් එතනට ගියා. 34  බෝට්ටුවෙන් බහිද්දී යේසුස් දැක්කා ලොකු සෙනඟක් එතනට ඇවිත් ඉන්නවා. ඔහුට දැනුණේ එයාලා හරියට එඬේරෙක් නැති බැටළුවන් වගේ කියලයි.+ ඒ නිසා ඔහුට එයාලා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා.+ ඉතින් ඔහු එයාලට ගොඩක් දේවල් උගන්නන්න පටන්ගත්තා.+ 35  හවස් වේගන එන නිසා යේසුස්ගේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “දැන් හවස් වෙලා. අපි ඉන්නෙත් පාළු තැනක.+ 36  සෙනඟව දැන් යවමු. එතකොට එයාලට පුළුවන් ළඟපාත ගම්වලට ගිහින් කන්න මොනවා හරි සල්ලිවලට ගන්න.”+ 37  එතකොට ඔහු එයාලට මෙහෙම කිව්වා. “ඔයාලට බැරිද මොනවා හරි එයාලට කන්න දෙන්න?” එයාලා ඔහුගෙන් මෙහෙම ඇහුවා. “මේ හැමෝටම දෙන්න ඕනෙ රොටි සල්ලි දීලා ගන්න කියලද ඔයා අපිට කියන්නේ? ඒකට ඩිනාරි* 200ක් විතර යයි.”+ 38  එතකොට ඔහු මෙහෙම කිව්වා “ගිහින් බලන්න ඔයාලා ළඟ රොටි කීයක් තියෙනවාද කියලා.” ගිහින් බැලුවාට පස්සේ එයාලා ඇවිත් “රොටි පහකුයි, මාළු කූරි දෙකකුයි තියෙනවා” කියලා කිව්වා.+ 39  කණ්ඩායම් විදිහට බෙදිලා තණබිමේ ඉඳගන්න කියලා ඔහු හැමෝටම කිව්වා.+ 40  ඉතින් එයාලා 100 ගාණේ සහ 50 ගාණේ ඉන්න කණ්ඩායම් විදිහට ඉඳගත්තා. 41  ඔහු රොටි පහයි, මාළු කූරි දෙකයි අරගෙන අහස දිහා බලලා යාච්ඤාවක් කළා.+ ඊටපස්සේ ඔහු රොටි කෑලිවලට කඩලා ඒවා සෙනඟට බෙදන්න කියලා ගෝලයන්ගේ අතට දෙන්න පටන්ගත්තා. ඒ විදිහට ඔහු මාළු කූරි දෙකත් හැමෝටම බෙදලා දුන්නා. 42  ඒ හැමෝම ඇති වෙන කල් කෑම කෑවා. 43  ඉතුරු වුණ රොටි කෑලි එකතු කරලා එයාලා කූඩ 12ක් පුරවගත්තා. ඒවාට අමතරව මාළුත් ඉතුරු වෙලා තිබුණා.+ 44  පුරුෂයෝ 5,000ක් රොටි කෑවා. 45  ඊටපස්සේ යේසුස් පරක්කු කරන්නේ නැතුව ඔහුගේ ගෝලයන්ව එගොඩ තිබුණ බෙත්සයිදාව පැත්තට බෝට්ටුවෙන් යැව්වා. ඒ අතරේ ඔහු සෙනඟවත් පිටත් කරලා යැව්වා.+ 46  හැමෝම පිටත් වෙලා ගියාට පස්සේ ඔහු යාච්ඤා කරන්න කන්දකට නැග්ගා.+ 47  අඳුර වැටීගෙන එද්දී ගෝලයන් ගිය බෝට්ටුව තිබුණේ මුහුද* මැද. ඒත් යේසුස් කන්දේ තනියම හිටියා.+ 48  එයාලා යන්න හදන පැත්තෙන්ම හුළං ආපු නිසා ගෝලයන් හරිම අමාරුවෙන් හබල් ගහන විදිහ යේසුස් දැක්කා. ඉතින් හතරවෙනි රැකවල් යාමේදී* විතර ඔහු වතුර මත ඇවිදගෙන එයාලා දිහාවට ආවා. ඔහු ආපු විදිහෙන් පෙනුණේ හරියට ඔහු එයාලව පහු කරගෙන යන්න යනවා වගෙයි. 49  ඔහු වතුර මත ඇවිදගෙන එනවා දැක්කාම “ඒ මොකක්ද”* කියලා හිතපු එයාලා හයියෙන් කෑගැහුවා. 50  මොකද එයාලා හැමෝම ඔහුව දැකලා කලබල වුණා. ඒත් ඒ වෙලාවෙම ඔහු එයාලට කතා කරලා මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. මේ මම. හිතට ධෛර්යය ගන්න!”+ 51  ඊටපස්සේ ඔහු බෝට්ටුවට නැග්ගා. හුළං පාරත් නතර වුණා. ඒක දැක්කාම එයාලට අදහාගන්න බැරුව ගියා. 52  මොකද ඔහු රොටිවලින් කරපු ආශ්චර්යය එයාලා දැක්කත් ඒකෙන් ඉගෙනගන්න ඕනෙ පාඩම එයාලා තේරුම් අරන් තිබුණේ නැහැ. ඒ දේවල් තාමත් එයාලාගේ හිත්වලට ගිහින් තිබුණේ නැහැ. 53  එයාලා ඔහොම ගිහින් එගොඩ තිබුණ ගෙනසරෙත්වලට ඇවිත් ඒ කිට්ටුව බෝට්ටුව බැන්දා.+ 54  එයාලා බෝට්ටුවෙන් බැස්ස ගමන්ම මිනිස්සු යේසුස්ව අඳුරගත්තා. 55  ඒ මිනිස්සු ඒ පැත්තේ හැම තැනකටම දුවලා ගිහින් ඒ ගැන හැමෝටම කිව්වා. ඉතින් මිනිස්සු අසනීප වෙලා හිටපු අයව ඇඳන්වල තියාගෙන ඔහු ඉන්නවා කියලා ආරංචි වුණ තැනට එයාලව අරගෙන ආවා. 56  ඔහු කොහේ හරි ගමකට, නගරයකට නැත්නම් ගම්බද පළාතකට ගියාම මිනිස්සු අසනීප වුණ අයව අරගෙන වෙළඳපොළවල්වලට ආවා. ඔහුගේ ඇඳුමේ වාටිය විතරක්වත් අල්ලන්න ඉඩ දෙන්න කියලා එයාලා ඔහුට බැගෑපත් වුණා.+ ඒක අල්ලපු හැමෝම සුව වුණා.

පාදසටහන්

මූ.අ., “තඹවත්.”
මූ.අ., “ඇඳුම් දෙකක් ඇඳගෙන යන්න.”
හෝ, “ධර්මිෂ්ඨ.”
හෝ, “සිහි වෙන්න හදපු සොහොන් ගෙයක.”
උප. B14 බලන්න.
ඒ කියන්නේ ගලීල මුහුද.
ඒ කියන්නේ පාන්දර 3ත් ඉර පායන (පාන්දර 6 විතර) වෙලාවත් අතර කාලය.
හෝ, “ඒක දර්ශනයක්; හීනයක්.”