මීකා 1:1-16

1  යෝතම්,+ ආහස්+ සහ හෙසකියා+ යූදාවල+ රජකම් කරපු කාලයේදී මොරෂෙත් නගරයේ ජීවත් වුණ මීකා*+ සමාරිය ගැනත් යෙරුසලම ගැනත් දර්ශනයක් දැක්කා. යෙහෝවා දෙවියන්ගෙන් මීකාට ලැබුණු පණිවිඩයයි මේ.   “සියලු ජනයෙනි, මං කියන දේ අහන්න. පොළොවත් ඒකේ ඉන්න හැම ජීවියෙක්මත් හොඳින් සවන් දෙන්න.ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙනවා.+යෙහෝවා ඉන්නේ තමන්ගේ ශුද්ධ මාලිගාවේ.   බලන්න! යෙහෝවා තමන්ගේ වාසස්ථානයෙන් බැහැලා එනවා.ඔහු බැහැලා ආවාම පොළොවේ කඳු මුදුන් මත ඇවිදන් යයි.   කඳු, නිම්න උඩින් ඇවිදන් යයි.එතකොට ගින්නට ඉටි දිය වෙලා යනවා වගේ කඳු දිය වෙලා යයි.+උස් තැනකින් ජල ධාරාවක් කඩාගෙන එනවා වගේ,නිම්න* දෙපළු වෙලා අගාධයක් හැදෙයි.   ඒ හැම දෙයක්ම වෙන්නේ යාකොබ් කැරලිගහපු නිසයි.ඊශ්‍රායෙල් පව් කරපු නිසයි.+ යාකොබ් කැරලිගහපු එකට වග කියන්න ඕනෙ කවුද? සමාරිය නෙවෙයිද?+ යූදාවල පූජනීය තැන්* හදපු එකට වග කියන්න ඕනෙ කවුද?+ යෙරුසලම නෙවෙයිද?   මම සමාරිය නටබුන්වලින් පිරුණු තැනිතලා බිමක් කරනවා.මිදිවත්තක් වවන්න හදපු වගාබිමක් වගේ සමතලා කරනවා.නිම්නයට ඇගේ ගල් වීසි කරලා දානවා.අත්තිවාරම වෙන කල්ම මම ඇයව කඩලා බිඳලා දානවා.   ඇගේ දෙවිවරුන්ගේ රූප හැම එකක්ම මම කුඩු කරලා දානවා.+ඇය තමන්වම විකුණලා කුලියක් විදිහට ලබාගත්ත තෑගි සියල්ල මම පුච්චලා දානවා.+ ඇගේ රූප හැම එකක්ම මම විනාශ කරලාම දානවා. මොකද ඒවා ඇය ගත්තේ වේශ්‍යාකම් කරලා උපයගත්ත කුලියෙන්.වෙනත් ගණිකාවන්ට කුලී ගෙවන්න ඒවා ආයෙත් අරන් යයි.”   ඒ නිසා මම හඬා වැලපෙනවා.+පාවහන්වත් ඇඳුම්වත් නැතුව ඇවිදන් යනවා.+ මම හිවලෙක් වගේ කෑගහනවා.පැස්බරෙක් වගේ කෙඳිරිගානවා.   මොකද ඇගේ තුවාලය සුව කරන්න බැරි තරම් දරුණුයි.+ඒ තුවාලය යූදා වෙන කල්ම ඔඩු දුවලා.+ මගේ සෙනඟ වාසය කරන යෙරුසලමේ දොරටුව වෙන කල්ම වසංගතය පැතිරිලා ගිහින්.+ 10  “මේ දේවල් ගාත් නගරයේ ප්‍රසිද්ධ කරන්න එපා.ඔවුන් ඉදිරියේ අඬන්නත් එපා. බෙත්අප්‍රාවලදී* දූවිලි ගොඩේ පෙරළෙන්න. 11  ෂාපීර්වල වැසියෙනි, ඇඳුම් නැතුව ලැජ්ජාවෙන් දේශයෙන් පිට වෙලා යන්න. ෂයනාන්වල වැසියෝ නගරයෙන් පිටතට ඇවිත් නැහැ. බෙත්ඒෂෙල් නගරයේ වැසියෝ හඬා වැලපෙයි.ඒ නගරය ඔබට ආයෙත් නම් ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ. 12  මාරොත් නගරයේ වැසියන් යහපතක් වෙයි කියලා බලාගෙන හිටියා.ඒත් යෙහෝවා යෙරුසලමේ දොරටුවේදී විපතක් ඇති වෙන්න සැලැස්සුවා. 13  ලාකිෂ්+ නගරයේ වැසියෙනි, ඔබේ අශ්ව රථය සූදානම් කරගන්න.* සියොන් දියණිය පව් කරන්න ඉගෙනගත්තේ ඔබෙන්.මොකද ඊශ්‍රායෙල්වරු කැරලිගහපු විදිහටම ඔබත් කැරලිගැහුවා.+ 14  ඒ නිසා දේශයෙන් පිටත් වෙලා යද්දී මොරෂෙත්ගාත් නගරයට තෑගි දෙන්න ඔබට සිද්ධ වෙයි. අක්ෂිබ්වල+ වැසියන් ඊශ්‍රායෙල් රජවරුන්ව රැවැට්ටුවා. 15  මරේෂාහ්+ නගරයේ වැසියෙනි, ඔබව පරාජය කරලා යටත් කරගන්න* කෙනෙක්ව මම එවනවා.+ ඊශ්‍රායෙල්වල තේජාන්විත තැනැත්තා* අදුල්ලාම්+ නගරය දක්වාම යනවා. 16  ඔබ ආදරේ කරන ඔබේ දරුවන්ට වෙන විපත නිසා ඔබේ හිසකෙස් කපාගන්න. හිස මුඩු කරගන්න. රාජාලීන්ගේ හිස වගේ ඔබේ හිසත් බූ ගාගන්න.මොකද ඔවුන්ව ඔබෙන් උදුරගෙන දේශයෙන් පිටතට අරන් ගිහින්.”+

පාදසටහන්

මිකායෙල් (තේරුම, “දෙවියන්ට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?”) හෝ මිකායා (තේරුම, “යෙහෝවාට සමාන කවුද?”) කියන නම් කෙටියෙන් කියන විදිහක්.
හෝ, “තැනිතලා.”
මූ.අ., “උස් තැන්.”
හෝ, “අප්‍රා කියන නිවසේ.”
මූ.අ., “අශ්වයන්ව රථයට බඳින්න.”
හෝ, “උරුමය පැහැරගන්න.”
මූ.අ., “ඊශ්‍රායෙල්වල තේජස.”