යාකොබ් ලියපු ලිපිය 1:1-27

  • සුබ පැතුම් (1)

  • විඳදරාගන්න එක සතුටට හේතුවක් (2-15)

    • විශ්වාසය සෝදිසියට ලක් වෙයි (3)

    • විශ්වාසයෙන් දිගටම ඉල්ලන්න (5-8)

    • තමන්ගේ ආශාවන් පස්සේ යන එකේ අනතුර (14, 15)

  • හැම හොඳ තෑග්ගක්ම ලැබෙන්නේ දෙවියන්ගෙන් (16-18)

  • වචනය අහලා පිළිපදින කෙනෙක් (19-25)

    • කණ්ණාඩියකින් මුහුණ බලන කෙනෙක් (23, 24)

  • පවිත්‍ර, කිසිම කැළලක් නැති නමස්කාරයක් (26, 27)

1  දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක් වන යාකොබ්+ මේ ලිපිය ලියන්නේ විසිරිලා ඉන්න ගෝත්‍ර 12 වෙතටයි. ඔයාලට මගේ සුබ පැතුම්!  මගේ සහෝදරයෙනි, ඔයාලට විවිධ ප්‍රශ්න ගැටලු එද්දී ඒවාට සතුටින් මුහුණ දෙන්න.+  ප්‍රශ්නවලට මුහුණ දෙද්දී ඒකෙන් ඔයාලාගේ විශ්වාසය සෝදිසියට ලක් වෙනවා කියලා ඔයාලා දන්නවා. ඒකෙන් විඳදරාගන්න තියෙන හැකියාව තව වැඩි වෙනවා.+  ඔයාලා දිගටම විඳදරාගන්නවා නම් සම්පූර්ණ පුහුණුවක් ඔයාලට ලැබෙනවා.* එතකොට කිසිම අඩුපාඩුවක් නැති, හැම අතින්ම නිදොස් අය වෙන්න ඔයාලට පුළුවන්. කෙනෙක් ළඟ තියෙන්න ඕන ලස්සන ගතිගුණ හැම එකක්ම ඔයාලා ළඟත් තියෙයි.+  තමන්ට ප්‍රඥාව අඩුයි කියලා කෙනෙක්ට හිතෙනවා නම් එයාට පුළුවන් දිගටම දෙවියන්ගෙන් ප්‍රඥාව ඉල්ලන්න.+ එයාට අනිවාර්යයෙන්ම ඒක ලැබෙනවා. දොස් කියන්නේ නැතුව,* දෙවියන් හරිම කැමැත්තෙන්*+ හැමෝටම ප්‍රඥාව ලබා දෙනවා.+  හැබැයි ඒ කෙනා සැක කරන්නේ නැතුව+ විශ්වාසයෙන් දිගටම ඉල්ලන්න ඕනේ.+ දෙවියන් ගැන සැක කරන කෙනෙක් හරියට හුළඟට එහෙට මෙහෙට ගහගෙන යන මුහුදේ රැල්ලක් වගේ.  එහෙම කෙනෙක්ට යෙහෝවා* දෙවියන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.  මොකද එයා දෙගිඩියාවෙන් ඉන්න,+ කිසිම දෙයක් ගැන හරියට තීරණයක් ගන්න බැරි කෙනෙක්.  දුප්පත්* සහෝදරයෙනි, දෙවියන් ඔයාලට ලබා දෙන ගෞරවය නිසා සතුටු වෙන්න.*+ 10  පොහොසත් සහෝදරයෙනි, ඔයාලට තිබුණු උසස් තත්වය නැති වුණ එක ගැන සතුටු වෙන්න.+ මොකද පොහොසත් අය කැලේ පිපුණු මලක් වගේ පර වෙලා යනවා. 11  තද අව්වට පැළ මැලවිලා යනවා. මල් පර වෙලා වැටෙනවා. ලස්සනත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේ තමයි පොහොසත් අයත් සල්ලි පස්සේ දුවදුව ඉද්දීම නැති වෙලා යනවා.+ 12  ප්‍රශ්න දිගටම විඳදරාගෙන ඉන්න කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන්.+ මොකද සාර්ථකව විඳදරාගන්න කෙනෙක්ට ජීවනයේ ඔටුන්න ලැබෙනවා.+ දිගටම යෙහෝවාට* ආදරේ කරන අයට ඒක ලබා දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා.+ 13  ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙක්, “දෙවියන් මාව පරීක්ෂා කරනවා” කියලා කියන්න හොඳ නැහැ. නපුරු දේවල් කරන්න දෙවියන්ව පොලඹවන්න කාටවත් බැහැ. දෙවියනුත් නපුරු දේවල් කරලා කාවවත් පරීක්ෂා කරන්නේ නැහැ. 14  කෙනෙක්ට පරීක්ෂාවක් වෙන්නේ තමන්ගෙම ආශාවන් පස්සේ යන එකයි.*+ 15  ඒ ආශාවන්ට එයාව පාලනය කරන්න* ඉඩ දුන්නොත් එයා පව් කරන්න පෙලඹෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මරණය.+ 16  මගේ ආදරණීය සහෝදරයෙනි, මුළා වෙන්න එපා. 17  හැම හොඳ දෙයක්ම සහ කිසිම අඩුවක් නැති හැම තෑග්ගක්ම ලැබෙන්නේ ස්වර්ගයේ ඉන්න දෙවියන්ගෙන්.+ අහසේ තියෙන ආලෝක වස්තු නිර්මාණය කරපු ඔහු+ හෙවණැල්ලක් වෙනස් වෙනවා වගේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+ 18  ඔහුගේ කැමැත්ත වුණේ අපිට සත්‍යය ගැන පණිවිඩය ලබා දීලා අපිව ජීවත් කරවන එකයි.+ ඔහු එහෙම කළේ ඔහුගේ නිර්මාණ අතරින් මුල් පල* වෙන්න අපිට අවස්ථාව දෙන්නයි.+ 19  මගේ ආදරණීය සහෝදරයෙනි, මේ දේ මතක තියාගන්න. හැම කෙනෙක්ම ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙන්න ඕනේ. කතා කරන්න ඉක්මන් වෙන්න එපා.+ කේන්ති ගන්නත් ඉක්මන් වෙන්න එපා.+ 20  මොකද කේන්ති ගන්න කෙනෙක්ට දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව වැඩ කරන්න බැහැ.+ 21  ඒ නිසා ඔයාගේ ජීවිතෙන් හැම අපවිත්‍ර දෙයක්ම අයින් කරගන්න. නපුරු දේවලට පුංචි විදිහකින්වත්* සම්බන්ධ වෙන්න එපා.+ ඒ වෙනුවට දෙවියන් කියන දේවල් නිහතමානීව පිළිගන්න. ඒවාට ඔයාගේ හදවතේ මුල් අදින්න ඉඩ දෙන්න. ඒක ඔයාගේ ගැලවීමට හේතු වෙයි. 22  දෙවියන් කියන දේවලට නිකම්ම සවන් දෙන කෙනෙක් වෙන්නේ නැතුව ඒවා පිළිපදින කෙනෙක් වෙන්න.+ සවන් දුන්නාම විතරක් ඇතියි කියන බොරු අදහසට රැවටෙන්න එපා. 23  කෙනෙක් දෙවියන්ගේ වචනයට සවන් දුන්නත් ඒක පිළිපදින්නේ නැත්නම්+ එයා හරියට කණ්ණාඩියකින් තමන්ගේ මුහුණ බලන කෙනෙක් වගේ. 24  මොකද එයා කණ්ණාඩියෙන් තමන් දිහා බැලුවාට එතනින් ගියාම එයා මොන වගේද කියලා ඉක්මනින්ම අමතක කරලා දානවා. 25  ඒත් නිදහස ලබා දෙන කිසිම අඩුවක් නැති නීතිය හොඳින් සෝදිසි කරලා බලලා+ දිගටම ඒ අනුව ජීවත් වෙන කෙනා අහලා අමතක කරන කෙනෙක් නෙමෙයි. එයා දෙවියන්ගේ වචනය පිළිපදින කෙනෙක්. ඒකෙන් එයා ලොකු සතුටක් අද්දකිනවා.+ 26  නමස්කාරයට සම්බන්ධ හැම දෙයක්ම තමන් හරියටම කරනවා* කියලා කෙනෙක් හිතාගෙන හිටියත් එයා එයාගේ කට පරෙස්සම් කරගන්නේ නැත්නම්*+ එයා ඇත්තටම කරන්නේ එයාවම රවට්ටගන්න එකයි. එයා කරන නමස්කාරයෙන් කිසිම වැඩක් නැහැ. 27  අපේ පියාණන් වන දෙවියන් කෙනෙක්ගේ නමස්කාරය* කිසිම කැළලක් නැති, පවිත්‍ර එකක් විදිහට පිළිගන්න නම් එයා අනාථ දරුවන්+ සහ වැන්දඹුවන්+ මුහුණ දෙන ප්‍රශ්නවලදී+ එයාලව බලාගන්න ඕනේ. ඒ වගේම මේ ලෝකේ තියෙන දේවලින් කිලුටු වෙන්නේ නැතුව ඉන්නත් ඕනේ.+

පාදසටහන්

හෝ, “විඳදරාගන්න එකෙන් ඉටු වෙන වැඩේ සම්පූර්ණ කරන්න ඉඩ දෙන්න.”
හෝ, “අඩුපාඩු හොයන්නේ නැතුව.”
හෝ, “ත්‍යාගශීලීව.”
උප. A5 බලන්න.
ඒ කියන්නේ සමාජය පහත් කියලා සලකන අය.
මූ.අ., “ආඩම්බරයෙන් කතා කරන්න.”
උප. A5 බලන්න.
හෝ, “ඒ ඇම ගිල්ලොත් තමයි.”
මූ.අ., “පිළිසිඳගන්න.”
මූ.අ., “යම් විදිහක මුල් පල.”
හෝ සමහරවිට, “හැම තැනම පැතිරිලා තියෙන නපුරු දේවලට.”
හෝ, “තමන්ට ලොකු භක්තියක් තියෙනවා.”
හෝ, “කටකලියාවක් දාගත්තේ නැත්නම්.”
හෝ, “ආගම.”