යාකොබ් ලියපු ලිපිය 2:1-26

  • විශේෂ සැලකිලි පෙන්නන එක වැරදියි (1-13)

    • ආදරේ කරන්න කියන රාජකීය නීතිය (8)

  • ක්‍රියාව නැති විශ්වාසය මැරිලා (14-26)

    • දෙවි කෙනෙක් ඉන්නවා කියලා භූතයනුත් විශ්වාස කරනවා (19)

    • ආබ්‍රහම්ව යෙහෝවාගේ යාළුවා කියලා හැඳින්නුවා (23)

2  මගේ සහෝදරයෙනි, ඔයාලා අපේ තේජවත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන ගමන් සමහර අයට විශේෂ සැලකිල්ලක් පෙන්නන්නේ කොහොමද?+  හිතන්න, ඔයාලා රැස් වෙලා ඉන්න තැනට දෙන්නෙක් එනවා කියලා. එක් කෙනෙක් රත්තරන් මුදු දාලා වටින ඇඳුම් ඇඳගෙන ඉන්නවා. අනිත් කෙනා දුප්පත්. එයාගේ ඇඳුම් කිලුටුයි.  වටින ඇඳුම් ඇඳගෙන ඉන්න කෙනාට ඔයා විශේෂ සැලකිල්ලක් පෙන්නනවා. “එන්න, ඇවිත් මෙතන ඉඳගන්න” කියලා එයාට හොඳ පුටුවක් දෙනවා. හැබැයි දුප්පත් කෙනාට ඔයා කියනවා “ඔතනට වෙලා හිටගෙන ඉන්න” එහෙම නැත්නම් “බිම ඉඳගන්න”+ කියලා.  ඒකෙන් තේරෙන්නේ ඔයාලා අතරේ උස් පහත් භේද+ තියෙනවා කියන එක නෙමෙයිද? ඔයාලත් නපුරු විදිහට තීන්දු ලබා දෙන විනිශ්චයකරුවන්+ වගේ කියන එක නෙමෙයිද?  මගේ ආදරණීය සහෝදරයෙනි, මේ අහන්න. දෙවියන් තෝරගත්තේ මේ ලෝකේ අය දුප්පත් විදිහට සලකන අයව නෙමෙයිද? දෙවියන් එයාලව තෝරගත්තේ එයාලාගේ විශ්වාසය නිසා එයාලව පොහොසත් අය කරන්නයි.+ දෙවියන්ට ආදරේ කරන අයට ඔහු පොරොන්දු වුණ රාජ්‍යයේ උරුමයක් දෙන්නයි.+  ඒත් ඔයාලා දුප්පත් අයට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැහැ. ඔයාලා ගෞරව කරන පොහොසත් අයම නෙමෙයිද ඔයාලට හිරිහැර කරන්නේ?+ ඔයාලව උසාවිවලට ඇදගෙන යන්නේ?  ඔයාලට ලැබිලා තියෙන උතුම් නමට අපහාස කරන්නෙත් එයාලම නේද?  ශුද්ධ ලියවිල්ලේ කියන විදිහට “ඔයා ඔයාට ආදරේ කරනවා වගේ ඔයාගේ අසල්වැසියාට ආදරේ කරන්න”+ කියන රාජකීය නීතිය ඔයාලා පිළිපදිනවා නම් ඒක හොඳ දෙයක්.  ඒත් ඔයාලා දිගටම සමහරුන්ට විශේෂ සැලකිල්ලක් පෙන්නනවා නම්+ ඔයාලා කරන්නේ ලොකු වරදක්. ඔයාලා වරදකරුවන් කියලා නීතියෙනුත් පැහැදිලි වෙනවා.+ 10  කෙනෙක් නීතියේ තියෙන හැම දේකටම කීකරු වෙන ගමන් එක කාරණයකදී හරි වැරදි පියවරක් ගත්තොත් එයා මුළු නීතියටම විරුද්ධව වැඩ කරනවා.+ 11  මොකද ‘අනාචාරයේ* යෙදෙන්න එපා’+ කියලා කියපු කෙනාම තමයි ‘මිනී මරන්න එපා’+ කියලත් කිව්වේ. ඉතින් ඔයාලා අනාචාරයේ හැසිරුණේ නැති වුණත් මිනී මරනවා නම් ඔයාලා නීතිය කඩ කරනවා. 12  මිනිස්සුන්ට නිදහස ලබා දෙන නීතියට+ අනුව කතා කරන්න සහ වැඩ කරන්න පුරුදු වෙන්න. මොකද ඔයාලව විනිශ්චය කරන්නේ ඒ නීතියට අනුවයි. 13  දයාව පෙන්නන්නේ නැති කෙනෙක්ට ලැබෙන්නේ දයාවක් නැති විනිශ්චයක්.+ දයාව පෙන්නන කෙනෙක්ට විනිශ්චයට හොඳින් මුහුණ දෙන්න පුළුවන්.* 14  මගේ සහෝදරයෙනි, කෙනෙක් ‘මට දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා’ කියලා කිව්වත් එයා වැඩ කරන විදිහෙන් ඒක පෙන්නන්නේ නැත්නම්+ ඒ විශ්වාසයෙන් වැඩක් තියෙනවාද? එයාව ගලවන්න ඒ විශ්වාසයට පුළුවන්ද?+ 15  හිතන්න, සහෝදරයෙක්ට හරි සහෝදරියකට හරි එදා වේල පිරිමහගන්න කෑමවත් අවශ්‍ය ඇඳුම්වත් නැහැ කියලා. 16  එයාට අවශ්‍ය දේ දෙන්නේ නැතුව ඔයාලාගෙන් එක් කෙනෙක් එයාට කියනවා “හැම දෙයක්ම හරි යයි. කාලා බීලා ඇඳලා පැලඳලා සතුටින් ඉන්න” කියලා. එහෙම කියන එකෙන් ඇති වැඩක් තියෙනවාද?+ 17  විශ්වාසය ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. අපි වැඩ කරන විදිහෙන් ඒක පෙන්නන්නේ නැත්නම් ඒ විශ්වාසය මැරිලා.+ 18  ඒත් කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. “ඔයාට විශ්වාසය තියෙනවා. මං හොඳ දේවල් කරනවා. ඔයාට තියෙන විශ්වාසය හොඳ දේවල් කරන්නේ නැතුව මට පෙන්නන්න. මට තියෙන විශ්වාසය මං කරන දේවලින් ඔයාට පෙන්නන්නම්.” 19  ඉන්නේ එක දෙවි කෙනෙක් කියලා ඔයාත් විශ්වාස කරනවා නේද? ඒක හොඳයි. හැබැයි භූතයනුත් ඒක විශ්වාස කරනවා. ඒ නිසා භූතයන් බයෙන් වෙවුලනවා.+ 20  ඔයා වැඩ කරන විදිහෙන් ඔයාගේ විශ්වාසය පෙන්නන්නේ නැත්නම් ඒකෙන් කිසි වැඩක් නැහැ කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? 21  අපේ පියා වුණ ආබ්‍රහම් ධර්මිෂ්ඨ කෙනෙක් කියලා දෙවියන් ප්‍රකාශ කළේ එයාගේ පුතා වුණ ඊසාක්ව පූජාසනය උඩ තිබ්බාට පස්සේ නේද?+ ඒ කියන්නේ ඔහු වැඩ කරපු විදිහ නිසා නේද? 22  ආබ්‍රහම්ට තිබුණු විශ්වාසය එයා වැඩ කරපු විදිහෙන් දකින්න ලැබුණා. එයා වැඩ කරපු විදිහ නිසා ඒ විශ්වාසය කොච්චර සැබෑ එකක්ද* කියලා පැහැදිලි වුණා.+ 23  ඒ නිසයි ශුද්ධ ලියවිල්ලේ මෙහෙම කියන්නේ. “ආබ්‍රහම් යෙහෝවා* දෙවියන් ගැන විශ්වාසය තිබ්බා. ඒ නිසා එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.”+ ඒ වගේම එයාව යෙහෝවා* දෙවියන්ගේ යාළුවා කියලත් හැඳින්නුවා.+ 24  දෙවියන් යම් කෙනෙක්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට ප්‍රකාශ කරන්න නම් එයාට විශ්වාසය විතරක් තිබිලා මදි. එයා ඒ විශ්වාසය වැඩ කරන විදිහෙනුත් පෙන්නන්න ඕනේ. 25  රාහබ් කියන ගණිකාවවත් ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට ප්‍රකාශ කළේ එයා කරපු දේ නිසා නෙමෙයිද? ඔත්තු බලන්න ආපු අයට එයා කරුණාවන්තව සලකලා එයාලව වෙන පාරකින් පිටත් කරලා යැව්ව නිසා නේද?+ 26  ඇත්තටම ශරීරයට පණ නැත්නම් ඒක මැරිලා.+ ඒ වගේ තමයි වැඩ කරන විදිහෙන් විශ්වාසය පෙන්නන්නේ නැත්නම් ඒකත් මැරිලා.+

පාදසටහන්

ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
මූ.අ., “විනිශ්චයේදී දයාව ජය ගනී.”
මූ.අ., “කිසිම අඩුවක් නැති විශ්වාසයක්.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.