යාකොබ් ලියපු ලිපිය 5:1-20

  • ධනවතුන්ට අනතුරු ඇඟවීමක් (1-6)

  • ඉවසීමෙන් විඳදරාගන්න අයට ආශීර්වාද (7-11)

  • මොනවා හරි කරනවා කිව්වොත් ඒක කරන්න (12)

  • විශ්වාසයෙන් කරන යාච්ඤා බලවත් (13-18)

  • වරදට වැටුණු කෙනාට උදව් කරන්න (19, 20)

5  ධනවතුනි, කෑගහලා අඬන්න. මොකද ඔයාලට ගොඩක් දුක් වේදනාවලට මුහුණ දෙන්න වෙනවා.+  ඔයාලා රැස් කරගත්ත දේවල් නාස්ති වෙලා ගිහින්. ඔයාලාගේ ඇඳුම් කාවෝ කාලා.+  ඔයාලාගේ රන් සහ රිදී විනාශ වෙලා. ඉතුරු වෙලා තියෙන්නේ මලකඩ විතරයි. ඒ මලකඩ ඔයාලට විරුද්ධව සාක්ෂි දෙයි. ඒවා ඔයාලාගේ ශරීරයත් කාලා දායි. ඇත්තටම අවසාන කාලය වෙනුවෙන් ඔයාලා රැස් කරගෙන තියෙන්නේ ගින්දර.+  මේ දේ දැනගන්න. ඔයාලාගේ කෙත්වතුවල අස්වැන්න නෙළපු අයට ඔයාලා වැටුප් ගෙව්වේ නැති නිසා එයාලා හඬා වැලපෙනවා. ඒ හඬ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ* කනට වැටිලා තියෙනවා.+  ඔයාලා ගත කරලා තියෙන්නේ හරිම සැපවත් ජීවිතයක්. ඔයාලා නිතරම බැලුවේ ඔයාලාගේ ආශාවන් තෘප්තිමත් කරගන්නයි. මසට හදන සත්තු වගේ ඔයාලා තර වෙලා ඉන්නේ* විනාශයට මුහුණ දෙන්නයි.+  ඔයාලා ධර්මිෂ්ඨ තැනැත්තාව* හෙළාදැක්කා. ඔහුව මරලා දැම්මා. ඒ නිසා ඔහු* ඔයාලට විරුද්ධව වැඩ කරනවා.  සහෝදරයෙනි, ස්වාමීන් පැමිණෙන කාලය* එන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න.+ මුලින් වැටෙන වැස්සත් පස්සේ වැටෙන වැස්සත් ලැබෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න ගොවියා ඊටපස්සේ හොඳ අස්වැන්නක් ලැබෙන කල් බලාගෙන ඉන්නවා.+  ඒ වගේ ඔයාලත් ඉවසීමෙන් බලාගෙන ඉන්න.+ ඔයාලාගේ හිතේ ධෛර්යය වැඩි කරගන්න. මොකද ස්වාමීන් එන කාලය* අත ළඟයි.+  සහෝදරයෙනි, එකිනෙකාගේ අඩුපාඩු ගැන කියව කියව* ඉන්න එපා. එහෙම කරනවා නම් ඔයාලටත් විනිශ්චයක් ලැබෙයි.+ විනිශ්චය කරන තැනැත්තා දොරකඩ ළඟට ඇවිත් ඉන්නවා කියලා මතක තියාගන්න. 10  සහෝදරයෙනි, යෙහෝවාගේ* නාමයෙන් කතා කරපු අනාගතවක්තෘවරුන්+ ගොඩක් නපුරු දේවලට මුහුණ දුන්නා. එයාලා ඒවා ඉවසීමෙන් විඳදරාගත්තා.+ ඒ අයව ආදර්ශයට ගන්න.+ 11  විඳදරාගත්ත අයව අපි සලකන්නේ සතුටින් ඉන්න අය* හැටියට.+ යෝබ් විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා.+ යෙහෝවා* දෙවියන් එයාට ආශීර්වාද කරපු විදිහ ගැනත් ඔයාලා දන්නවා.+ ඒකෙන් පැහැදිලියි යෙහෝවා* ලොකු සෙනෙහසක් පෙන්නන,* දයාවන්ත දෙවි කෙනෙක් කියලා.+ 12  මගේ සහෝදරයෙනි, මේක හරිම වැදගත්. ස්වර්ගයේ හරි පොළොවේ හරි වෙනත් කිසි දෙයක හරි නමින් දිවුරන එක නවත්තන්න. ඔයාලා මොනවා හරි දෙයක් කරන්නම් කියලා කිව්වොත් ඒක කරන්න. කරන්නේ නැහැ කියලා කිව්වොත් ඒක කරන්න එපා.*+ ඔයාලා ඒ විදිහට වැඩ කළේ නැත්නම් දෙවියන් ඔයාලට විරුද්ධව විනිශ්චයක් ගෙනෙයි. 13  ඔයාලා අතරේ ඉන්න කවුරු හරි ප්‍රශ්න ගැටලු නිසා දුක් විඳිනවාද? එයාට පුළුවන් දිගටම යාච්ඤා කරන්න.+ කවුරු හරි කෙනෙක් සතුටින් ඉන්නවාද? එයාට පුළුවන් ප්‍රශංසා ගී කියන්න.+ 14  ඔයාලා අතරේ ඉන්න කවුරු හරි අසනීපෙන් ඉන්නවාද?* ඒ වගේ වෙලාවකදී එයා සභාවේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ.+ එතකොට යෙහෝවාගේ* නාමයෙන් එයාට තෙල් ආලේප කරලා*+ එයා වෙනුවෙන් යාච්ඤා කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. 15  විශ්වාසයෙන් කරන ඒ යාච්ඤාව නිසා අසනීපයෙන් ඉන්න කෙනා* සනීප වෙයි. ආයෙත් නැඟිටින්න යෙහෝවා* එයාට අත දෙයි. එයා පාපයක් කරලා තියෙනවා නම් ඒකටත් සමාව ලැබෙයි. 16  ඉතින් ඔයාලා කරපු වැරදි හංගන්නේ නැතුව එකිනෙකාට කියන්න.+ එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එතකොට ඔයාලට සුවයක් ලැබෙයි. ඇත්තටම ධර්මිෂ්ඨ කෙනෙක්ගේ කන්නලව්වට පුළුවන් ලොකු දෙයක් කරන්න.+ 17  එලියාත් අපි වගේම සාමාන්‍ය* මනුස්සයෙක්. ඒත් වැසි වස්සන්න එපා කියලා හරිම ඕනෑකමින් එයා කරපු යාච්ඤාව නිසා දේශයට අවුරුදු තුනහමාරක් පුරා වැස්ස ලැබුණේ නැහැ.+ 18  එයා ආයෙත් ඒ ගැන යාච්ඤා කළාම වහින්න පටන්ගත්තා. පොළොවෙන් හොඳ පලදාවකුත් ලැබුණා.+ 19  මගේ සහෝදරයෙනි, හිතන්න කවුරු හරි කෙනෙක් ඔයාලා අතරේ ඉන්න කෙනෙක්ව සත්‍ය මාර්ගයෙන් නොමඟ යවනවා කියලා. දැන් තව කෙනෙක් එයාව ආයෙත් හරි මාර්ගයට ගන්නවා. 20  වරදට වැටුණ තැනැත්තාව ඒ වරදින් හරවගන්න කෙනා+ කරන්නේ පව් කරපු තැනැත්තාව මරණයෙන් ගලවගන්න එකයි. එයාගේ පව්වලට සමාව ලබාගන්න එයාට උදව් කරන එකයි.+

පාදසටහන්

උප. A5 බලන්න.
මූ.අ., “ඔයාලාගේ හිත් තර කරගෙන තියෙන්නේ.”
මෙතන කතා කරන්නේ යේසුස් ගැන නැත්නම් ඔහුගේ අනුගාමිකයන් ගැන වෙන්න පුළුවන්.
මෙතන කතා කරන්නේ දෙවියන් ගැන නැත්නම් නැවත නැඟිට්ටවපු යේසුස් ගැන වෙන්න පුළුවන්.
හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “වැරදි හොයහොය.”
උප. A5 බලන්න.
හෝ, “අනුකම්පාවෙන් පිරුණ.”
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ, “ආශීර්වාද ලබපු අය.”
හෝ, “‘ඔව්’ කියලා කියන්න ඕනෙ වෙලාවලදී ‘ඔව්’ කියලත් ‘නැහැ’ කියලා කියන්න ඕනෙ වෙලාවලදී ‘නැහැ’ කියලත් කිව්වාම ඇති.”
උප. A5 බලන්න.
පේන විදිහට මෙතන කතා කරන්නේ දේවවචනය පාවිච්චි කරලා කෙනෙක්ට උදව් කරන එක ගැනයි.
පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන් එක්ක තියෙන බැඳීම දුර්වල වෙලා තියෙන කෙනෙක් ගැනයි.
හෝ සමහරවිට, “වෙහෙසට පත් වෙලා ඉන්න කෙනා.”
උප. A5 බලන්න.
මූ.අ., “අප හා සමාන හැඟීම් තියෙන.”