යෙරෙමියා 21:1-14

  • යෙහෝවා ශෙදකියාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි (1-7)

  • ජීවිතය හරි මරණය හරි තෝරගන්න (8-14)

21  යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක ලැබුණේ ශෙදකියා රජ+ මල්කියාගේ පුතා වුණ පෂ්හූර්වයි,+ මයසේයාගේ පුතා වුණ පූජක ශෙපනියාවයි+ යෙරෙමියා ළඟට එවලා මෙහෙම අහපු වෙලාවේදී.  “බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* අපිට විරුද්ධව යුද්ධ කරනවා.+ අනේ අපිට මොනවා වෙයිද කියලා යෙහෝවා දෙවියන්ගෙන් අහන්න. සමහරවිට යෙහෝවා අපි වෙනුවෙන් පුදුම දෙයක් කරයි. එතකොට බැබිලෝනියේ රජ ආපහු හැරිලා යයි.”+  යෙරෙමියා ඒ අයට මෙහෙම කිව්වා. “ඔබ ගිහින් ශෙදකියාට මේ දේ කියන්න.  ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. “පවුරට පිටින් ඔබව වටලලා ඉන්න බැබිලෝනියේ රජටත් කල්දිවරුන්ටත් විරුද්ධව සටන් කරන්න ඔබ අතට ගත්ත අවිආයුධවලින් මම ඔබටම පහර දෙනවා.+ මම ඒ ආයුධ* මේ නගරය මැද ගොඩගහනවා.  මගේ මහත් බලය පාවිච්චි කරලා මම ඔබට විරුද්ධව සටන් කරනවා.+ මම ලොකු කේන්තියකින් මගේ බලවත් හස්තය දික් කරලා, කෝපයෙන් ඔබට විරුද්ධව සටන් කරනවා.+  මේ නගරයේ ඉන්න මිනිස්සුන්ටයි, සතුන්ටයි මම පහර දෙනවා. ඔවුන් දරුණු වසංගතයකින්* මැරෙනවා.”’+  “‘යෙහෝවා මෙහෙමත් කියනවා. “ඒකෙන් පස්සේ යූදාවල රජ වන ශෙදකියාවයි, ඔහුගේ සේවකයන්වයි, මේ නගරේ සෙනඟවයි මම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතටත් සතුරන්ගේ අතටත් ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතටත් හසු කරලා දෙනවා. වසංගතයෙන්, සාගතයෙන් සහ කඩු පහරින් බේරෙන හැමෝවම මම ඔවුන්ගේ අතට භාර දෙනවා.+ ඔහු ඔවුන්ව කඩුවෙන් මරලා දායි. ඔහුට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නෙවත්, ඔවුන්ට කිසි දයාවක් පෙන්නන්නෙවත් නැහැ. ඔහු ඔවුන්ට අනුකම්පා කරන්නේ නැහැ.”’+  “මේ සෙනඟට ඔබ මේ දේ කියන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “මම ඔබට ජීවිතය නැත්නම් මරණය තෝරගන්න අවස්ථාව දෙනවා.  මේ නගරයටම වෙලා ඉන්න අය කඩු පහරින්, සාගතයෙන් සහ වසංගතයෙන් මැරුම් කනවා. ඒත් කෙනෙක් නගරයෙන් පිට වෙලා ගිහින් නගරේ වටලලා ඉන්න කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරගන්න ඔහුට පුළුවන් වෙයි.”’*+ 10  “‘“මොකද මම තීරණය කරලා තියෙන්නේ මේ නගරයට යහපතක් කරන්න නෙමෙයි, ඒක පිටට විපත්ති ගේන්නයි”+ කියලා යෙහෝවා කියනවා. “මේ නගරේ අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා.+ ඔහු මේ නගරේ ගිනිබත් කරනවා.”+ 11  “‘යූදාවල රජගේ මාලිගාවේ ඉන්න හැමෝම යෙහෝවා කියන දේට සවන් දෙන්න. 12  දාවිත්ගෙන් පැවතෙන්නෙනි, යෙහෝවා කියන්නේ මේකයි. “හැම දවසකම යුක්තිය ඉටු කරන්න.වංචා කරන අයගෙන් බැට කන අයව බේරගන්න.+ඔබ එහෙම කළේ නැත්නම් මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළෙයි.+ඔබ කරන දුෂ්ට වැඩ නිසා+ ඇවිළෙන ඒ ගින්න නිවලා දාන්න කාටවත් බැහැ.”’ 13  ‘නිම්නයේ* ජීවත් වෙන සෙනඟෙනි,පර්වතය මත තියෙන නගරේ වැසියෙනි, මම ඔබට විරුද්ධව සටන් කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔබ මෙහෙම කියනවා. “අපිට විරුද්ධව එන්න පුළුවන් කාටද? අපි ජීවත් වෙන තැන් අල්ලගන්න පුළුවන් කාටද?” 14  ඔබ කරපු ක්‍රියාවලට ලැබෙන්න ඕනෙ දඬුවම මම ඔබට දෙනවා’+ කියලා යෙහෝවා කියනවා. මම ඔබේ වනළැහැබට ගිනි තියනවා.ඔබ වටේ තියෙන හැම දෙයක්ම ඒ ගින්නට පිච්චිලා යයි.’”+

පාදසටහන්

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.
හෝ සමහරවිට, “මේ මිනිස්සුන්ව.”
හෝ, “රෝගයකින්.”
මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.
හෝ, “ඔහුගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙයි.”
හෝ, “තැනිතලාවේ.”