යෙරෙමියා 26:1-24

  • යෙරෙමියාට මරණ තර්ජන (1-15)

  • යෙරෙමියාව බේරයි (16-19)

    • මීකාගේ අනාවැකිය ගැන කියයි (18)

  • අනාගතවක්තෘ උරියාහ් (20-24)

26  යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම්+ යූදාවල රජකම් කරපු මුල් කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා.  “යෙහෝවා මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවට ගිහින් යූදා දේශයේ නගරවල ඉඳන් එන අයට කතා කරන්න. නමස්කාර කරන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයට එන ඒ හැමෝටම* මං අණ කරන හැම දෙයක්ම කියන්න. ඒකෙන් එක වචනයක්වත් අඩු කරන්න එපා.  සමහරවිට මං කියන දේ අහලා ඔවුන් එක් එක් කෙනා තමන් කරන දුෂ්ට වැඩ නවත්තයි. ඔවුන් ඒවා නැවැත්තුවොත් ඔවුන් කරන දුෂ්ට වැඩ නිසා මං ඔවුන් පිටට විපත්ති ගේන්න ගත්ත තීරණය වෙනස් කරනවා.+  ඔවුන්ට මේ දේ කියන්න. “යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබ මට සවන් දෙන්නේ නැත්නම් ඒ කියන්නේ මං ඔබට දුන්න නීතිය* ඔබ පිළිපදින්නේ නැත්නම්  ඔබ ගණන් ගත්තේ නැති වුණත් මං ඔබ ළඟට ආයේ ආයේ* එවන මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් කියන දේ අහන්නේ නැත්නම්+  මං මේ ගෘහයට ෂීලෝවලට+ කරපු දේම කරනවා. මං මේ නගරය විනාශ කරනවා. පොළොවේ ඉන්න හැම ජාතියක්ම තවත් කෙනෙක්ට ශාප කරද්දී මේ නගරයට වුණ දේ කියලා ශාප කරයි.’”’”+  යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ ඉඳන් යෙරෙමියා කියපු ඒ හැම දෙයක්ම පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි, සෙනඟයි අහගෙන හිටියා.+  යෙහෝවා සෙනඟට කියන්න කියලා අණ කරපු හැම දෙයක්ම යෙරෙමියා කිව්වාට පස්සේ පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි, සෙනඟයි එයාව අල්ලගෙන මෙහෙම කිව්වා. “අපි උඹව මරනවා.  ‘ෂීලෝවලට වුණ දේම මේ ගෘහයටත් වෙනවා. මේ නගරේ විනාශ වෙනවා. මේකේ කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ’ කියලා උඹ යෙහෝවාගේ නමින් අනාවැකි කියන්නේ ඇයි?” එහෙම කියලා සෙනඟ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හිටපු යෙරෙමියාව වට කරගත්තා. 10  යූදාවල අධිපතීන්ට ඒ වචන ඇහුණාම එයාලා රජමාලිගාවේ ඉඳන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ආවා. එයාලා ඇවිත් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ* ඉඳගත්තා.+ 11  එතකොට පූජකයනුයි, අනාගතවක්තෘවරුනුයි අධිපතීන්ට සහ සෙනඟට මෙහෙම කිව්වා. “මේ මිනිහාට මරණ දණ්ඩනේ දෙන්න ඕනේ.+ ඔයාලට ඇහුණා නේද මේ නගරෙට විරුද්ධව මෙයා කියපු අනාවැකිය?”+ 12  එතකොට යෙරෙමියා එතන හිටපු අධිපතීන්ටත් සෙනඟටත් මෙහෙම කිව්වා. “මේ ගෘහයටයි, මේ නගරෙටයි විරුද්ධව මං ඔයාලට කියපු අනාවැකිය කියන්න කියලා මාව එව්වේ යෙහෝවා.+ 13  ඉතින් දැන් ඔබේ ගතිපැවතුම් සහ ඔබ වැඩ කරන විදිහ වෙනස් කරගන්න. ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වෙන්න. එහෙම කළොත් ඔබ පිටට විපත්ති ගේන්න යෙහෝවා ගත්ත තීරණය ඔහු වෙනස් කරයි.+ 14  දැන් මං ඉන්නේ ඔයාලාගේ අතේ. ඔයාලට හොඳයි කියලා හිතෙන ඕනෙ දෙයක් මට කරන්න. 15  හැබැයි මේකත් මතක තියාගන්න. ඔයාලා මාව මැරුවොත් අහිංසක කෙනෙක්ගේ ලේ හලපු වරදට ඔයාලට වග කියන්න වෙනවා. මේ නගරෙටයි, නගරේ ඉන්න හැමෝටමයි ඒ ලේවලට වග කියන්න වෙනවා. ඇත්තටම මේ හැම දෙයක්ම ඔයාලට කියන්න කියලා මාව එව්වේ යෙහෝවා.” 16  එතකොට අධිපතීනුයි, සෙනඟයි පූජකයන්ට සහ අනාගතවක්තෘවරුන්ට මෙහෙම කිව්වා. “මේ මනුස්සයා මරණ දණ්ඩනය ලබන්න තරම් වරදක් කරලා නැහැ. මෙයා අපිට කතා කළේ අපේ දෙවි වන යෙහෝවාගේ නමින්.” 17  ඊටපස්සේ දේශයේ හිටපු වැඩිමහල්ලන්ගෙන් සමහරදෙනෙක් නැඟිටලා රැස් වෙලා හිටපු සෙනඟට මෙහෙම කිව්වා. 18  “යූදාවල රජ වුණ හෙසකියාගේ+ කාලේදී මොරෂෙත්වල කෙනෙක් වුණ මීකා+ යූදාවල සෙනඟට මේ වගේ අනාවැකියක් කිව්වා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “කෙතක් හානවා වගේ සියොන්ව හානවා.යෙරුසලම නටබුන් ගොඩක් වෙනවා.+දේවමාලිගාව තියෙන කන්ද කැලෑවක් මැද තියෙන උස්බිමක් වගේ වෙනවා.”’+ 19  “යූදාවල රජ වුණ හෙසකියා හරි යූදා සෙනඟ හරි මීකාව මරලා දැම්මාද? ඒ වෙනුවට රජතුමා යෙහෝවාට ගරුබිය පෙන්නුවේ නැද්ද? දයාව පෙන්නන්න කියලා යෙහෝවාට කන්නලව් කළේ නැද්ද? ඒ නිසා සෙනඟ පිටට ගේනවා කියලා කියපු විපත්තිය ගේන්නේ නැතුව ඉන්න යෙහෝවා තීරණය කළා.+ ඒත් අපි දැන් හදන්නේ අපි පිටටම ලොකු විපතක් ගෙන්නගන්නයි. 20  “යෙහෝවාගේ නමින් අනාවැකි කියපු තවත් කෙනෙක් තමයි කිර්යත්යෙයාරීම්වල+ හිටපු ෂෙමායාගේ පුතා වුණ උරියාහ්. එයාත් යෙරෙමියා වගේ මේ නගරෙටයි, මේ දේශයටයි විරුද්ධව අනාවැකි කිව්වා. 21  යෙහෝයාකිම් රජටයි,+ යුද්දෙට දක්ෂ පුරුෂයන්ටයි, අධිපතීන්ටයි එයා කියපු දේවල් අහන්න ලැබුණාම රජ එයාව මරන්න හෙව්වා.+ උරියාහ් ඒ ගැන දැනගත්ත ගමන්ම හොඳටම බය වෙලා ඊජිප්තුවට පැනලා ගියා. 22  ඉතින් යෙහෝයාකිම් රජ අක්බොර්ගේ පුතා වුණ එල්නාතාන්ව+ තවත් කීපදෙනෙක් එක්ක ඊජිප්තුවට යැව්වා. 23  එයාලා ඊජිප්තුවේ හිටපු උරියාහ්ව අල්ලගෙන යෙහෝයාකිම් රජ ළඟට ගෙනාවා. රජ උරියාහ්ට කඩුවෙන් පහර දීලා එයාව මරලා+ එයාගේ මළ කඳ සාමාන්‍ය මිනිස්සුන්ව වළලන තැනට ගිහින් දැම්මා.” 24  ඒත් ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්+ යෙරෙමියාගේ උදව්වට ආපු නිසා යෙරෙමියාව මරන්න හදපු සෙනඟගේ අතට එයාව භාර දුන්නේ නැහැ.+

පාදසටහන්

හෝ, “හැමෝම ගැන.”
හෝ, “මඟ පෙන්වීම්.”
මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”
මූ.අ., “අලුත් දොරටුවට ඇතුල් වෙන තැන.”