යෙරෙමියා 29:1-32

  • බැබිලෝනියේ වහලුන් විදිහට ඉන්න අයට යෙරෙමියා යවපු ලියුම (1-23)

    • අවුරුදු 70කට පස්සේ ඊශ්‍රායෙල්වරු ආපහු එනවා (10)

  • ෂෙමායාට දුන්න පණිවිඩය (24-32)

29  අනාගතවක්තෘ යෙරෙමියා යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට ලියුමක් යැව්වා. ඒ ලියුම යැව්වේ නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ට වගේම එහෙට අරන් ගිය පූජකයන්ට, අනාගතවක්තෘවරුන්ට සහ මුළු සෙනඟටයි.  ඒ ලියුම යවද්දී යෙකොනියා රජවයි,+ මව් බිසවවයි,+ රජමාලිගාවේ නිලධාරීන්වයි, යූදාවල සහ යෙරුසලමේ අධිපතීන්වයි, විවිධ කර්මාන්ත කරපු අයවයි, ලෝහවලින් වැඩ කරපු අයවයි* යෙරුසලමෙන් අරන් ගිහින් තිබුණා.+  යෙරෙමියා ඒ ලියුම යැව්වේ ෂාපාන්ගේ+ පුතා වුණ එලාසා සහ හිල්කියාගේ පුතා වුණ ගෙමරියා අතෙයි. යූදාවල රජ වුණ ශෙදකියා+ ඒ දෙන්නාව බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් ළඟට යවපු වෙලාවේ තමයි යෙරෙමියා ඒක යැව්වේ. ඒ ලියුමේ මෙහෙම ලියලා තිබුණා.  “සෙනඟට දන්වන්න ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට පණිවිඩයක් තියෙනවා. මම යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට යවපු සෙනඟට කියන්නේ මේකයි.  ‘ගෙවල් ගොඩනඟලා ඒවාවල පදිංචි වෙන්න. ගෙවත්තේ වගා කරලා ඒකේ පලදාව කන්න.  විවාහ වෙලා දූපුතුන්ව හදාගන්න. ඔබේ පුතුන්ව විවාහ කරලා දෙන්න. ඔබේ දූවරුන්වත් විවාහ කරලා දෙන්න. එතකොට ඔවුන්ටත් දූපුතුන්ව හදාගන්න පුළුවන්. ඒ විදිහට දරුවන් බිහි කරලා ගණනින් වැඩි වෙන්න. ඔබේ ගාණ අඩු වෙන්න ඉඩ දෙන්න එපා.  මම ඔබව වහලුන් විදිහට යවපු නගරයේ සාමය රැකෙන විදිහට ජීවත් වෙන්න. ඒ නගරය වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට කන්නලව් කරන්න. මොකද ඒ නගරයේ සාමය තිබුණොත් ඔබටත් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි.+  ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ අතරේ ඉන්න අනාගතවක්තෘවරුන්ට සහ පේන කියන අයට ඔබව මුළා කරන්න ඉඩ දෙන්න එපා.+ ඔවුන් දකින සිහින ගැන කියද්දී ඒවාට ඇහුම්කන් දෙන්න එපා.  මොකද ‘මගේ නමින් ඔවුන් කියන්නේ බොරු අනාවැකි. මම ඔවුන්ව එව්වේ නැහැ.’+ එහෙම කියන්නේ යෙහෝවායි.”’” 10  “මොකද යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘බැබිලෝනියේ ඉන්න තියෙන අවුරුදු 70 සම්පූර්ණ වුණාම මම ඔබ වෙනුවෙන් පියවර ගන්නවා.+ ඔබව ආපහු ඔබේ මව්බිමට ගෙනල්ලා මම පොරොන්දු වුණ දේ ඉටු කරනවා.’+ 11  “යෙහෝවා මෙහෙම කියනවා. ‘මං ඔබ වෙනුවෙන් කරන්න ඕනෙ මොකක්ද කියලා මම හොඳින්ම දන්නවා. මට ඕනෙ ඔබට සාමය ලබා දෙන්න මිසක් කරදර ගේන්න නෙමෙයි.+ මට ඕනෙ ඔබට හොඳ අනාගතයක්, ලස්සන බලාපොරොත්තුවක් දෙන්නයි.+ 12  ඔබ මට අඬගහයි. මං ළඟට ඇවිත් යාච්ඤා කරයි. එතකොට මම ඔබට ඇහුම්කන් දෙනවා.’+ 13  “‘ඔබ මුළු හදවතින්ම මගේ මඟ පෙන්වීම් පතන නිසා+ ඔබ මාව හොයාගෙන ඇවිත් මට තවත් ළං වෙයි.+ 14  මට ළං වෙන්න මම ඔබට ඉඩ දෙනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘වහලුන් වෙලා ඉන්න ඔබව මම එකට එකතු කරගන්නවා. මම ඔබව විසුරුවාහැරිය හැම ජාතියක් අතරින්මත් හැම දේශයකින්මත් ඔබව එකට එකතු කරගන්නවා.+ වහලුන් විදිහට යන්න කලින් ඔබ හිටපු දේශයට මම ඔබව ආපහු අරගෙන එනවා’+ කියලා යෙහෝවා කියනවා. 15  “ඒත් ඔබ මෙහෙම කිව්වා. ‘බැබිලෝනියේදීත් අපි වෙනුවෙන් අනාවැකි කියන්න යෙහෝවා අනාගතවක්තෘවරුන්ව පත් කළා.’ 16  “දාවිත්ගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්න රජටත්+ ඔබ එක්ක වහලුන් විදිහට ගියේ නැති ඔබේ සහෝදරයන් වන මේ නගරයේ ජීවත් වෙන හැමෝටමත් යෙහෝවා මෙහෙම කියනවා. 17  ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මම කඩුවත් සාගතයත් වසංගතත්* ඔවුන්ට විරුද්ධව ගේනවා.+ මම ඔවුන්ව කෑමට ගන්න බැරි තරමට කුණු වුණ* අත්තික්කා ගෙඩි වගේ වෙන්න සලස්වනවා.”’+ 18  “‘මම ඔවුන් පස්සේ එළවගෙන ගිහින් කඩුවෙන්,+ සාගතයෙන් සහ වසංගතවලින් ඔවුන්ට පහර දෙනවා. මම ඔවුන්ට කරන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+ මම ඔවුන්ව විසුරුවාහරින දේශවල ඉන්න මිනිස්සු ඔවුන්ට ශාප කරයි. ඔවුන්ට වෙන දේ දැකලා පුදුම වෙයි.+ මිනිස්සු ඔවුන්ට අපහාස කරයි,* සමච්චල් කරයි.+ 19  ඔවුන්ට එහෙම වෙන්නේ මම ආයේ ආයේ* ඔවුන් ළඟට යවපු මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් කියපු දේ ඔවුන් ඇහුවේ නැති නිසයි’ කියලා යෙහෝවා කියනවා.+ “‘ඔබත් මට ඇහුම්කන් දුන්නේ නැහැ’+ කියලා යෙහෝවා කියනවා. 20  “ඉතින් යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට මම යවපු සෙනඟෙනි, දැන් යෙහෝවා වන මම කියන දේට ඇහුම්කන් දෙන්න. 21  මගේ නමින් ඔබට බොරු අනාවැකි කියන+ කොලායාගේ පුතා වන ආහබ් ගැනත් මයසේයාගේ පුතා වන ශෙදකියා ගැනත් ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘මම ඔවුන් දෙන්නාව බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ගේ* අතට භාර දෙනවා. ඔබේ ඇස් පනාපිටම ඔහු ඔවුන් දෙන්නාව මරලා දායි. 22  බැබිලෝනියේ වහලුන් විදිහට ඉන්න යූදා සෙනඟ කාට හරි ශාප කරද්දී ඒ දෙන්නාට වුණ දේ මතක් කරලා මෙහෙම කියයි. “බැබිලෝනියේ රජ උදුනේ තියලා පුච්චලා දාපු ශෙදකියාටයි, ආහබ්ටයි කරපු දේම යෙහෝවා ඔබටත් කරන්න ඕනේ!” 23  මොකද ඔවුන් ඊශ්‍රායෙල් දේශයේ පිළිකුල්සහගත විදිහට හැසිරුණා.+ ඔවුන් තමන්ගේ අසල්වැසියන්ගේ භාර්යාවන් එක්ක අනාචාරයේ යෙදෙනවා. මං කියන්න කියලා අණ කළේ නැති පණිවිඩ ඔවුන් මගේ නමින් කියනවා.+ “‘“ඔවුන් කරන දේවල් ගැන දන්නේ මමයි. මම ඒ දේවලට සාක්ෂිකරුවෙක්”+ කියලා යෙහෝවා කියනවා.’” 24  “ඔබ මේ පණිවිඩය නෙහෙලාම්වල ෂෙමායාට+ කියන්න. 25  ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මයසේයාගේ පුතා වන පූජක ශෙපනියාටත්+ අනිත් පූජකයන්ටත් යෙරුසලමේ ඉන්න සෙනඟ හැමෝටමත් ඔබ ඔබේ නමින් මෙහෙම ලියලා යැව්වා. 26  ‘යෙහෝවා දෙවියන් පූජක යෙහෝයාදා වෙනුවට ඔබව යෙහෝවා දෙවියන්ගේ ගෘහය භාරව ඉන්න පූජකයා විදිහට පත් කරලා තියෙනවා. අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන ඕනෙම පිස්සෙක්ව අත්අඩංගුවට අරන් දඬුකඳේ* ගහන්න ඔබට අවසර දීලා තියෙනවා.+ 27  එහෙනම් ඔබ ඉදිරියේ අනාගතවක්තෘවරයෙක් වගේ හැසිරෙන+ අනාතොත්වල යෙරෙමියාට+ ඔබ කිසිම දඬුවමක් දෙන්නේ නැත්තේ ඇයි? 28  මිනිහා බැබිලෝනියේ ඉන්න අපිටත් මෙහෙම ලියලා එව්වා. “ඔබට තව ගොඩක් කල් වහලුන් විදිහට ඉන්න වෙනවා. ඒ නිසා ගෙවල් ගොඩනඟලා ඒවාවල පදිංචි වෙන්න. ගෙවත්තේ වගා කරලා ඒකේ පලදාව කන්න.+ . . . ”’”’” 29  ඒ ලියුම පූජක ශෙපනියා+ අනාගතවක්තෘ යෙරෙමියාට ඇහෙන්න කියෙව්වා. 30  එතකොට යෙහෝවාගෙන් මේ පණිවිඩය යෙරෙමියාට ලැබුණා. 31  “වහලුන් විදිහට ඉන්න හැමෝටම මේ පණිවිඩය යවන්න. ‘නෙහෙලාම්වල ෂෙමායා ගැන යෙහෝවා මෙහෙම කියනවා. “අනාවැකි කියන්න මම එව්වේ නැති වුණත් ෂෙමායා ඔබට අනාවැකි කිව්වා. බොරුවක් විශ්වාස කරන්න ඔබව පෙලඹුවා.+ එහෙම කරපු නිසා 32  ‘නෙහෙලාම්වල ෂෙමායාටත් ඔහුගෙන් පැවතෙන අයටත් දඬුවම් කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක් මගේ සෙනඟ අතරේ ඉන්නේ නැහැ. මගේ සෙනඟ වෙනුවෙන් මම කරන කිසිම යහපත් දෙයක් ඔහුට දකින්න ලැබෙන්නේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘මොකද යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න ඔහු සෙනඟව පෙලඹුවා.’”’”

පාදසටහන්

හෝ සමහරවිට, “පවුරු හදපු අයවයි.”
හෝ සමහරවිට, “පැළුණ.”
හෝ, “ලෙඩ රෝගත්.”
හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”
මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”
මූ.අ., “නෙබුකද්රෙෂර්ගේ.” ඒ නම ලියන වෙන විදිහක්.
මුල් භාෂාවේ මෙතන වචන දෙකක් තියෙනවා. එකකින් කකුල්වලට දාන දඬුකඳත් අනිත් වචනයෙන් අත්වලට සහ බෙල්ලට දාන දඬුකඳත් අදහස් කරනවා.