යෙරෙමියා 34:1-22

  • ශෙදකියාට දුන්න විනිශ්චය පණිවිඩය (1-7)

  • දාසයන්ව නිදහස් කරන්න ඇති කරගත්ත ගිවිසුම කඩ කරයි (8-22)

34  බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්,* ඔහුගේ මුළු හමුදාවත් ඔහු යටතේ තිබුණ පොළොවේ හැම රාජ්‍යයක්මත් ඒවාවල සෙනඟත් එක්ක යෙරුසලමට සහ ඒ අවට තිබුණ නගරවලට විරුද්ධව සටන් කරපු කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා.+  “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘යූදාවල රජ වන ශෙදකියා+ ළඟට ගිහින් මෙහෙම කියන්න. “යෙහෝවාගේ පණිවිඩය මේකයි. ‘මම මේ නගරය බැබිලෝනියේ රජගේ අතට භාර දෙනවා. ඔහු නගරයට ගිනි තියලා ඒක පුච්චලා දානවා.+  ඔබට ඔහුගෙන් බේරෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඔබව අල්ලගෙන ඔහුගේ අතට භාර දෙනවා.+ ඔබට බැබිලෝනියේ රජව මූණට මූණ හම්බ වෙලා කතා කරන්න වෙනවා. ඔබව අනිවාර්යයෙන්ම බැබිලෝනියට අරගෙන යනවා.’+  යූදා දේශය පාලනය කරන ශෙදකියා රජ්ජුරුවෙනි, යෙහෝවාගේ මේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න. ‘ඔබ ගැන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබ කඩුවෙන් මැරුම් කන්නේ නැහැ.  ඔබ අද්දකින්නේ සාමාන්‍ය මරණයක්.+ ඔබේ පියවරුන් ඒ කියන්නේ ඔබට කලින් හිටපු රජවරු මැරුණාම සෙනඟ සුවඳ ද්‍රව්‍ය දවපු විදිහටම ඔබ වෙනුවෙනුත් සුවඳ ද්‍රව්‍ය දවනවා. ‘අනේ අපේ ස්වාමියා’ කියලා සෙනඟ ඔබ ගැන අඬා වැලපෙයි. ‘මම කියපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා’ කියලා යෙහෝවා කියනවා.”’”’”  අනාගතවක්තෘ යෙරෙමියා යෙරුසලමේදී ඒ හැම දෙයක්ම යූදාවල රජ වන ශෙදකියාට කිව්වා.  එයා ඒ දේවල් කිව්වේ බැබිලෝනියේ රජගේ හමුදාවන් යෙරුසලමටයි, යූදාවල ඉතුරු වෙලා තිබුණ+ ලාකිෂ්+ සහ අෂේකා+ කියන නගරවලටයි විරුද්ධව සටන් කරපු කාලේදී. යූදා දේශයේ පවුරුවලින් වට වෙලා තිබුණ නගර අතරින් ඉතුරු වෙලා තිබුණේ ඒ දෙක විතරයි.  යෙහෝවාගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක ලැබුණේ ශෙදකියා රජ වහලුන්ව නිදහස් කරනවා කියලා යෙරුසලමේ හිටපු සෙනඟ හැමෝම එක්ක ගිවිසුමක් ඇති කරගත්තාට පස්සෙයි.+  ඒ ගිවිසුමට අනුව හැමෝම තමන්ගේ හෙබ්‍රෙව් ජාතික දාසයන්ව නිදහස් කරන්න ඕනේ. දාසයෙක් වුණත් දාසියක් වුණත් එයාලව නිදහස් කරලා යවන්න ඕනේ. කිසිම කෙනෙක්ට තවත් යුදෙව් ජාතිකයෙක්ව දාසයෙක් විදිහට තියාගන්න බැහැ. 10  ඉතින් අධිපතීන් හැමෝමයි, මුළු සෙනඟයි ඒකට කීකරු වුණා. තමන් ළඟ ඉන්න දාස දාසීන්ව නිදහස් කරනවා කියලත් එයාලව තවත් දාසයන් විදිහට තියාගන්නේ නැහැ කියලත් ඇති කරගත්ත ගිවිසුමට ඒ හැමෝම එකඟ වෙලයි තිබුණේ. එයාලා ඒකට කීකරු වෙලා දාසයන්ව නිදහස් කරලා යැව්වා. 11  ඒත් ඊටපස්සේ නිදහස් කරලා යවපු ඒ දාස දාසීන්ව එයාලා ආපහු ගෙන්නගෙන ඒ අයට දාසයන් විදිහට වැඩ කරන්න කියලා බල කළා. 12  එතකොට යෙරෙමියාට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබුණා. යෙහෝවා එයාට මෙහෙම කිව්වා. 13  “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊජිප්තුවේ වහලුන් වෙලා හිටපු ඔබේ මුතුන්මිත්තන්ව එහෙන් නිදහස් කරගෙන ආපු දවසේදී+ මම ඔවුන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ මම ඔවුන්ට මෙහෙම කිව්වා. 14  “ඔබ සල්ලි දීලා ගන්න ඔබේ හෙබ්‍රෙව් ජාතික සහෝදරයා අවුරුදු හයක් ඔබට සේවය කළාට පස්සේ හත්වෙනි අවුරුද්දේදී* ඔහුව නිදහස් කරලා යවන්න ඕනේ.”+ ඒත් ඔබේ මුතුන්මිත්තන් මට ඇහුම්කන් දුන්නෙවත් මට කීකරු වුණේවත් නැහැ. 15  හැබැයි මෑතකදී* ඔබ වෙනස් වුණා. ඔබේම ජාතියේ අයව නිදහස් කරලා යවලා මම හරියි කියලා සලකන දේ ඔබ කළා. මගේ නම දරන ගෘහයේදී මං ඉස්සරහා ඔබ ගිවිසුමකුත් ඇති කරගත්තා. 16  ඒත් ඊටපස්සේ ඔබ ආයෙත් වෙනස් වුණා. කැමති තැනකට ගිහින් ජීවත් වෙන්න කියලා නිදහස් කරලා යවපු ඔබේ දාස දාසීන්ව ඔබ ආපහු ගෙන්නගෙන ඔවුන්ට දාසයන් විදිහට වැඩ කරන්න කියලා බල කළා. එහෙම කරලා ඔබ මගේ නමට කළේ ලොකු අගෞරවයක්.’+ 17  “ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘තමන්ගේ සහෝදරයාටත් අසල්වැසියාටත් ලැබෙන නිදහස ගැන නිවේදනය කරන්න කියලා මම අණ කළත් ඔබ ඒකට කීකරු වුණේ නැහැ.+ ඒ නිසා දැන් මම ඔබට ලැබෙන නිදහස ගැන නිවේදනය කරනවා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට කඩු පහරින්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න ඉඩහරිනවා.+ ඒක තමයි ඔබට ලැබෙන නිදහස. මම ඔබට කරන දේ දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+ 18  වස්සෙක්ව දෙපළු කරලා ඒ පළු දෙක මැදින් ගිහින් මාත් එක්ක ඇති කරගත්ත ගිවිසුම+ කඩ කරපු අයට මට කියන්න දෙයක් තියෙනවා. ඒ ගිවිසුමට ඇතුළත් වුණ දේවල් කඩ කරපු 19  යූදාවල සහ යෙරුසලමේ අධිපතීන්ව, රජමාලිගාවේ නිලධාරීන්ව, පූජකයන්ව සහ දේශයේ සෙනඟ හැමෝවම ඒ කියන්නේ දෙපළු කරපු වස්සා මැදින් ගිය ඒ හැමෝවම 20  මම ඔවුන්ගේ සතුරන් අතට භාර දෙනවා. ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතට භාර දෙනවා. ඔවුන්ගේ මළ මිනී කුරුල්ලන්ටත් වනසතුන්ටත් කෑම විදිහට දෙනවා.+ 21  යූදාවල රජ වන ශෙදකියාවයි, ඔහුගේ අධිපතීන්වයි ඔවුන්ගේ සතුරන්ගේ අතටත් ඔවුන්ව මරලා දාන්න හොයන අයගේ අතටත් මම භාර දෙනවා. නගරය වටලගෙන ඉඳලා දැන් අයින් වෙලා යන+ බැබිලෝනියේ රජගේ හමුදාවන් අතටත් ඔවුන්ව අල්ලලා දෙනවා.’+ 22  “‘මම අණක් නිකුත් කරලා ඔවුන්ව ආපහු මේ නගරයට විරුද්ධව ගේනවා. ඔවුන් ඇවිත් මේ නගරයට විරුද්ධව සටන් කරලා ඒක අල්ලගනියි. ඔවුන් නගරයට ගිනි තියලා ඒක පුච්චලා දානවා.+ මම යූදාවල නගර මිනිස් පුළුටක් නැති පාළු තැනක් කරනවා’+ කියලා යෙහෝවා කියනවා.”

පාදසටහන්

මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.
මූ.අ., “හත්වෙනි අවුරුද්ද අවසානයේදී.”
මූ.අ., “අද.”
හෝ, “ලෙඩ රෝගවලින්.”