යෙරෙමියා 7:1-34

  • දෙවියන්ගේ ගෘහය ගැන බොරු විශ්වාසයක් (1-11)

  • ෂීලෝවලට වුණ දේම දේවමාලිගාවටත් වෙනවා (12-15)

  • බොරු නමස්කාරය හෙළා දකියි (16-34)

    • “අහස් දේවතාවියට” කරන නමස්කාරය (18)

    • බෙන්හින්නොම් නිම්නයේදී දරුවන්ව පූජා කරයි (31)

7  යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට ලැබුණ පණිවිඩය මේකයි.  “යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරටුව ළඟ හිටගෙන මේ පණිවිඩය කියන්න. ‘යෙහෝවාට නමස්කාර කරන්න මේ දොරටුවලින් ඇතුල් වෙන යූදාවල සෙනඟෙනි, යෙහෝවා කියන මේ දේට ඇහුම්කන් දෙන්න.  ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “ඔබේ ගතිපැවතුම් සහ ඔබ වැඩ කරන විදිහ වෙනස් කරගන්න. එතකොට මම ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙනවා.+  රැවටිලිකාර වචන ගැන විශ්වාසය තියලා මෙහෙම කියන්න එපා. ‘මේ* යෙහෝවා දෙවියන්ගේ මාලිගාව! යෙහෝවාගේ මාලිගාව! යෙහෝවාගේ මාලිගාව!’+  ඔබේ ගතිපැවතුම් සහ ඔබ වැඩ කරන විදිහ වෙනස් කරගන්න. දෙන්නෙක් අතරේ තියෙන නඩුවක් විභාග කරද්දී සාධාරණය ඉටු කරන්න.+  විදේශිකයාටවත් අනාථ දරුවාටවත්* වැන්දඹුවටවත් පීඩා කරන්න එපා.+ මේ දේශයේදී අහිංසක අයගේ ලේ හලන්න එපා. වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරලා අනතුරේ වැටෙන්න එපා.+  ඔබ මට කීකරු වුණොත් මම ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙනවා. හැමදාටම* ඔබේ මුතුන්මිත්තන්ට මම දුන්න දේශයේ ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙයි.”’”  “ඒත් ඔබ විශ්වාසය තියන්නේ රැවටිලිකාර වචන ගැන.+ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.  ඔබ සොරකම් කරනවා.+ මිනී මරනවා. අනාචාරයේ යෙදෙනවා. බොරුවට දිවුරනවා.+ බාල්ට පූජා ඔප්පු කරනවා.+ කලින් දැනගෙන හිටියේ නැති දෙවිවරුන් පස්සේ යනවා. 10  ඒ වගේ පිළිකුල්සහගත දේවල් කරන ගමන් ඔබ මගේ නම දරන මේ ගෘහයට ඇවිත් ‘අපිට ආරක්ෂාව ලැබෙනවා’ කියලා කියනවා. ඔබ කොහොමද මං ඉස්සරහට ඇවිත් එහෙම කියන්නේ? 11  මගේ නම දරන මේ ගෘහය ඔබ සලකන්නේ හොරුන්ගේ ගුහාවක් විදිහටද?+ ඔබ කරන හැම දෙයක්ම මගේ ඇස් දෙකට පේනවා” කියලා යෙහෝවා කියනවා. 12  “‘මගේ නම දරන්න ෂීලෝවල+ මම මුලින්ම තෝරගත්ත තැනට+ දැන් යන්න. මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු කරපු දුෂ්ටකම් නිසා මම ඒ ස්ථානයට කරපු දේ ගිහින් බලන්න.+ 13  මං එපා කියපු ඒ දේවල් ඔබ දිගින් දිගටම කළා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට ඒ ගැන ආයේ ආයේ* කිව්වත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ මම ඔබට දිගින් දිගටම අඬගැහුවත් ඔබ උත්තර දුන්නේ නැහැ.+ 14  මම ෂීලෝවලට කරපු දේම+ ඔබ විශ්වාසය තියන,+ මගේ නම දරන මේ ගෘහයටත් කරනවා.+ මම ඔබටයි, ඔබේ මුතුන්මිත්තන්ටයි දුන්න මේ ස්ථානයටත් ඒ දේම කරනවා. 15  මම ඔබේ සහෝදරයන් වුණ එෆ්‍රායිම්ගෙන් පැවත ආපු හැමෝවම පන්නලා දාපු විදිහටම ඔබවත් මං ඉස්සරහින් පන්නලා දානවා.’+ 16  “ඔයා* මේ සෙනඟ වෙනුවෙන් යාච්ඤා කරන්න එපා. එයාලා වෙනුවෙන් බැගෑපත් වෙන්නවත් යාච්ඤාවක් ඉදිරිපත් කරන්නවත් කන්නලව් කරන්නවත් එපා.+ මොකද මම ඔයාට ඇහුම්කන් දෙන්නේ නැහැ.+ 17  යූදා දේශයේ නගරවලයි, යෙරුසලමේ පාරවල්වලයි සෙනඟ කරන දේවල් ඔයාට පේන්නේ නැද්ද? 18  පුතාලා දර අහුලනවා. තාත්තලා ගිනි අවුළනවා. අම්මලා අහස් දේවතාවියට* රොටි පූජා කරන්න පිටි අනනවා.+ මගේ හිතට වේදනාවක් ගේන්න එයාලා වෙනත් දෙවිවරුන්ට පාන පූජා ඔප්පු කරනවා.+ 19  ‘ඇත්තටම එයාලා රිද්දන්නේ මාවද’ කියලා යෙහෝවා අහනවා. ‘එයාලා රිද්දවගන්නේ එයාලවම නෙමෙයිද? ලැජ්ජාවට පත් වෙන්නේ එයාලම නෙමෙයිද?’+ 20  ඉතින් ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘බලන්න! මම මගේ කේන්තිය පිට කරනවා. ගින්නක් වගේ ඇවිළිලා තියෙන මගේ කෝපයෙන් මේ දේශය පුච්චලා දානවා.+ මිනිස්සු සහ සතුන්, ගස් කොළන් සහ අස්වැන්න ඒකෙන් පුච්චලා දානවා. ඒ ගින්න නිවලා දාන්න බැහැ.’+ 21  “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘යන්න, ගිහින් ඔබ ඔප්පු කරන අනිත් පූජාවලට දවන පූජාත් එකතු කරලා ඒවාවල මස් කන්න.+ 22  මම ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු දවසේදී දවන පූජා සහ අනිත් පූජා ගැන කිසිම දෙයක් කිව්වෙවත් ඒවා ඔප්පු කරන්න කියලා අණ කළේවත් නැහැ.+ 23  ඒත් මම ඔවුන්ට මේ ආඥාව නම් දුන්නා. “මගේ හඬට කීකරු වෙන්න. ඔබ එහෙම කළොත් මම ඔබේ දෙවියන් වෙනවා. ඔබ මගේ සෙනඟ වෙනවා.+ මම ඔබට දෙන හැම ආඥාවක්ම පිළිපදින්න. එහෙම කළොත් ඔබේ ජීවිතේ සාර්ථක වෙයි.”’+ 24  ඒත් ඔවුන් සවන් දුන්නේ නැහැ. කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ.+ ඔවුන් වැඩ කළේ තමන් කැමති කැමති විදිහටයි. ඔවුන් හිතුවක්කාර විදිහට ඔවුන්ගේ නපුරු හිතට සවන් දුන්නා.+ ඔවුන් ඉදිරියට යනවා වෙනුවට තව තවත් පස්සට ගියා. 25  ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තුවෙන් පිටත් වෙලා ආපු දවසේ ඉඳන් අද වෙන කල්ම වුණේ ඒ දේමයි.+ ඉතින් මම මගේ හැම සේවකයෙක්වම, මගේ අනාගතවක්තෘවරුන්ව හැම දවසකම ආයේ ආයේ* ඔබ වෙතට එව්වා.+ 26  ඒත් මට සවන් දෙන්න ඔවුන් කැමති වුණේ නැහැ. කියපු දේවල් ඔවුන් කනකටවත් ගත්තේ නැහැ.+ ඒ වෙනුවට ඔවුන් මුරණ්ඩු විදිහට වැඩ කළා. ඔවුන් වැඩ කළේ ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් වඩා නරක විදිහටයි. 27  “ඔයා මේ හැම දෙයක්ම කිව්වත්+ සෙනඟ ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔයා එයාලට අඬගැහුවත් එයාලා උත්තර දෙන්නේ නැහැ. 28  ඉතින් එයාලට මෙහෙම කියන්න. ‘තමන්ගේ දෙවි වන යෙහෝවාගේ හඬට අකීකරු වුණෙත් හික්මවීම් ලැබෙද්දී ඒක පිළිගන්න අකමැති වුණෙත් මේ ජාතියම තමයි. විශ්වාසවන්ත කිසිම කෙනෙක් නැහැ. කවුරුත් ඒ ගැන කතා කරන්නෙවත් නැහැ.’+ 29  “දිගට වවලා තියෙන* ඔබේ හිසකෙස් කපලා අයින් කරන්න. කඳු මුදුන්වල ඉඳන් ශෝක ගීයක් ගයන්න. මොකද යෙහෝවා ඔහුව කේන්ති ගස්සපු මේ පරම්පරාව ප්‍රතික්ෂේප කළා. ඔහු ඔවුන්ව අතහැරලා දානවා. 30  ‘මොකද යූදාවල සෙනඟ මම වැරදියි කියලා සලකන දේවල් කළා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔවුන් මගේ නම දරන ගෘහය අපවිත්‍ර කරන්න පිළිකුල්සහගත රූප ඒකේ තිබ්බා.+ 31  ඔවුන්ගේ දූදරුවන්ව ගින්නෙන් දවන්න+ ඔවුන් බෙන්හින්නොම් නිම්නයේ*+ තෝෆෙත්වල පූජාසන* හැදුවා. ඒ වගේ දෙයක් කරන්න කියලා මම ඔවුන්ට අණ කළේ නැහැ. ඒ වගේ අදහසක් මගේ හිතට ආවේවත් නැහැ.’+ 32  “‘ඒ නිසා ඒ ස්ථානය තෝෆෙත් කියලවත් බෙන්හින්නොම් නිම්නය* කියලවත් හඳුන්වන්නේ නැති කාලයක් එනවා’ කියලා යෙහෝවා කියනවා. ‘ඒ වෙනුවට ඒකට මිනී මරන නිම්නය කියලා කියයි. වළලන්න ඉඩ මදි වෙන තරමටම ඔවුන් තෝෆෙත්වල මළ මිනී වළලනවා.+ 33  මේ සෙනඟගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි. උන්ව එළවලා දාන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+ 34  යූදාවල නගරවලින් සහ යෙරුසලමේ පාරවල්වලින් සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත් මනාලයාගේ සහ මනාලියගේ හඬත් ආයේ ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ.+ මොකද දේශය නටබුන් ගොඩක් වෙනවා.’”+

පාදසටහන්

දේවමාලිගාවට අයිති හැම ගොඩනැඟිල්ලක්ම මේකට ඇතුළත් වෙනවා.
හෝ, “පියා නැති දරුවාටවත්.”
හෝ, “සදාකාලයෙන් සදාකාලයටම.”
මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”
ඒ කියන්නේ යෙරෙමියා.
සැබෑ නමස්කාරයෙන් අයින් වුණ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරපු දේවතාවියක්. ඒ දේවතාවිය දරුපල දෙනවා කියලා එයාලා විශ්වාස කළා.
මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”
හෝ, “කැප කරපු.”
හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නයේ.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “ගෙහෙන්නාව” බලන්න.
මූ.අ., “උස් තැන්.”
හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නය.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “ගෙහෙන්නාව” බලන්න.