යෙසායා 20:1-6

  • ඊජිප්තුවටයි, ඉතියෝපියාවටයි විරුද්ධව ලකුණක් (1-6)

20  ඇසිරියාවේ රජ වුණ සර්ගොන් එයාගේ හමුදාපතිව* අෂ්දොද්වලට+ යවපු අවුරුද්දේ ඒ හමුදාපති අෂ්දොද්වලට විරුද්ධව සටන් කරලා ඒක අල්ලගත්තා.+  ඒ කාලේදී යෙහෝවා දෙවියන් ආමොෂ්ගේ පුතා වුණ යෙසායා මාර්ගයෙන්+ මෙහෙම කිව්වා. “ගිහින් ඔයාගේ ඉණ වටේ දාගෙන ඉන්න ගෝණි රෙදියි, ඔයාගේ පාවහනුයි ගලවලා දාන්න.” ඉතින් යෙසායා එහෙම කළා. එයා ඇඳුම්* සහ පාවහන් නැතුව එහේ මෙහේ ඇවිද්දා.  ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. “මගේ සේවකයා වන යෙසායා අවුරුදු තුනක් තිස්සේ ඇඳුමුයි, පාවහනුයි නැතුව ඇවිද්දා. ඔහු කරපු ඒ දේ ඊජිප්තුවටයි,+ ඉතියෝපියාවටයි+ වෙන්න යන දේට ලකුණක් සහ අනතුරු ඇඟවීමක් වෙයි.+  ඇසිරියාවේ රජ ඇවිත් ඊජිප්තුවෙනුයි, ඉතියෝපියාවෙනුයි වහලුන් විදිහට බාල මහලු හැම කෙනෙක්වම අරගෙන යයි.+ ඔහු ඔවුන්ගේ ඇඳුම් සහ පාවහන් ගලවලා දායි. තට්ටම් පේන තරමට ඇඳුම් ඉරලා දායි. ඒ විදිහට ඊජිප්තුව නින්දාවට පත් වෙයි.  එතකොට ඉතියෝපියාව ගැන බලාපොරොත්තු තිබ්බ අයයි, ඊජිප්තුව ගැන ආඩම්බර වුණ* අයයි හොඳටම බය වෙයි. ඔවුන් ලැජ්ජාවට පත් වෙයි.  ඒ කාලේදී ඒ වෙරළබඩ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු මෙහෙම කියයි. ‘අපි බලාපොරොත්තු තියාගෙන හිටපු අයට වුණ දේ බලන්න! ඇසිරියාවේ රජගෙන් බේරෙන්න අපි දුවලා ගියේ ඔවුන් ළඟටයි. දැන් ඉතින් කවුද අපිව බේරගන්නේ?’”

පාදසටහන්

හෝ, “තර්තාන්ව.”
හෝ, “ඇඳුම් ඔක්කොම වගේ ගලවලා.”
හෝ, “ඊජිප්තුවේ අලංකාරය ගැන වර්ණනා කරපු.”