යෙසායා 36:1-22

  • සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කරයි (1-3)

  • රබ්ෂාකේ යෙහෝවා දෙවියන්ට නින්දා කරයි (4-22)

36  හෙසකියා රජ පාලනය කරපු 14වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ්+ යූදාවල තිබුණ පවුරුවලින් වට වුණ හැම නගරයකටම විරුද්ධව සටන් කරලා ඒවා අල්ලගත්තා.+  ඊටපස්සේ ඇසිරියාවේ රජ, රබ්ෂාකේ*+ කියන තනතුර දරපු කෙනාව ලොකු හමුදාවක් එක්ක+ යෙරුසලමේ හිටපු හෙසකියා රජ ළඟට යැව්වා. එයාලා ඇවිත් රෙදි හෝදන අය වැඩ කරන තැනට යන පාරේ+ තිබුණ ඉහළ පොකුණේ දිය අගල ළඟ නතර වුණා.+  හිල්කියාගේ පුතා වුණ රජමාලිගාවේ වැඩකටයුතු භාරව හිටපු එලියාකීම්,+ ලේකම් වුණ ෂෙබ්නා+ සහ ආසාෆ්ගේ පුතා වුණ වාර්තාකරු යෝවා එයාව හම්බ වෙන්න ගියා.  එතකොට රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා එයාලට මෙහෙම කිව්වා. “කරුණාකරලා ගිහින් හෙසකියාට කියන්න ‘ඇසිරියාවේ රජ වන මහ රජ්ජුරුවෝ එයාට මෙහෙම කිව්වා කියලා. “ඔබ කවුරු ගැනද විශ්වාසය තියාගෙන ඉන්නේ?+  ඔබ මහ ලොකුවට කියනවා ‘යුද්ධ කරන්න හොඳ සැලැස්මකුයි, හොඳ හමුදා බලයකුයි මට තියෙනවා’ කියලා. ඒවා නිකම් බොරු කතා විතරයි. කාගේ හයියක් අරන්ද ඔබ මට විරුද්ධව මෙහෙම කැරලිගහන්නේ?+  ඔබ විශ්වාසය තියාගෙන ඉන්නේ තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුව ගැනද? වැටෙන්න යද්දී තැළුණු බට දණ්ඩක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අත තුවාල වෙන එක විතරයි නේද? ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටම වෙන්නෙත් ඒකම තමයි.+  එහෙම නැත්තං ඔබ මට කියන්න හදන්නේ ‘අපි අපේ දෙවි වන යෙහෝවා ගැන විශ්වාසය තියනවා’ කියලද? ඒ දෙවියන්ගේ පූජාසනයි, එයාට නමස්කාර කරන්න හදපු උස් තැනුයි නේද හෙසකියා කඩලා දැම්මේ?+ එයා ඒවා කඩලා දාලා යූදාවලයි, යෙරුසලමෙයි ඉන්න මිනිස්සුන්ට කිව්වේ නැද්ද ‘මෙහේ තියෙන පූජාසනය ඉස්සරහා නමස්කාර කරන්න’ කියලා?”’+  මං කැමතියි මගේ ස්වාමීන් වන ඇසිරියාවේ රජගේ+ නමින් ඔබට මේ අභියෝගය කරන්න. මං අශ්වයන් 2,000ක් දුන්නොත් ඒ ගාණට හරියන්න අසරුවන්ව ඔබට හොයාගන්න පුළුවන්ද?  හරි අපි හිතමු ඊජිප්තුවෙන් අශ්ව රථයි, අසරුවනුයි ඔබට ලැබුණා කියලා. ඒත් මගේ ස්වාමියාට සේවය කරන සුළුම නිලධාරියෙක්වවත් පරද්දන්න ඔබට පුළුවන්ද? 10  මම මේ දේශය විනාශ කරන්න ආවේ යෙහෝවා දෙවියන්ගේ අවසරය නැතුව කියලද ඔබ හිතන්නේ? යෙහෝවා දෙවියන්ම තමයි මට කිව්වේ ‘ගිහින් ඒ දේශය විනාශ කරන්න’ කියලා.” 11  එතකොට එලියාකීම්, ෂෙබ්නා,+ සහ යෝවා රබ්ෂාකේ+ කියන තනතුර දරපු කෙනාට මෙහෙම කිව්වා. “ඔබේ සේවකයන් වන අපිට ඇරමයික* භාෂාව+ තේරෙනවා. ඉතින් අපිත් එක්ක ඒ භාෂාවෙන් කතා කරන්න. ඔබ යුදෙව්වන්ගේ භාෂාවෙන් අපිත් එක්ක කතා කරද්දී ඔබ කියන දේ පවුර උඩ ඉන්න අයටත් තේරෙනවා.”+ 12  ඒත් රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා මෙහෙම කිව්වා. “ඔයාලා හිතුවාද මගේ ස්වාමියා මාව එව්වේ ඔයාලටයි, ඔයාලාගේ ස්වාමියාටයි විතරක් මේ පණිවිඩේ දෙන්න කියලා? මේ පණිවිඩේ පවුර උඩ ඉන්න හැමෝමත් අහන්න ඕනේ. මොකද වැඩි දවසක් යන්න කලින් ඔය දෙගොල්ලන්ටම සිද්ධ වෙන්නේ ඔයාලාගෙම අසූචි කන්නයි, මුත්‍රා බොන්නයි.” 13  ඊටපස්සේ රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා කෑගහලා යුදෙව් භාෂාවෙන්ම+ මෙහෙම කිව්වා. “ඇසිරියාවේ රජ වන මහ රජ්ජුරුවන්ගේ පණිවිඩේට ඇහුම්කන් දෙන්න.+ 14  රජ්ජුරුවන් මෙහෙම කියනවා. ‘හෙසකියා කියන දේවල්වලට රැවටෙන්න එපා. ඔයගොල්ලන්ව ගලවගන්න එයාට බැහැ.+ 15  හෙසකියා ඔයාලට මෙහෙම කියයි. “යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපිව ගලවගන්නවා. ඔහු මේ නගරේ අල්ලගන්න ඇසිරියාවේ රජට කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.” ඒ දේවල් කියලා යෙහෝවා දෙවියන් ගැන ඔයාලාගේ හිත්වල විශ්වාසයක් ඇති කරන්න එයා හදයි. ඒත් ඕවාට අහු වෙන්න එපා.+ 16  හෙසකියා කියන දේවල් පොඩ්ඩක්වත් අහන්න එපා. මොකද ඇසිරියාවේ රජ ඔයාලට කියන්නේ මේකයි. “මට යටත් වෙලා ආශීර්වාද ලබාගන්න.* එහෙම කළොත් ඔයාලා හැමෝටම ඔයාලාගෙම මිදිවැලෙනුයි, අත්තික්කා ගහෙනුයි ගෙඩි කන්න පුළුවන් වෙයි. ඔයාලාගෙම ළිඳෙන් වතුර බොන්නත් ඔයාලට පුළුවන් වෙයි. 17  ඊටපස්සේ මම ඇවිල්ලා ඔයාලාගේ දේශය වගේ හොඳ දේශයකට ඔයාලව එක්කගෙන යන්නම්.+ ඒ දේශයේ ධාන්‍ය, අලුත් වයින්, රොටි, මිදිවතු ඇති තරම් තියෙනවා. 18  ‘යෙහෝවා දෙවියන් අපිව ගලවගනියි’ කියලා කියන හෙසකියාට රැවටෙන්න එපා. ඇසිරියාවේ රජ වන මං කොච්චර ජාතීන්ව යටත් කරගත්තාද! ඒ ජාතීන් අදහපු එක දෙවියෙක්ටවත් පුළුවන් වුණාද මගේ අතින් එයාලාගේ දේශය ගලවගන්න?+ 19  හමාත්, අර්පාද්+ නගරවල හිටපු දෙවිවරු දැන් කෝ? සෙෆාවායිම්වල+ හිටපු දෙවිවරු දැන් කෝ? එයාලට පුළුවන් වුණාද සමාරිය මගේ අතින් ගලවගන්න?+ 20  මගේ අතින් එයාලාගේ දේශයන් බේරගන්න ඒ එක දෙවියෙක්ටවත් බැරි වුණා. එහෙනම් යෙරුසලම මගේ අතින් ගලවගන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා ඔයාලා හිතන්නේ කොහොමද?”’”+ 21  එයාලා මුකුත් කියන්නේ නැතුව නිශ්ශබ්දව හිටියා. මොකද “එයාට කිසිම දෙයක් කියන්න එපා”+ කියලා රජ අණ කරලා තිබුණා. 22  ඒත් හිල්කියාගේ පුතා වුණ රජමාලිගාවේ වැඩකටයුතු භාරව හිටපු එලියාකීම්, ලේකම් වුණ ෂෙබ්නා+ සහ ආසාෆ්ගේ පුතා වුණ වාර්තාකරු යෝවා එයාලාගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ගියා. රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා කියපු දේවල් එයාලා හෙසකියාට කිව්වා.

පාදසටහන්

හෝ, “කුසලාන දරන්නන්ගේ ප්‍රධානියා.”
හෝ, “සිරියානු.”
මූ.අ., “මගේ පැත්තට ඇවිත් ආශීර්වාදයක් ලබාගන්න.”