යොෂුවා 10:1-43

  • ඊශ්‍රායෙල්වරු ගිබියොන්වරුන් වෙනුවෙන් සටන් කරයි (1-7)

  • යෙහෝවා ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කරයි (8-15)

    • පලා යන සතුරන්ට හිම කැට වැස්සෙන් පහර දෙයි (11)

    • හිරු නවතියි (12-14)

  • සටනට ආපු රජවරුන් පස්දෙනාව මරලා දායි (16-28)

  • දකුණේ තිබුණ නගර යටත් කරගනියි (29-43)

10  යොෂුවා, ආයි නගරය යටත් කරගෙන ඒක සම්පූර්ණයෙන්ම විනාශ කළා කියලා යෙරුසලමේ රජ වුණ අදොනිෂෙදෙක්ට ආරංචි වුණා. යෙරිකෝවටයි, ඒකේ රජටයි+ කරපු දේම යොෂුවා ආයි නගරයටයි, ඒකේ රජටයි+ කළා කියලත් ගිබියොන් නගරයේ වැසියන් ඊශ්‍රායෙල්වරු එක්ක සාම ගිවිසුමක් ඇති කරගත්තා+ කියලත් එයාට දැනගන්න ලැබුණා.  අදොනිෂෙදෙක් ඒක අහලා හොඳටම බය වුණා.+ මොකද ගිබියොන් කියන්නේ ආයි නගරයටත් වඩා ගොඩක් විශාල නගරයක්.+ ඒක රජෙක් පාලනය කරපු නගරයක් තරම්ම වැදගත් නගරයක්. ඒකේ හිටිය පුරුෂයන් හැමෝම යුද්ධයට දක්ෂ, බලවත් අය.  ඉතින් යෙරුසලමේ රජ වුණ අදොනිෂෙදෙක්, හෙබ්‍රොන් නගරයේ රජ වුණ හෝහාම්ටයි,+ යාමුත් නගරයේ රජ වුණ පීරාම්ටයි, ලාකිෂ් නගරයේ රජ වුණ යාෆියාටයි, එග්ලොන් නගරයේ රජ වුණ දෙබීර්ටයි+ මෙහෙම කියලා යැව්වා.  “ගිබියොන්වරු යොෂුවා එක්කයි, ඊශ්‍රායෙල්වරු එක්කයි සාම ගිවිසුමක් ඇති කරගෙන.+ ඒ නිසා මගේ උදව්වට ඇවිත් මාත් එක්ක ගිබියොන් නගරයට විරුද්ධව යුද්ධ කරන්න.”  ඉතින් ඒ අමෝරිවරුන්ගේ+ රජවරු පස්දෙනාම එකතු වෙලා ගිබියොන් නගරයට විරුද්ධව යුද්ධ කරන්න ලෑස්ති වුණා. යෙරුසලමේ, හෙබ්‍රොන්වල, යාමුත්වල, ලාකිෂ්වල සහ එග්ලොන්වල රජවරු එයාලාගේ හමුදා රැස් කරගෙන ඇවිත් ගිබියොන් නගරය වට කළා.  එයාලව දැක්කාම ගිබියොන්වරු ගිල්ගාල්වල+ කඳවුරු බැඳගෙන හිටිය යොෂුවාට පණිවිඩයක් යවලා මෙහෙම කිව්වා. “කඳුකරයේ ඉන්න අමෝරිවරුන්ගේ රජවරු හැමෝම අපිට විරුද්ධව යුද්ධ කරන්න ඇවිල්ලා. ඉක්මනට ඇවිත් අපිව බේරගන්න. මේ වගේ වෙලාවක ඔයාලාගේ සේවකයන් වන අපිව තනි කරන්න එපා.”+  ඒක ඇහුවාම යොෂුවා මුළු හමුදාවත් එක්ක ගිල්ගාල් නගරයෙන් පිටත් වෙලා ආවා. යුද්ධයට දක්ෂ පුරුෂයෝ හැමෝම එයාත් එක්ක ආවා.+  යෙහෝවා දෙවියන් යොෂුවාට මෙහෙම කිව්වා. “එයාලට බය වෙන්න එපා!+ මම එයාලව ඔයාට යටත් කරලා දෙන්නම්.+ ඔයාලට හානියක් කරන්න එයාලාගෙන් කාටවත් බැහැ.”+  යොෂුවා ගිල්ගාල් නගරයේ ඉඳන් මුළු රෑම ගමන් කරලා අමෝරිවරු හිතුවෙවත් නැති වෙලාවක ඇවිත් එයාලට පහර දෙන්න පටන්ගත්තා. 10  ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් අමෝරිවරුන්ගේ හිත් අවුල් කරපු නිසා+ එයාලා වැඩ කළේ හරිම කලබලෙන්. ඊශ්‍රායෙල්වරුත් ගිබියොන් නගරය ළඟදී අමෝරිවරුන් හුඟදෙනෙක්ව මරලා දැම්මා. ඊටපස්සේ එයාලා බෙත්හෝරොන් නගරයට නැඟලා යන පාර දිගේ ඉතුරු අයව ලුහුබැඳගෙන ගියා. අෂේකා සහ මක්කේදා කියන නගර වෙන කල්ම පන්නගෙන ගිහින් එයාලට පහර දුන්නා. 11  අමෝරිවරු බෙත්හෝරොන්වල බෑවුම දිගේ පලා යද්දී යෙහෝවා හිම කැට වැස්සකින් එයාලට පහර දුන්නා. ඒ හිම කැට හරිම විශාලයි. එයාලා අෂේකා නගරය වෙන කල්ම හිම කැට වැස්සෙන් පහර කෑවා. ඊශ්‍රායෙල්වරු මරලා දාපු අයගේ ගාණට වඩා හිම කැට වැස්සෙන් මැරුම් කාපු අයගේ ගාණ වැඩියි. 12  යෙහෝවා අමෝරිවරුන්ව ඊශ්‍රායෙල්වරුන්ට යටත් කරලා දුන්න ඒ දවසේදී යොෂුවා යෙහෝවාට යාච්ඤා කරලා ඊශ්‍රායෙල් හමුදාවට ඇහෙන්න මෙහෙම කිව්වා. “හිරු, ගිබියොන්+ නගරයට ඉහළින් නැවතිලා ඉන්න.+සඳු, ආයාලොන් නිම්නයට* ඉහළින් නැවතිලා ඉන්න.” 13  ඉතින් ඊශ්‍රායෙල්වරු එයාලාගේ සතුරන්ව පරාජය කරන කල් හිරු සහ සඳු එතනම නැවතිලා තිබුණා. යාෂාර්ගේ ලියවිල්ලෙත්+ ඒ සිද්ධිය ගැන සඳහන් වෙනවා. එදා හිරු බැහැලා ගියේ නැහැ. මුළු දවසම වගේ ඒක අහසේ පේන්න තිබුණා. 14  එදා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා.+ ඒක හරිම විශේෂ දවසක්. මොකද ඊට කලින් කවදාවත් යෙහෝවා මිනිසෙක්ගේ ඉල්ලීමකට+ ඒ තරම් පුදුම දෙයක් කරලා තිබුණේ නැහැ. අද වෙන කල්ම ඒ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැ. 15  ඊටපස්සේ යොෂුවා සහ මුළු ඊශ්‍රායෙල් හමුදාවම ආයෙත් ගිල්ගාල්වල තිබුණ එයාලාගේ කඳවුරට ගියා.+ 16  සටන අතරතුරේදී අමෝරිවරුන්ගේ රජවරු පස්දෙනා මක්කේදාවල ගුහාවකට ගිහින් හැංගුණා.+ 17  පස්සේ යොෂුවාට ආරංචි වුණා ‘අමෝරිවරුන්ගේ රජවරු පස්දෙනා මක්කේදා නගරයේ ගුහාවක හැංගිලා ඉන්නවා’ කියලා.+ 18  එතකොට යොෂුවා මෙහෙම කිව්වා. “ගුහාවේ කට ළඟට ලොකු ගල් පෙරළලා ඒක වහන්න. එතන මුර කරන්න මිනිස්සු කීපදෙනෙක්වත් තියන්න. 19  හැබැයි හමුදාවේ අනිත් අය දිගටම සතුරන්ව පන්නගෙන ගිහින් පහර දෙන්න ඕනේ.+ එයාලාගේ නගරවලට ඇතුල් වෙන්න එයාලට ඉඩ දෙන්න එපා. ඔයාලාගේ දෙවි යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාලාගේ අතට සතුරන්ව අහු කරලා දෙනවා.” 20  යොෂුවායි, ඊශ්‍රායෙල් සෙනඟයි සතුරන් විශාල පිරිසක් මරලා දැම්මා. බේරුණේ හරිම ටිකදෙනායි. ඒ අය පවුරුවලින් වට වුණ නුවරවලට පලා ගියා. 21  සතුරන්ව පැරැද්දුවාට පස්සේ මුළු ඊශ්‍රායෙල් හමුදාවම මක්කේදාවල කඳවුරු බැඳගෙන හිටිය යොෂුවා ළඟට ගියා. ඊටපස්සේ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව වචනයක්වත් කියන්න කාටවත් හයියක් තිබුණේ නැහැ. 22  පස්සේ යොෂුවා මෙහෙම කිව්වා. “ගුහාවේ කට ළඟින් ගල් අයින් කරලා ඒකේ ඇතුළේ ඉන්න රජවරු පස්දෙනාව මං ළඟට ගේන්න.” 23  ඉතින් එයාලා යෙරුසලමේ, හෙබ්‍රොන්වල, යාමුත්වල, ලාකිෂ්වල සහ එග්ලොන්වල රජවරුන්ව+ ගුහාවෙන් එළියට අරන් 24  යොෂුවා ළඟට ගෙනාවා. ඊටපස්සේ යොෂුවා එයාගේ හමුදාවේ හැමෝටම එතනට එන්න කියලා එයා එක්ක සටන් කරන්න ගිය හමුදාපතීන්ට මෙහෙම කිව්වා. “ඇවිත්, මේ රජවරුන්ගේ බෙලි පාගන්න.” එතකොට එයාලා ඉස්සරහට ඇවිත් ඒ රජවරුන් පස්දෙනාගේ බෙලි පෑගුවා.+ 25  යොෂුවා එයාලට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා.+ හිතට ධෛර්යය අරන් එඩිතරව ඉන්න. අද යෙහෝවා ඔයාලාගේ සතුරන්ව යටත් කරලා දුන්න විදිහටම ඔයාලට විරුද්ධව යුද්ධ කරන හැම සතුරෙක්වම යටත් කරලා දෙනවා.”+ 26  ඊටපස්සේ යොෂුවා ඒ රජවරු පස්දෙනාව මරලා එයාලාගේ මළ සිරුරු කණුවල* එල්ලුවා. හවස් වෙන කල්ම එයාලාගේ මළ සිරුරු ඒ විදිහට එල්ලලා තිබ්බා. 27  ඉර බැහැගෙන යන වෙලාවේ යොෂුවා කිව්වා ඒ රජවරුන්ගේ මළ සිරුරු කණුවලින් බිමට අරන්,+ කලින් එයාලා හැංගිලා හිටපු ගුහාවටම වීසි කරන්න කියලා. පස්සේ එයාලා විශාල ගල්වලින් ගුහාවේ කට වහලා දැම්මා. ඒ ගල් අද වෙන කල්ම එතන තියෙනවා. 28  එදා යොෂුවා මක්කේදා+ නගරයත් විනාශ කරලා දැම්මා. ඒ නගරයේ රජවත් ඒකේ ජීවත් වුණ හැම කෙනෙක්වමත් කඩුවෙන් මරලා දැම්මා. එයා එහේ හිටපු එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ එයා යෙරිකෝවේ රජට කරපු දේම මක්කේදාවල රජටත් කළා.+ 29  ඊටපස්සේ යොෂුවා ඊශ්‍රායෙල් හමුදාව එක්ක මක්කේදා නගරයෙන් පිටත් වෙලා ලිබ්නා+ නගරයට ගිහින් එයාලා එක්ක යුද්ධ කළා. 30  යෙහෝවා දෙවියන් ලිබ්නා නගරයයි, ඒකේ රජවයි+ ඊශ්‍රායෙල්වරුන්ට යටත් කරලා දුන්නා. එයාලා ඒ නගරය විනාශ කරලා එහේ ජීවත් වුණ හැම කෙනෙක්වම කඩුවෙන් මරලා දැම්මා. එහේ හිටපු එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ. එයාලා යෙරිකෝවේ රජට කරපු දේම ලිබ්නා නගරයේ රජටත් කළා.+ 31  ඊටපස්සේ යොෂුවා ඊශ්‍රායෙල් හමුදාවත් එක්ක ලාකිෂ්+ නගරයට ගියා. එයාලා ඒ නගරය ළඟ කඳවුරු බැඳගෙන ඒකට විරුද්ධව යුද්ධ කළා. 32  ලාකිෂ් නගරය අල්ලගන්න යෙහෝවා දෙවියන් එයාලට උදව් කළා. දවස් දෙකක් ඇතුළත එයාලා ඒ නගරය අල්ලගත්තා. ලිබ්නා නගරය විනාශ කළා වගේ එයාලා ලාකිෂ් නගරයත් විනාශ කරලා එහේ හිටපු හැමෝවම කඩුවෙන් මරලා දැම්මා.+ 33  ගෙෂෙර්+ නගරයේ රජ වුණ හොරාම්, ලාකිෂ් නගරයේ හිටපු අයගේ උදව්වට ආවා. ඒත් යොෂුවා එයාවත් එයාගේ හමුදාවේ හැම කෙනෙක්වමත් මරලා දැම්මා. 34  ඊටපස්සේ යොෂුවා ඊශ්‍රායෙල් හමුදාවත් එක්ක එග්ලොන්+ නගරයට ගිහින් එතන කඳවුරු බැඳගෙන එයාලට විරුද්ධව යුද්ධ කළා. 35  එයාලා එග්ලොන් නගරය අල්ලගෙන ලාකිෂ් නගරය විනාශ කළා වගේ ඒකත් විනාශ කරලා දැම්මා.+ එදා එයාලා ඒ නගරයේ හිටපු හැම කෙනෙක්වමත් කඩුවෙන් මරලා දැම්මා. 36  ඊටපස්සේ යොෂුවා ඊශ්‍රායෙල් හමුදාවත් එක්ක එග්ලොන් නගරයෙන් පිට වෙලා හෙබ්‍රොන්+ නගරයට ගිහින් ඒකට විරුද්ධව යුද්ධ කළා. 37  එයාලා හෙබ්‍රොන් නගරයයි, ඒකට අයිති කුඩා නගරයි විනාශ කළා. ඒකේ රජවයි, ඒ නගරවල හිටපු හැම කෙනෙක්වමයි කඩුවෙන් මරලා දැම්මා. එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ. යොෂුවා එග්ලොන් නගරය විනාශ කළා වගේ හෙබ්‍රොන් නගරයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා එහේ හිටපු හැමෝවම මරලා දැම්මා. 38  අන්තිමට යොෂුවා ඊශ්‍රායෙල් හමුදාවත් එක්ක දෙබීර්+ නගරයට ගිහින් ඒකට විරුද්ධව යුද්ධ කළා. 39  එයා දෙබීර් නගරයත් ඒකට අයිති පොඩි නගරත් විනාශ කරලා ඒවාවල හිටපු හැම කෙනෙක්වම මරලා දැම්මා.+ යොෂුවා හෙබ්‍රොන් නගරයටයි, ලිබ්නා නගරයටයි, ඒ නගරවල රජවරුන්ටයි කරපු දේම දෙබීර් නගරයටයි, ඒකේ රජටයි කළා. එයා එහේ හිටපු එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ 40  ඔය විදිහට යොෂුවා කඳුකරයට, නෙගෙබ් පළාතට, පහත් බිම්වලට*+ සහ කඳු බෑවුම්වලට අයිති මුළු දේශයම අල්ලගෙන එහේ හිටපු මිනිස්සුන්ටයි, එයාලාගේ රජවරුන්ටයි පහර දුන්නා. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා අණ කරපු විදිහටම+ යොෂුවා එක මිනිසෙක්වත් ඉතුරු කරන්නේ නැතුව හැමෝවම මරලා දැම්මා.+ 41  යොෂුවා, කාදෙෂ්බර්නේය+ ප්‍රදේශයේ ඉඳන් ගාසා+ නගරය දක්වාත් මුළු ගෝෂෙන්+ දේශයත් ගිබියොන්+ නගරය දක්වා තියෙන ප්‍රදේශත් යටත් කරගත්තා. 42  එක යුද මෙහෙයුමකින් ඒ හැම රජෙක්වම පරාජය කරලා එයාලාගේ දේශ අල්ලගන්න යොෂුවාට පුළුවන් වුණා. එහෙම කරන්න එයාට පුළුවන් වුණේ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා එයාලා වෙනුවෙන් සටන් කරපු නිසයි.+ 43  ඒ නගර හැම එකක්ම අල්ලගත්තාට පස්සේ යොෂුවායි, ඊශ්‍රායෙල් හමුදාවයි ආයෙත් ගිල්ගාල්වල තිබුණ එයාලාගේ කඳවුරට ගියා.+

පාදසටහන්

හෝ, “තැනිතලාවට.”
හෝ, “ගස්වල.”
මූ.අ., “ෂෙපේලාවලට.”